Home » මායිම් වැට

මායිම් වැට

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

බාප්පා අපේ ඉඩමෙන් තවත් කොටහක් අල්ලල කම්බි වැට ගහලා…” නිවෙසට ගොඩ වනවාත් සමඟම ලොකු පුතා කීවෙන් මම බිරියගේ මුහුණ බැලුවෙමි. කිසිවක් කීවේ නැතත් ඇයගේ මුහුණ අඳුරුය. පොඩි දුව දෑස් විශාල කරගෙන මා දෙස බලා සිටියාය. ආරංචිය සුභදායක නොවූව, එය එතරම් බරපතළ නැතිවාක් මෙන් හැසිරිය යුතුයැයි මට සිතිණි. ඔවුන්ගේ පැමිණිල්ල මගේ එකම බාල සහෝදරයාට විරුද්ධවය. ගමන් මහන්සිය නිසාම මම කිසිවක් නොකියා කාමරයට ගියෙමි. මුහුණ-කට සෝදාගෙන මා කුස්සිය දෙසට යන විට අම්මත් දුවත් එකතු වී රාත්‍රී ආහාරය සකස් කරමින් සිටියහ.

“මහත්තය තේ බොනවද? නැත්තං කෝපි බොනවද?” බිරිය ඇසුවේ බිස්කට් පැකැට්ටුවක් මේසය මත තබමිනි.

“තේ එකක් බොමු…”

තේ කෝප්පය අතට දෙමින් ඇය ඇසුවේ මට උත්තරයක් නැති ප්‍රශ්නයකි: “මොකක්ද මහත්තයො අපි මේකට කරන්නෙ?”

“හෙට මල්ලි එක්ක කතා කරලම උත්තරයක් දෙන්නංකො…” මට එක්වරම කියවිණි.

මගේ පිළිතුරට ලොකු පුතාගේ එතරම් කැමැත්තක් නැති බව වැටහුණේ ඔහු තදින් කතා කළ බැවිනි.

“එයත් එක්කල සාම කතාවට ගිහින් වැඩක් නෑ… අපි හෙටම තිබිච්ච විදියට වැට හදාගන්න ඕනෑ. අපේ පන්තියෙ කොල්ලො තුන්දෙනෙක්ම උදවුවට ගෙන්න ගන්න පුළුවන්. පොඩි ගාණක් වියදං යයි.”

“ඔයාලා මේ වැඩේට අතගහන්න ඕනෑ නෑ… මම ඒක ගොඩිං විසඳගන්නං.” මම කීවෙමි.

“එහෙමවත් කරල බලමු. කොස්වාරෙට එක ගහක විතරයි හොඳට ගෙඩි හැදෙන්නෙ. අනිත් ගහේ විසාලෙට ගෙඩි දහයක් දොළහක් හැදුණත් කන්න බෑ; දිය රහයි; කොස් ඇටත් එහෙමයි. අපේ ඉඩමෙ හැදුණට, හැමදාම ගෙඩි කඩාගෙන යන්නෙත් එයාලමයි…” බිරිය හීන්හඬින් කීවාය.

“එයාලගෙ ඉඩමෙ කොස් ගහක්වත් නෑ… මල්ලිගෙ පවුල ගෙඩි කඩාගෙන ගියා කියල අපට ලොකු පාඩුවක් නෑ නේ.” මා එසේ කීවේ සහෝදරකම ඉස්මතු වූ නිසාය.

“ඒ කෑල්ලෙ පොල් ගස් හතරක් තිබිලත් අපට එක ගෙඩියක් කවදාවත් දුන්නෙනං නෑ.”

දිගින් දිගටම කතා වන්නේ එකම මාතෘකාව බැවින් එය වෙනස් කළ යුතුයැයි මම සිතුවෙමි.

“ලොකු පුතේ… ඔයාලයි ඉස්කෝලෙට ඉංග්‍රීසි මහත්තයෙක් ආවලු නේද?”

පිළිතුර ලැබුණේ දියණියගෙනි: “ඔව් තාත්තෙ, එයා හරි දක්ෂ සර් කෙනෙක්. ප්‍රයිවට් පන්තියකුත් පන්සලේ පටන් අරගෙන… අපි දෙන්නත් යන්නයි හිතා ඉන්නෙ.”

“හිත හිත ඉඳල වැඩක් නෑ. හෙටම යන්න.” මම කීවෙමි.

