– සූර්යයා සැබෑ ලෙසට මීනයෙන් මේෂයට ගමන් කරන්නේ අප්‍රේල් 19 හෝ 20
– අප්‍රේල් 07දා හිරු මුදුන්වීම අපට සියැසින්ම බලාගත හැකියි
– අප්‍රේල් 07 මුල්කරගෙන සිංහල අවුරුදු නැකත් සැකසීමේ වරදක් නෑ
අප්‍රේල් මාසය හෙවත් බක් මාසය යනු ශ්‍රී ලාංකේය සිංහල සහ හින්දු ජනතාවට සුවිශේෂී මාසයකි. සිංහල සහ හින්දු ජනතාවගේ සුවිශේෂීම සංස්කෘතික මංගල්‍යය වන අලුත් අවුරුදු උදාව බක් මාසයේ යෙදී තිබීම මේ සුවිශේෂීත්වයට හේතු වේ. බක් මාසය උදාවන තුරු කුඩා දරුවෝ ද ඉතා ආසාවෙන් බලා සිටිති.
ගෙවල් දොරවල් පිළිසකර කර, නව පෙනුමක් ලබා දෙමින් නව ඇඳුම් පැලඳුම් මිලදී ගනිමින් තමා අලුත් වෙනවා සේම තමන් ජීවත්වන පරිසරයත් අලුත් කරගැනීම මේ කාලයේදී ජනතාව විසින් සිදු කරනු ලබයි. එසේම දීර්ඝ කාලයක් තිස්සේ දුරස් වී සිටි තම මවුපියන්, දූ දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති හිතමිත්‍රාදීන් මුණගැසී ඔවුන් සමඟ සතුටින් ගත කිරීමත්, විවේකී සුවයෙන් දෙවියන්, බුදුන් ඇදහීමත්, විවිධ ක්‍රීඩා ඉසව්වල නිරත වීමත් මඟින් කායික මෙන්ම මානසික සහනයක් ලබා ගනිමින් නැවුම් වීමට ජනතාවට මේ සංස්කෘතික මංගල්‍යය මනා පිටිවහලකි.
ජ්‍යොතිෂ විද්‍යාවට අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම පාදක කර ගනිමින් සූර්යයා මුල් කරගෙන නැකත් සකසමින් සමරන නිසාම මෙම සංස්කෘතික මංගල්‍යය ‘සූර්ය මංගල්‍යය’ ලෙස ද හැඳින්වේ. ඒ අනුව සෑම වසරකම අප්‍රේල් 13 හෝ 14 දින සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන බව අප දන්නා කරුණ වුවත් සැබෑ ලෙසම සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම සිදුවන්නේ අප්‍රේල් 19 හෝ 20 බවට ඔබේ මතය කුමක්ද? තාරකා විද්‍යාවට අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සිදුවන්නේ අප්‍රේල් 13 හෝ 14 නොව අප්‍රේල් 19 හෝ 20 ද යන වග පැහැදිලි කරගැනීමට මෙරට ප්‍රකට තාරකා විද්‍යාඥයකු මෙන්ම විද්‍යා ලේඛකයකු වන අනුර සී. පෙරේරා සම්බන්ධ කරගත්තෙමි. තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව මෙරට ජනතාව අතර දැනුම ප්‍රචාරය කිරීම සඳහා විශාල මෙහෙවරක් ඉටුකරනු ලබන ඒ හේතුව නිසාම “ප්‍රඥා සම්මානයෙන්” ද පිදුම් ලබා ඇති අනුර සී. පෙරේරා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව තාරකා විද්‍යාවට අනුව මෙලෙස අදහස් දැක්වීය.
