ඕනෑම අයකු නින්දට ගිය විට ඔහු වෙතින් සුළු ගෙරවිලි ශබ්දයක් නිකුත් වීම සාමාන්‍ය කරුණකි. එහෙත් මේ ගෙරවිල්ල ඒ පුද්ගලයා නිදා සිටින කාමරයේ දොර වසා තිබුණත් කාමරයෙන් පිටතට ඇසෙයි නම්, එය ඔහු අසල සිටින පුද්ගලයන්ට පමණක් නොව, ගොරවන පුද්ගලයාටද සැබවින්ම ගැටලුකාරිය. මෙය ඉක්මනින් ප්‍රතිකාර ගත යුතු රෝගි තත්ත්වයකි. Obstructive Sleep apnea – (OSA) ලෙස හඳුන්වනු ලබන්නේ මේ රෝගි තත්ත්වයයි.
නින්දෙන් ගෙරවීම ඇති වන්නේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටස අවහිර වීම නිසාය. එහිදී මෘදු තල්ල සහ ග්‍රසනිකාවේ බිත්ති දෙදරීමකට ලක් වේ. ගෙරවීමේදී ශබ්දයක් නිකුත් වන්නේ එවිටය. මේ සඳහා හේතු කීපයක්ම බලපෑ හැකිය. ප්‍රධාන වශයෙන්ම රෝගියාගේ ශරීරයේ බර වැඩි වීම, දිවෙහි තෙල් තැන්පත් වීම, තල්ල යට තෙල් තැන්පත් වීම මෙන්ම උදරයේ තෙල් තැන්පත් වීමද හේතු වේ. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම හේතුවෙන් එහි පටක ඉදිමීම නිසාත් නින්දෙන් ගෙරවීම ඇති වේ. ඊට අමතරව ශ්වසන මාර්ගය ඇතුළත ඇති වන ගැටලු, සෙම්ගෙඩි විශාල වීම, උපතින්ම දිව විශාල වීම, නාසය තුළ ඇතිවන මස්දලු (Adenoid) වැනි කාරණා ද මේ සඳහා හේතුවේ. ඇතැමුන්ගේ නිකට උපතින්ම පිහිටන්නේ තරමක් පිටුපසට වන්නටය. එය ද නින්දෙන් ගෙරවීමට හේතුවකි.
කුඩා දරුවන් ද නිතර නින්දෙන් ගොරවනු දැකගත හැකිය. කුඩා දරුවන්ගේ නින්දෙන් ගෙරවීමට බොහෝ විට හේතු වන්නේ සෙම්ගෙඩි විශාල වීමයි. ඊට අමතරව නාසයේ තිබෙන Adenoid නම් මස්දලුව ඉදිමීම ද දරුවන් නින්දෙන් ගෙරවීමට හේතුවකි. පීනස රෝගය උත්සන්න වීම නිසාද නින්දෙන් ගෙරවීම ඇති වන බව හෙළි වී ඇත.
ඇතැම් පුද්ගලයන් නින්දෙන් ගොරවන විට දිව පිටුපසට ගමන් කරන (දිව ගිලෙන) අවස්ථාද ඇත. එහිදී දිව පිටුපසට ගොස් සිර වීම නිසා නින්දෙන් හුස්ම හිර වී හුස්ම ගැනීම ස්වල්ප වේලාවකට නැවතිය හැකිය. මෙය ඉතා භයානක තත්ත්වයකි. එසේ වූ විට පෙණහලුවලට ආශ්වාස වාතය ගමන් කිරීම ස්වල්ප වේලාවකට නැවතේ. එහි ප්‍රතිඵලය රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය ක්ෂණිකව අඩු වීමයි. රුධිරයේ තිබිය යුතු ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම රෝගාබාධ රැසකටම හේතු වන බව පර්යේෂණ මඟින් හෙළි වී ඇත. නින්දෙන් ගෙරවීම, ගොරවන පුද්ගලයාට ගැටලුවක් වන්නේ එනිසාය.
හෘදය, මොළය, රුධිරවාහිනී වැනි ශරීරයේ අවයවවලට සහ කොටස්වලට රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම දැඩිව බලපෑම් ඇති කරයි. අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි තත්ත්වයන්ට එය ප්‍රධාන වශයෙන්ම හේතු වේ. ඊට අමතරව ආඝාතය හෙවත් අංශභාගය ඇති වීමට, ලිංගික දුබලතා ඇති වීමට, දරුවන් ලැබීමේ හැකියාව අඩු වීමට (මඳසරු බව) රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම හේතු වන බව හෙළි වී ඇත.
නින්දෙන් ගොරවන පුද්ගලයන් තුළ ස්වල්ප වේලාවකට හුස්ම හිර වීම හේතුවෙන් එක්වරම ගැස්සී නින්දෙන් අවදි වේ. ඔවුන්ට දීර්ඝ නින්දක් නැත. එළි වන තුරු නිදාගත්තද ඔවුන්ට සුවදායි නින්දක් ලැබෙන්නේ නැත. නිසි පරිදි නින්ද නොලැබීම, මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම වැනි හේතු නිසා පසුදින උදෑසන අවදි වූ පසු ඔවුන්ට දැනෙන්නේ ඇඟට පණ නැති තෙහෙට්ටු ස්වභාවයකි. ඔවුන් පසුදින ගත කරන්නේ නිදිබර ස්වභාවයකිනි. දහවල් කාලයේ අධික නිදිබර ස්වභාවයක් දැනේ. පුටුවක වාඩි වූ විට, දුම්රියේ බස් රියේ ගමන් කරන විට නින්දට වැටෙති. මෙසේ දහවලෙහි නිතර නිදිබර වීම රිය අනතුරු බහුල වීමට හේතුවකි. මේ තත්ත්වයට මුහණපා සිටින්නේ පාසල් යන දරුවකු නම්, ඒ දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට මෙය හේතුවකි. රැකියාවක නිරත වී සිටින වැඩිහිටියකුට මේ තත්ත්වය නිසා තම රැකියාව නිසි පරිදි කිරීමට නොහැකි වේ.