මම සහෝදරයාගේ නිවෙසේ මිදුලට යනවාත් සමඟම ඔහුගේ බිරිය දිවැ’විත් ඉස්තෝප්පුවේ වැල් ඇඳට වහ වහා පැදුරක් එළුවාය.

“අයිය ඊයෙ රෑ වෙලා ගෙදර ආවා කියල අපේ එක්කෙනා කිවුවා…”

“ඔව් නංගි… මම ඊයෙ පාන්දරින් එහෙන් ආවත් මෙහෙට එන කොට රෑ වෙලා.”

මා ඉපදී හැදුණ වැඩුණ නිවෙස දැන් බෙහෙවින් අබලන් වී ඇත. වැඩියක්ම එසේ වන්නට ඇත්තේ නිසි නඩත්තුවක් නැතිකම නිසා විය යුතුය. තම නිවෙස පිළිවෙළකට තබාගන්නට ඔවුන්ට කිසි ඕනෑකමක් නැති බව මා දන්නේ අද ඊයේ සිට නොවේ. අම්මා ජීවතුන් අතර සිටියදී නිවෙස පන්සල වාගේ ලකේට තබාගැනීමට දැඩි උනන්දුවක් දැක්වූවාය. එහෙත් දැන්…?

“මල්ලි පේන්න නැත්තෙ කොහෙවත් ගිහින්ද?” මම ඇසීමි.

“නෑ නෑ… ගේ පිටිපස්සෙ කිතුලෙ මල කපන්න ගියා. දැන් එයි.”

“බිස්නස් එක සරුවට යනව වගේ? ඊයෙ රෑ මම දැක්කා දහයක් විතර කට්ටිය ගැවසෙනව.”

ඇය හිනැහුණාය.

“මේ පාර ගස් දෙකකම මල් පීදුණා. හොඳට කඳුළ වෑහෙනව.”

“එහෙමනං නංගිටත් වාසි ඇති පැණි හකුරු බිස්නස් එකෙන්.”

“මොන… රා පස්සවන එක වාසියි කියලයි එයා කියන්නෙ. අපේ ගස් දෙක විතරක් නෙවෙයි. එගොඩහවත්තෙ ගස් තුනක්ම මදිනව.”

තෙලිජ්ජ මුට්ටිය එල්ලාගෙන පැමිණි සහෝදරයා එය බිරිය අතට දී ඉස්තෝප්පුවේ පඩිය මත වාඩි විය. ඔහු ගෙනා තෙලිජ්ජ මුට්ටියේ ප්‍රමාණය අනුව ඔහුගේ රා නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමක පවතිනු ඇතැයි සිතේ.

“අයිය දැන් ගොඩ කාලයක් තිස්සෙ එහෙ ඉන්න නිසා මේ අහල පහල ඉස්කෝලෙකට මාරුවීමක් ඉල්ලුවෙ නැත්තෙ ඇයි?” ඔහු ඇසුවේය.

“එහෙ ටිකක් දුෂ්කර පළාතක් නිසා, ගුරුවරු එන්න කැමැති නෑ. ට්‍රාන්සර් ඉල්ලුවට හරි ගියේ නෑ.”

කල්නොමරා මගේ ප්‍රශ්නය ඔහුට ඉදිරිපත් කිරීම නුවණට හුරුයැයි කල්පනා කලෙමි.

“ඒක නෙවෙයි මල්ලි… මෙච්චර කාලයක් ප්‍රශ්නයක් වුණේ නැති මායිම් වැට වෙනස් කළේ ඇයි?”

ඔහු එක්වරම පිළිතුරක් දුන්නේ නැත.

“අයියෙ… මේ ගෙයි වහල හොඳටම දිරල. කොයිවෙලේ බිමට කඩා පාත් වෙයිද කියන්න බෑ.”

“ගෙයි වහලයි වැට මායිමයි ප්‍රශ්නයක් වුණේ කොහොමද?”

“අයියලයි ඉඩමෙ වැට මායිමේ තියෙන කොස්ගස් දෙක කපාගත්තොත් වහල හදාගන්න පුළුවන්… කොස්ගස් කපන්න ග්‍රාම සේවක රාලහාමිත් එක්කල කතා කළාම මගෙන් ඇහුව ඉඩමෙ අයිතිය තහවුරු කරන්න ලියවිලි තියෙනවද කියල… මම ටක් ගාලා කිවුව මුළු ඉඩමම මගේ කියල. එයා කිවුව වෙලාවක බලන්න එනව කියල. ඊට කලින් මම ඒ ගස්දෙක අපේ කෑල්ලට එක් කරලා වැට වෙනස් කළා.”