“ඇත්තෙන්ම අලුත් අවුරුදු උදාව ලෙස සලකනු ලබන්නේ සූර්යයා රාශි චක්‍රයේ අවසාන රාශීය වන මීන රාශියේ සිට මුල්ම රාශිය සේ සැලකෙන මේෂ රාශිය කරා පැමිණීම මත බව අපි හැම දෙනාම දන්නා කරුණක්. වසර දෙදහසකට පමණ පෙරදී මෙම සිදුවීම මාර්තු මස 21 දිනට යෙදී තිබුණි. නමුත් නූතන යුගයේදී මෙම පිහිටීම ක්‍රමයෙන් වෙනස් වී ගොස් සූර්යයා “මීන රාශියෙන් මේෂ රාශියට” ගමන් කිරීම අප්‍රේල් 19 වන සෙනසුරාදාට යෙදී ඇත. සඳෙහි බලපෑම මත පෘථිවි අක්ෂයෙහි සිදුවන සියුම් දෝලනය මත හෙවත් ” පූර්වායනය” මත මේ රාශි ඇදී යාම හෙවත් වෙනස් වීම සිදු වේ. මේ අනුව “මේෂ රාශියේ” පිහිටීම වෙනස් වී ගොස් දැන් එම ස්ථානයෙහි “මීන රාශිය” දක්නට ලැබේ. සිංහල අලුත් අවුරුද්ද සමරන අප්‍රේල් 14,15 යන දිනවලදී සූර්යයා සම්පූර්ණයෙන්ම පාහේ සිටිනුයේ අංශක 42ක් පමණ විශාලත්වයක් පෙන්නුම් කරන “මීන රාශියේ” කෙළවර බැවින් එම උත්සවය සැමරීමේ “ජ්‍යෙතිෂ්‍ය පදනමෙහි ” වෙනසක් වහාම සිදු කළ යුතු බව මාගේ හැඟීමයි.
වර්තමානයේදී අප විසින් සිංහල අලුත් අවුරුද්ද සමරන අප්‍රේල් 14 දිනය අපට හිමි වූයේ දකුණු ඉන්දියාවේ රජ කළ “ශක” රජුගෙනි. මීට වසර 1947කට පෙර මදුරාසියට සූර්යයා මුදුන් වූ දිනය පදනම් කරගෙන එදා සිට අද දක්වා එම අප්‍රේල් 14 සහ 15 යන දින පදනම් කරගෙන වර්තමානයේදී ද ජ්‍යොතිෂවේදීන් නැකත් සැකසීම නිවැරදි නොවන බව මාගේ හැඟීමයි.
සූර්යයා මීනයෙන් මේෂයට යාම පිහිටා සිංහල හින්දු අලුත් අවුරුදු උලෙළ සැමරීමේ නැකත් සෑදීමට ජ්‍යොතිෂඥයින් බලාපොරොත්තු වන්නේ නම් ඉදිරි අනාගතයේදී සෑම වසර 2166කට වරක් මාසයක් බැඟින් ඉදිරියට පැන යාමට ඔවුනට සිදු වනු ඇත. නැතහොත් සෑම වසර 2166කට වරක් “මීනෙන් මේෂයට”, “කුම්භයෙන් මීනයට”, ” මකරයෙන් මීනයට” ආදී වශයෙන් අප්‍රේල් මාසයේදී සූර්යයාගේ සංක්‍රමණය අළලා සිංහල අලුත් අවුරුද්ද සැමරීමට සිදුවේ.