නින්දේදී සුළු වේලාවක් හුස්ම ගැනීම නැවතීම නිසා රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමෙන් ඇති වන අධිරුධිර පීඩන තත්ත්වය නින්දෙන් ගෙරවීමට හේතු වන සාධක ඉවත් කළ පසු ඉබේම අඩු වී යා හැකිය. කෙටි ගෙලක් ඇති පුද්ගලයන්, තරබාරු පුද්ගලයන් ගොරවනවා වැඩිය. නින්දෙන් ගොරවන පුද්ගලයකුගේ ගෙරවීමේ ප්‍රමාණය වැඩි වීමට දුම්පානය සහ මත්පැන් පානය හේතු වේ. මත්පැන් පානය කළ විට මාංසපේශී ඉහිල් වේ. එය නින්දෙන් ගෙරවීමට හේතුවකි. දුම්පානය කරන විට ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වී කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය වැඩි වේ. එයද ගෙරවීමට හේතුවකි. නින්දෙන් ගෙරවීමට හේතු වන කරුණු සොයාබලා ඒ සඳහා පිළියම් යෙදීමෙන් ඇතැම් විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය; නැත හොත් හොඳින් පාලනය කළ හැකිය.
ප්‍රතිකාර කිරීමට ප්‍රථම රුධිර පරීක්ෂණ කීපයකට සහ වෙනත් වෛද්‍ය පරීක්ෂණ කීපයකට රෝගියා ලක් කෙරේ. රුධිර පරීක්ෂණවලදී රුධිරයේ තයිරොක්සින් හෝමෝන මට්ටම සහ ඔක්සිජන් මට්ටම සොයා බැලේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවක් නම් ඒ සඳහා ප්‍රතිකාර කළ හැකිය. එසේම රෝගියාගේ හිස, ගෙල ප්‍රදේශය CT ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමෙන් ඉහළ ශ්වසන මාර්ගයේ කිසියම් අවහිරතාවක් ඇති දැයි සොයා බැලිය හැකිය. මේ වෛද්‍ය පරීක්ෂණ මඟින් ගෙරවීමට හේතුව හඳුනා ගැනීමට අපහසු නම්, Sleep study සහ Sleep Endoscopy නම් වෛද්‍ය පරීක්ෂණ දෙකට රෝගියා යොමු කෙෙරයි. මේ පරීක්ෂණ සඳහා රෝගියා රාත්‍රියක් රෝහලේ ගත කළ යුතුය. මේ සඳහා ඒ වෙනුවෙන් සැකසූ පරීක්ෂණාගාරයක් තිබිය යුතුය. කොළඹ ජාතික රෝහලේ මෙවැනි පරීක්ෂණාගාරයක් පිහිටුවා ඇත. ඉහත පරීක්ෂණ මඟින් රෝගයේ බරපතළකම, රෝගියා කොතරම් වේලාවක් හුස්ම නොගෙන ඉන්නවාද, එවිට රෝගියාගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම කොතෙක්ද වැනි ගැටලු සඳහා පිළිතුරු සොයාගත හැකිය.
මෙහිදී ප්‍රතිකාර ලෙස නිදාගන්නා ඉරියවුව වෙනස් කිරීම, ශරීරයේ බර අඩු කර ගැනීම (උසට ගැළපෙන බරක් පවත්වාගැනීම) වැනි දේ මුලින්ම රෝගියාට යෝජනා කෙරෙන අතර ශ්වසන මාර්ගයේ අවහිරතාවක් ඇත් නම් එය ඉවත් කිරීමට සුළු ශල්‍යකර්මයක් කිරීමට සිදු වේ. බොහෝ විට කුඩා දරුවන් නින්දෙන් ගොරවන්නේ සෙම්ගෙඩි ඉදිමීම නිසාය. එහිදී සුළු ශල්‍යකර්මයකින් ඒ සඳහා ප්‍රතිකාර කළ හැකිය.
නින්දෙන් ගෙරවීම වැළැක්වීම සඳහා නිර්මාණය කළ C-PAP (සී පැප්) නම් උපකරණය මේ වන විට ලොව පුරා ජනප්‍රියව ඇත. රාත්‍රියේදී නිදාගත යුත්තේ මේ උපකරණය පැලඳගෙනය. එය විදුලියට සම්බන්ධ කර ඇත. ඉතා ආරක්ෂාකාරීය. මේ උපකරණය පැලඳි විට දැඩි පීඩනයක් යටතේ වායු ධාරාවක් පෙණහලු තුළට පොම්ප කෙරේ. සුව නින්දක් ලබා ගැනීමට C-PAP උපකරණය උදවු වේ. මේ උපකරණය පැලඳ නිදාගැනීම මුලදී අපහසු වුවත්, දින කීපයක් යන විට එයට හුරු විය හැකිය.