“හරි මෝඩ කතාවක් නෙ කියල තියෙන්නෙ. අපි දෙන්නම මේ ඉඩමෙ පදිංචිවෙලා හිටියට තාම ඒක බෙදල වෙන් කරල නෑ. තාම තියෙන්නෙ අපේ අප්පොච්චිගෙ නමට නේ.”

“ඒකත් එහෙමයි නේද?”

“නැතුව!”

“අපි උපන්දා පටන් ඉන්න ගේ මේක නිසා කොයි කවුරුත් දන්නව මේ ඉඩම අපේ කියල.” ඔහු කීවේ හරයක් නැති කතාවකි.

“එහෙම හරියන්නෙ නෑ. මේ වගේ වැඩවලදි ඉඩමෙ ඔප්පුව අපි ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ ඔප්පුව තියෙන්නෙ මා ළඟ… ඔයා මුළු ඉඩමම ඔයාගෙ කියල ග්‍රාම සේවක මහත්තයට කට වචනෙන් කියල හරියන්නෙ නෑ. ඇරත්, ඕනෑ කෙනෙකුට පේනව, කලක් තිස්සෙ දෙගොල්ලක් මේ ඉඩමෙ පදිංචි වෙලා ඉන්නව කියල. ඒ විතරක් නෙවෙයි, ඕනෑම කෙනෙක් දැක්ක ගමන් හිතනව මේ වැඩේ වෙනුවෙන්ම වැට වෙනස් කරල කියලත්.”

ඔහු කිසිවක් නොකීවේ තමා හිතාමතා වරදක් කර ඇති බව හෙළි වූ නිසා විය හැකිය.

“අනිත් කාරණේ තමයි: මේ ගෙයි වහල ගහන්න කොස්ගස් දෙකම කපන්න ඕනෑ නෑ… යටලීවලට ගන්න අවශ්‍ය වන ලී එක ගහක තියෙනව. වෙල අද්දර තියෙන දිය කොස්ගහ කපා ගත්තම ඇති. ඒකට මගේ විරුද්ධත්වයක් නෑ… අනික් ගහ කපන එක අපරාදයක්. මොකද, ඒක හොඳ පලදාවක් තියෙන ගහක්. පරාලවලට දාන්න ඔය ඉස්සරහ තියෙන පොල් ගහ කපාගත්තම ඇති.”

සැණෙකින් ඔහුගේ මුහුණ අඳුරු විය.

“අද හෙටම මේ ඉඩම ගැන පියවරක් ගන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. බෙදුම් නඩුවක් දැම්මොත් අවුරුදු ගාණක් යනව. ඒ තරං දුරදිග යන්න ඕනෑ නෑ. අපි දෙන්න ජීවතුන් අතරෙ ඉන්න කාලෙ කරන්න ඕනෑ දේවල් නොකළොත් අපේ දරුවන්ට තමයි කරදර. අපි දෙන්නගෙ කැමැත්තෙන් සම සමව ඉඩම බෙදාගෙන වෙන් කරගන්න පුළුවන්කම තියෙනව. ලබන මාසෙ දිහාට ටික දවසක් නිවාඩු දාලා මම එන්නං මිනින්දෝරුවෙක් අල්ලගෙන එකලාසියක් කරගන්න.”

ඔහුගේ කෝපසහගත මුහුණ දෙස බලන්නට බියක් දැනුණෙන් වැඩිදුර කතා කිරීම ශරීර සෞඛ්‍යයට අහිතකර වනු ඇතැයි සිතූ මම මිදුලට බැස්සෙමි. කොස් ගස් දෙකම කපන්නට ඔහු තැත් කරන්නේ මන්දැයි කඩමණ්ඩියට යන තෙක් කල්පනා කළත්, මට කිසිවක් සිතාගත නොහැකි විය. මගේ ගැටලුවට පිළිතුර ලැබුණේ ලී මෝලේ මුදලාලි අහම්බෙන් මුණගැසුණු අවස්ථාවේය.

“ඉස්කෝලෙ මහත්තයගෙ මල්ලිගෙ වත්තෙ හොඳ කොස්ගස් දෙකක් තියෙනව. මම ඒ දෙකට ගාණක් කිවුව. එයා කිවුව ගාණට අරගත්තොත් පාඩුයි. සමහර වෙලාවට මහත්තය මල්ලිට කිවුවොත් මට පාඩුවක් නැති විදියට වැඩේ කරගන්න පුළුවනි.” ඔහු කීවේ ඒ ගනුදෙනුවට මගේ සහයෝගය බලාපොරොත්තුවෙනි.

