අප්‍රේල් සඳ
නොවැළලුණු අතීතෙක
සංකේතය වෙලා
මහ පොළොව තළාගෙන
අමාවක ඇවිල්ලා
ඒත් මේ රැය මට අමාවක රැය නෙමෙයි
හදවතේ
අප්‍රේල් රං තැටිය පායලා
ලේ වැකුණු ඉවුරු සිඹ
මේ රැයෙත්
ගිං ගඟේ කඳුළු පහළට ගලත්
සුසුම් හේවිසි මැදින්
දහස් තොල් විවර වේ
සමුද්‍රය වන් ඔබේ ගුණ මහිම
පිරිත් සජ්ඣායනා කරත්
මවු ළැමැද එරෙන රං කිරි පාට
සංවේග සීතලෙකි මගේ ළය තුළ පිරෙන
පාළු සොහොනක රැයට තනි රකින
සුදු අරලිය සුවඳ දෝතක් ය
මගේ ලේ නහර තුළ ඉකි බිඳින
අප ළය මඬලේ සිටිනා වූ
අසිරිමත් සෙනෙහසැති
බෝසත් මිත්‍ර කල්යාණයනි
අද අමාවක වුවත්
පෝය පුන්සඳ ඔබ ය
ජනයිනේ හිස් නමව්
මේ රැයට
ඔබ නමින් එකතු වූ
බිඳෙන මේ කඳුළු ගබඩාවලින්
විහිදි යන අපරාජික බලය
ගන අඳුර කුදලා දමනු ඇත
ආලේක තොරණ වැට නගනු ඇත
ළය මඬල කමලවූ බන්ධූනි
නුඹය මිය නොයන මේ ගිං ගඟ
ගිං ගඟේ ගමන් මඟ
නතර කළ නොහැක කළුවර තොපට
ඉවුරු බඩ රතු නෙළුම්
පිපෙනු ඇත හැම දා ම
නෙතින් ගළනා කඳුළු වෛරය ද
නිවාලිය නොහැක කළු මරණයට
චන්ද්‍රකුමාර වික්‍රමරත්න
සුජාතා හඳගම සොයුරිය
මරණය අමරණීයව
දිසාගේ අත් දෙක මත
පණ අඳින විට
වෙඩි හඬට බිය නොවූ සුජාතා
ඉතිරි පතුරම් කීපය
දිසාගේ අත්ල මත තබා
සටනට දිරිය දී
නෙත් පියා ගත්තීය….
(පේරාදෙණිය සරසවි ශිෂ්‍යාවක වූ සුජාතා හඳගම සහෝදරිය විල්පත්තුවට පසුබසින විට කණ්ඩායම් සාමාජිකාවක් ව සිටිය දී, 1971 වෙසක් පෝය දා නාරම්මල වැලිකුඹුර තේක්ක කැලයේ දී හමුදාව සමඟ සිදුවූ සටනේ දී වෙඩි වැදී මරණයට පත් වූවාය.)
– පාලිත සේනාරත්න
සහෝදරවරුනි
වසරකට වරක් එකලෙස පෙනෙන
බියකරු හීනයෙන් තිගැස්සී අවදිවෙමි
රැයේ නින්දත් නොනින්දත් අතරකදී
හීන් සිරුවේ හිස නගා බලන්නෙමි
ඈත රිටිගල කන්ද පාමුලින් මතුව එන
නිවි නිවී දැල්වෙනා කදෝ පැණි එළියකට
එදා මෙන් අදත් රැවටී හිඳින්නෙමි
මහරැයේ ගිනි හුලක් අතින් ගෙන පා නැගූ
නව ලොවක් තනන්නට පාරමී දම් පිරූ
ඔවුන් ගැන මතකයෙන් ඒ එළිය දෙස බලමි
හෙට පිපෙන රතු පාට මල් පොකුරු නෙළා ගෙන
නොහඳුනන සොහොන් ගැඹ මත එමල් අතුරවා
රැයේ සුළඟට හොරෙන් පහන් දල්වා තබමි.
හෙන්රි වර්ණකුලසූරිය
රණ බිමේ දී මුණගැසුණු මිතුරාට යි….
සරසවියේ සිටියදී අප දෙදෙනා
එක ශාලාවේ එකම කාමරේ
මතකය ඔබ කී කතා සැඳෑ කල
කාමරයේ කෙටි බිත්තිය මත සිට
සිපිරි ගෙයක සිරවී සිටිනා ලෙස
ගෙවන මැදිවියෙහි අරුතක් තිබේද
හැමදා හැකිවේද මේ ලෙස විසුමට
අපගේ ජීවිත සූරාකන තෙක්
මේ සියල්ල බිඳ දමා හෙලිය යුතු
අපට අයිති ලොව දිනන්න යා යුතු
ගිඟුරුම් හඬ මැද දුම් කඳ විසිරුණු
කැලෑ රොදක් තුළ
ඔබත් ඔබේ පිරිවර මිතුරන් හා
මා අබියස දිස් වුණු ඒ මොහොතේ
සැනෙකින් මා සිත ඇඳිනි ඔබේ බස
සරසවියේ දී ඔබ මා හා කී…
නොසිතනු මැන හිත මිතුර දයාබර
අහිතක් මා ගැන
මගේ දෙඅත් පණ ලැබුවේ ඒ මොහොතේ
මා පලඳා සිටි පිත්තල අනේක පැලඳුම්
මා හට අණ දුන් නිසාය සුමිතුර
අද සිට මා මේ අබරණ ගලවා
සිහිපත් කරන්නෙමි ඒ මොහොත ඔබගේ
මුහුණ පුරා තිබූ ප්‍රාර්ථනාවන්
වටහා ගන්නට වෙහෙස දරන්නෙමි
සරසවියේ දී ඔබ මා හා කී දෑ
එබැවින් සුමිතුර නොහිතනු අහිතක්….
බුද්ධදාස ගලප්පත්ති
“කැටපත් පවුර” කාව්‍ය සංග්‍රහය
1972 සැප්තැම්බර්
චූටි නංගී
කලා මැඳිරි නිල් පානින් අඳුරු පැලේ
ගලා ආ අඳුර යන්තම් පමා කළේ
අලි කොටි වලස් කැල ගොලු වී සිටින වෙලේ
මල්වර වුණා නුඹ විල්පත්තු මහ කැලේ
– පාලිත
තාත්තා කියූ සිරිතේ වෙනසක්
(1972 අලුත් අවුරුදු දා)
පසුගිය වසරේ නව අවුරුදු දින
කිරි උතුරුවනා මංගල මොහොතින
පොල් තෙල් පහනක රන්වන් එළියෙන්
පිළිවෙත් පිරු බව මතකද දරුවෙනි
අවුරුදු කුමරිඳු වැඩි එම මොහොතේ
වෙඩි පහරක් ලැබ දිවගොස් දසතේ
තෙල පෙනෙනා අඹගස මුල වැතිරී
මිනිසෙකු මළ බැව් මතකද දරුවෙනි
මෙතැන් පටන් කොට දරුවෙනි එබැවින
අවුරුදු කුමරිඳු වඩිනා හැම දින
පහන රැගෙන ගොස් එම සුබ මොහොතින
අඹරුක මුල එය දල්වා ලනු මැන
මොනිකා රුවන්පතිරණ
(තහනම් දේශයකින් – කාව්‍ය සංග්‍රහය)
1972 අප්‍රේල්