විද්‍යාත්මක ඇසින් බැලුවහොත් අපේ රටට ඉර මුදුන් වෙන දිනයක් ඇත. සෑම වසරකම අප්‍රේල් මාසයේ 07 වැනිදා අපේ රටට සූර්යයා මුදුන් වේ. මේ දිනය අපිට නැකත් සකස් කරනවා නම් තිබෙන හොඳම දිනයයි. එළැඹෙන 2025 අප්‍රේල් මස 07 වැනි සඳුදා දින මධ්‍යහ්න 12.12 අපේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුරයට සහ කොළඹ ඇතුළු ආසන්න නගරවලට හිරු මුදුන් වීම සිදුවේ. මධ්‍යහ්න 12.12 වේලාවට අපගේ සෙවණැල්ල මොහොතකට නැතිවී යන අයුරු දෙක බලා ගැනීමට පුළුවනි. මෙහිදී ඔබට ඔබගේ සෙවණැල්ල නැතිවී යන අයුරු දැක බලා ගැනීමට අපහසු වන බැවින් ඔබ අසල වෙනත් අයකු නොවේ නම් ඉවත දමන කොසු මිටක් හෝ යකඩ කූරක් එළිමහන් ස්ථානයක සිටුවා තබා සෙවණැල්ල අතුරුදන් වන අයුරු හොඳින් දැකබලා ගැනීමට හැකි වනු ඇත. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අපට දකින්න පුළුවන්කමක් නැත. එය දෘෂ්ටි මායාවක් පමණයි.
නමුත් අප්‍රේල් 7 දා සූර්යයා මුදුන් වීම අපට සියැසින්ම දැක බලා ගැනීමට හැකියි. අපගේ පොළොව පැයට කිලෝමීටර 1670 ක වේගයෙන් අපේ කක්ෂය වටා භ්‍රමණය වෙයි. පැයකට කිලෝමීටර 108000 ක වේගයෙන් සූර්යයා වටා ගමන් කරනු ලබයි. එලෙස සූර්යයා වටා යන ගමනේදී රාශියෙන් රාශියට මාරුවීම සිදුවන සේ සූර්යයා අපට දිස්වේ. සූර්යයා අප රැගෙන තත්පරයට කිලෝමීටර 230 ක වේගයෙන් ක්ෂීරපථයට යන තාරකා චක්‍රාවාටය තුළට ගමන් කරනු ලබයි. එම තාරකා චක්‍රාවාටය කිලෝමීටරයකට මිලියනයක වේගයෙන් විශ්වය තුළ ගමන් කරන බව සඳහන් කළ හැකියි. ඉතින් මේ සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වන බව පෙන්වා දිය හැකිය. පැයට කිලෝමීටර 108000 ක වේගයෙන් සූර්යයා වටා අප ගමන් කරන බව අපට නොවැටහෙයි. ඒ අනුව ඊට වසර 1000කට 2000කට කලින් රාශි තිබූ ස්ථානවලම මේ දක්වා පවතින්නේ නැත. ඒ සියල්ල වර්තමානය වනවිට වෙනස් වී ඇත. නමුත් ජ්‍යොතිෂ්‍යයේදී එම වෙනස්වීම ගණන් නොගන්නා අතර තාරකා විද්‍යාවේදී එම වෙනස් වීම් කෙරෙහි අවධානය යොමු කෙරේ.
මා ජ්‍යොතිෂ්‍යවේදය පිළිබඳව විවේචනය කිරීමක් නොකරමි. නමුත් වර්තමානයට ගැළපෙන පරිදි නොවෙනස්ව අපේ රටට සූර්යයා මුදුන් වන අප්‍රේල් 07 දිනය නිමිති කරගෙන, සූර්ය මංගල්‍යයට නොඑසේනම් සිංහල අලුත් අවුරුද්දට අදාළ නැකත් සැකසීම සිදුකරන ලෙස ජ්‍යොතිෂඥයින්ට මම ආරාධනා කරමි.
අස්වැන්න නෙළාගෙන එම අස්වැන්න අටුකොටුවලින් පුරවා ඇතිවන සතුට බෙදා ගැනීමට සිංහල රජ කාලයේ සිට මේ සූර්ය මංගල්‍යය සැමරීම සිදු කර ඇති බව මාගේ හැඟීමයි. අපේ රටට සූර්යයා මුදුන් වන දිනය නිමිති කරගෙන නැකත් සකසා, ජාති භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන්ට සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සැමරිය යුතු උත්සවයක් ලෙස මම මේ සූර්ය මංගල්‍යය හඳුන්වමි.
තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි