Home » සතියේ කලදවස

සතියේ කලදවස

අප්‍රේල් 06 සිට 12 දක්වා

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

මේෂ – සතුටු වීමට අවස්ථා උදාවේ

ලග්නාධිපති කුජ 4 වැන්නේත්, ගුරු 2 වැන්නේත්, කේතු 6 වැන්නේත්, රවි 01 හා 12 වැන්නේත්,සදු 4, 5, 6 වැන්නේත්, ශනි බුධ, සිකුරු රාහු 12 වැන්නේත් ගමන් ගන්නා මේ සතියේ ඔබේ ඥාති මිත්‍ර සබඳතා වර්ධනය වේ. ඔබට සතුටු වීමට අවස්ථා උදා වුවද ඒ වෙනුවෙන් අධික වියදම් දැරීමට සිදුවීමෙන් ඔබ අත්විඳින සතුටම දුකක් බවට පෙරළීමට ඉඩ ඇත. එම නිසා මේ සතිය තුළ ඔබ වියහියදම් කිරීමේදී බෙහෙවින් සැලකිලිමත් වන්න. ඔබේ රැකියා කටයුතුවල ගැටලු ඇතිවිය හැකි බැවින් වෙනදාට වඩා කල්පනාකාරීව රැකියා කටයුතු සිදු කරන්න.

වෘෂභ – රැකියා බාධා ඉවතට

ගුරු 1 වැන්නේත්, කේතු 5 වැන්නේත්, රවි 11 හා 12 වැන්නේත්, කුජ 3 වැන්නේත්, සඳු 3, 4, 5 වැන්නේත්, ශනි, බුධ,සිකුරු, රාහු 11 වැන්නේත් ගමන් ගන්නා මේ සතිය ඔබට පුණ්‍යවන්ත සතියකි. ඔබේ ආර්ථිකය ඉතාම සුබදායී වේ. අයස්ථානාධිපති වන ගුරු ලග්නයේද, රවි 11 වැන්නේ ද, යෝග කාරක සෙනසුරු ද සමඟ සිකුරු උච්ච බලයෙන් 11 වැන්නේ සිටින මේ සතියේ ඔබේ රැකියා කටයුතු ඉතා සාර්ථක වේ. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය ඔබට හිමි වන අතර ඔබ බලාපොරොත්තුව සිටි පහසු ස්ථානවලට මාරුවීම් ආදිය ලැබේ. රැකියා බලාපොරොත්තුව සිටින අයගේ එම ප්‍රාර්ථනා ද පහසුවෙන් ඉටු වේ. ඔබේ ශරීර සෞඛ්‍යය යහපත් වේ.

මිථුන – මිතුරු ඇසුර ප්‍රවේශමෙන්

ගුරු 12 වැන්නේත්, කේතු 4 වැන්නේත්, රවි 10,11 වැන්නේත්, සඳු 2, 3, 4 වැන්නෙත් ශනි බුධ, සිකුරු, රාහු 10 වැන්නේත් ගමන් ගන්නා මේ සතියේ ඔබේ රැකියා කටයුතු ද බෙහෙවින් සාර්ථක වේ. රැකියාවේ උසස් වීම් ආදිය හිමි වන අතර ඔබට එල්ල වී තිබූ චෝදනාවකින් නිදහස් විය හැකි වේ. මෙතෙක් පැවති සතුරු කරදර අවසන් වෙයි. ඔබේ වචනයේ බලය ඉස්මතු වන අතර ඔබගේ කතාවට බොහෝ දෙනා අවනත වේ. ව්‍යාපාර කටයුතු ද බාධාවකින් තොරව කරගෙන යා හැකි අතර ජීවිතයේ සතුටට අවශ්‍ය බොහෝ දේ ලැබේ. මිතුරු ඇසුර ප්‍රවේශමෙන්.

කටක – විදෙස් රැකියා

ගුරු 11 වැන්නේත්, කේතු 3 වැන්නේත්, රවි 9 හා 10 වැන්නේත්, සඳු 1, 2, 3 වැන්නේ ශනි, බුධ, සිකුරු,රාහු 9 වැන්නේත්, කුජ ලග්නයේත් ගමන් ගන්නා මේ සතියේ ඔබගේ ධනය හා බලය වර්ධනය වේ. ඔබේ හොඳ නම සමාජය තුළ ප්‍රචලිත වේ. ඥාති මිත්‍ර සබඳතා බෙහෙවින් වර්ධනය වේ. ගෙදර දොර අලුත්වැඩියාවක් සිදු කර ගත හැකිය. මිල මුදල් පහසුවෙන් ලැබෙන අතර රැකියා, වෙළෙඳ ව්‍යාපාර කටයුතු ආදිය සාර්ථක වෙයි. ඉඩකඩම් ආදියෙන් ද ආදායම් ලැබෙන අතර විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ.

සිංහ – ඥාන ශක්තිය වර්ධනය වේ

ගුරු 10 වැන්නේත්, කේතු 2 වැන්නේත්, රවි 8 හා 9 වැන්නේත්, සඳු 1, 2, 12 වැන්නේ ශනි, බුධ, සිකුරු රාහු 8 වැන්නේත් කුජ 12 වැන්නේත් ගමන් ගන්නා මේ සති⁣ය ඔබට මිශ්‍රපලදායක වේ. ඥාති මිත්‍ර සබඳතා වර්ධනය වන අතර ආදර සම්බන්ධතාවලට පැවති බාධා ඉවත් වේ. ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා හොඳින් පැවැත්වීමට අවස්ථාව ලැබෙන අතර අධ්‍යාපනය ලබන අයට ද ඉතා සුබදායක වේ. මේ සතියේ ඔබේ ඥාන ශක්තිය හොඳින් වර්ධනය වේ. ඔබ සතුරු කරදරවලින් නම් වඩාත් ප්‍රවේශම් විය යුතුය. ඔබ ළඟින් සිටින මිතුරන් පවා සතුරන් සේ කටයුතු කිරීමට ඉඩ ඇත. ඉඩකඩම් දේපළ සම්බන්ධ ආරවුල් ඇතිවීමට ඉඩ ඇත.

කන්‍යා – අධ්‍යාපන දියුණුව

ගුරු 9 වැන්නේත්, කේතු 1 වැන්නේත්, රවි 7 හා 8 වැන්නේත්, සඳු 1, 11, 12 වැන්නේත් ශනි, බුධ, සිකුරු, රාහු 7 වැන්නේත් කුජ 11 වැන්නේත් ගමන් ගන්නා මේ සතියේ ඔබේ පෙර පින් බලය පවතියි. අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වන අතර උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට විශේෂයෙන් සුබදායකය. රැකියා කටයුතු බාධාවකින් තොරව ඉටුකර ගත හැකි අතර විදෙස් ගමන් බලාපොරොත්තු ද ඉටු වේ. ඥාති මිත්‍රාදීන් ඔබේ නිවෙසට පැමිණේ. රජයට සම්බන්ධව කටයුතු කරන කන්‍යා ලග්න හිමියන්ට මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ නිරත අයට ද මේ සතිය වඩා සුබදායකයි. සතුරු කරදර දුරු වේ.

තුලා – සතුරු කරදර දුරු වේ

ලග්නාධිපති 6 වැන්නේත්, ගුරු 8 වැන්නේත්, කේතු 12 වැන්නේත්, රවි 6 හා 7 වැන්නේත්, සඳු 10, 11, 12 වැන්නේත්, ශනි, බුධ, සිකුරු, රාහු 6 වැන්නේත්, කුජ 10 වැන්නේත් ගමන් ගන්නා මේ සතිය මිල මුදල් ලැබීම අතින් ඉතා යහපත්ය. ආර්ථිකය වඩා සුබදායී වෙයි. රජයට සම්බන්ධව කටයුතු කරන අයට විශේෂ වාසි බලාපොරොත්තු විය හැකිය. වෙළෙඳ ව්‍යාපාර, ඉඩකඩම් ආදියෙන් ඉහළ ආදායම් ලැබේ. සතුරු කරදර දුරු වෙයි. දුර සිටින මිතුරෙකු ඔබව සොයාගෙන පැමිණෙයි. ශරීර සෞඛ්‍යය ගැන ඔබ බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. සුළු තුවාල මෙන්ම නීතිමය ගැටලුවලට වුව මැදිවීමට ඉඩ ඇත.

වෘශ්චික – මංගල යෝග

ලග්නාධිපති 9 වැන්නේත්, ගුරු 7 වැන්නේත්, කේතු 11 වැන්නේත්, රවි 5 හා 6 වැන්නේත්, සඳු 9, 10, 11 වැන්නේත් ශනි, බුධ, සිකුරු රාහු 5 වැන්නේ, කුජ 9 වැන්නේත් ගමන් ගන්නා මේ සතියේ අඹුසැමි සබඳතා තර වන අතර අවිවාහක අයට මංගල යෝග උදා වේ. විවාහකයන්ගේ දරු සම්පත් පිළිබඳ බලාපොරොත්තු ඉටු වේ. දරුවන් නිසා සතුටු වීමට ද අවස්ථාව ලැබෙන අතර ඔබගේ මෙතෙක් ඉටු නොවූ විදෙස් ගමන් බලාපොරොත්තු ද මේ සතිය තුළ පහසුවෙන් ඉටුකර ගත හැකිය. ගේදොර, ඉඩකඩම් යාන වාහන සම්බන්ධ සියලු කටයුතු සාර්ථක වේ. ඉඩකඩම්වලින් ඉහළ ආදායම් ලැබේ.

ධනු – පවුලේ සමගිය

ලග්නාධිපති ගුරු 6 වැන්නේත්, කේතු 10 වැන්නේත්, රවි 4 හා 5 වැන්නේත්, සඳු 8, 9, 10 වැන්නේත් ශනි, බුධ, සිකුරු රාහු 4 වැන්නේත් කුජ 8 වැන්නේත් ගමන් ගන්නා මේ සතියේ ඔබේ ආර්ථිකය බොහෝ සෙයින් දියුණු වෙයි. රැකියා ව්‍යාපාර කටයුතු දියුණු වන අතර, ගෙදර දොර සතුට, සමගිය රජයන පවුලේ සියලු දෙනා එකට එක්ව සතුටින් අවුරුද්දට සූදානම් වන සතියකි. ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ආදරය වර්ධනය වන අතර ඥාති මිත්‍ර සබඳතා ද වැඩිදියුණු වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. ගේදොර වාසස්ථාන, ඉඩකඩම් ආදියේ විශාල දියුණුවක් ඇතිවන අතර නිවසේ අලුත්වැඩියාවක් ද සිදු කර ගැනීමට ඉඩකඩ සැලසේ.

මකර – ව්‍යාපාර ලාභ

ලග්නාධිපති 2 වැන්නේත්, ගුරු 5 වැන්නේත්, කේතු 9 වැන්නේත්, රවි 3 හා 4 වැන්නේත්, සඳු 7, 8, 9 වැන්නේත්, ශනි, බුධ, සිකුරු රාහු 3 වැන්නේත් කුජ 7 වැන්නේත් ගමන් ගන්නා මේ සතියේ පවුලේ සියලු ඥාති මිත්‍රාදීන් සමඟ එකට එක්ව සතුටින් ගත කළ හැකිය. ඔබේ රැකියා කටයුතු දියුණුවට පත් වන අතර රැකියාවෙන් ලැබෙන ආදායම් ද ඉහළ යයි. ව්‍යාපාර කටයුතුවලට ද බාධාවක් නොමැති අතර ඒවායින් අපේක්ෂිත ලාභ ලබාගත හැකි වේ. මේ සතියේ ඔබේ ශරීර සෞඛ්‍යය යහපත් වන අතර මෙතෙක් පැවති අසනීප සුව වේ. ආදර සබඳතා සාර්ථක වේ.

කුම්භ – රැකියා-ව්‍යාපාර දියුණුව

ලග්නාධිපති 1 වැන්නේත්, ගුරු 4 වැන්නේත්, කේතු 8 වැන්නේත්, රවි 2 හා 3 වැන්නේත්, සඳු 6, 7, 8 වැන්නේත් ශනි, බුධ, සිකුරු රාහු 2 වැන්නේත් කුජ 6 වැන්නේත් ගමන් ගන්නා මේ සතියේ ඔබේ රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ඉහළ ලාභ ලැබෙයි. ඉඩකඩම්, වතුපිටි ආදියෙන් ඉහළ ආදායම් ලැබෙන අතර පොළොව ආශ්‍රිත කටයුතුවල නිරතව සිටින අයට ඉතාමත් සුබදායකයි. ඔබේ හොඳ නම සමාජය තුළ පැතිරෙයි. විවාහ ජීවිතය තුළ ආදරය, සතුට, සමගිය වර්ධනය වන අතර පවුලේ දියුණුවට බොහෝ වැඩ කටයුතු ඉටු කර ගතහැකි සතියකි. වියදම් ද අධික වන නිසා වියදම් පාලනයේදී සැලකිලිමත් වන්න.

මීන – ඥාති මිත්‍ර සබඳතා වර්ධනයට

ලග්නාධිපති ගුරු 3 වැන්නේත්, කේතු 7 වැන්නේත්, රවි 1 හා 2 වැන්නේත්, කුජ 5 වැන්නේත්, සඳු 5, 6, 7 වැන්නේත්, ශනි, බුධ, සිකුරු, රාහු 1 වැන්නේත් ගමන් ගන්නා මේ සතිය ඔබේ ගතට, සිතට හා කයට සැප ලැබෙන සතියකි. ගෙදර දොර අලංකාරය ඇති වන අතර ගෙවත්ත පවා අලංකාර කරගෙන සතුටින් නිදහසේ සිටීමට අවස්ථාව සැලසේ. ඥාති මිත්‍ර සබඳතා වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර විවාහකයින්ගේ දරු සම්පත් පිළිබඳ බලාපොරොත්තු ඉටු වේ. පවුල් ජීවිතයේ සතුට, සමාදානය, ගෙදර සතුට වාසනාව ඇතිවේ. ඉගෙනීමේ කටයුතු ඉතා සාර්ථක වන අතර අලුත් අලුත් දේවල් ඉගෙනීමට අවස්ථාව ලැබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division