“හොඳයි මුදලාලි… මම මල්ලිට කියන්නං.” පැවසූ මම නගරයට යෑමට බස් රියට ගොඩ වීමි.

කොස්ගස් ප්‍රශ්නය ගැන මගේ සහෝදරයාගේ ස්ථාවරය කුමක්දැයි දැනගැනීමට බිරියත්, දරු දෙදෙනාත් දැක්වූයේ මහත් උනන්දුවකි. යථා තත්ත්වය පැහැදිලි කළ පසු ලොකු පුතා මහත් සේ කිපිණි:

“එයාගෙ මොකක් හරි ප්ලෑන් එකක් කියල අපි හිතුව. ඒකට මම දෙන්නංකො හොඳ වැඩක්. ග්‍රාම සේවක මහත්තයගෙ පුතා මගේ පන්තියෙ හොඳ යාළුවෙක්.”

“දරුවො… බාප්ප හරි අමුතු චරිතයක්. එයා හරියකට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. පුංචි කාලෙ ඉඳලම කිසිම අණක් ගුණක්, මනුස්සකමක් නැති කෙනෙක්. ආස්සරේ කරන්නෙත් අමුතුම පිරිසක්… මේවා මම ඔයාලට කියන එකත් වැරදියි. නොකියම බැරි නිසයි කිවුවෙ. ඔයාල උඩ පනින්න එපා. ඉස්සරහට ලොකු ලොකු කරදර එන්න පුළුවන්. ඔයා පාඩුවෙ ඉන්න… මම ඒකට මොනවහරි කරන්නං.” මා කීවේ අනාගතයේදී කොස්ගස් පළහිලව්ව දුරදිග යෑමට ඉඩ ඇතැයි සිතූ නිසාය.

ඒ සිතිවිල්ල ඒ ආකාරයෙන් සිදු වීමට වැඩි දවසක් ගියේ නැත. ලොකු පුතා රෝහල්ගත කළ බවට විදුලි පණිවිඩයක් ලැබුණෙන් මම වහාම ගමට ගියෙමි. කම්බි වැට නැවත ඉදි කිරීමේදී ලොකුපුතාත් මල්ලිගේ පුතුන් දෙදෙනාත් අතර බහින්බස් වීමක් දුරදිග යෑම නිසා ඇති වූ ආරාවුලෙන් ඔහු බරපතළ ලෙස තුවාල ලබා ඇති බව දැනගන්න ලැබුණෙන් මම බලවත් කම්පනයට පත් වීමි. තුවාල ලැබූ පුතුට දින අටක් පමණ රෝහලේ ගත කරන්නට සිදු විය. බිරිය හරිහමන් ආහාරයක් නැතිව ඇඬූකඳුළින් පසු වීම මගේ සිතට මහා බරක් විය.

“නෝනෙ… එහෙ මම ඉන්නෙ ගුරු නිවාසෙ. කරදරයක් නැතිව හතරපස් දෙනෙකුට නිදහසේ ඉන්න පුළුවන්. ඉස්කෝලෙ වත්ත අක්කරේකට වැඩියි. ඒ වත්තෙ මම එළවළු වගා කරලා තියෙනව. ඒ විතරක් නෙවෙයි, අක්කර හතරක කුඹුරකුත් මම වැඩ කරවනව… කුඹුරට බැහැලා වැඩ කරනව නෙවෙයි. යන වියදම දරනව… පේන දුරින් ලොකු වැවක් තියෙනව. දුෂ්කර පළාතක් කිවුවට එහෙමට දුෂ්කර ගතියක් නෑ… වතුර ප්‍රශ්නයක් නෑ. වත්තෙ ළිඳකුත් තියෙනව. ඉස්කෝලෙ වත්ත කෙළවරේ අපේ වැවෙන් තවත් වැවකට වතුර යන ලොකු ඇළක් තියෙනව. අනිත් කාරණේ තමයි: මේ මෑතක ඉඳලා ලංගම බස් එකකුයි ප්‍රයිවට් බස්එකකුයි වැඩ කරනව. ටවුමට කිලෝ මීටර් විස්සක්. දරුවො දෙන්නට ටවුමෙ ඉස්කෝලෙට යන්න පුළුවන්. ඒ ටවුම දැන් හරි දියුණුයි. මම දන්න කියන එක්කෙනෙක් කිවුව එයාගෙ ඉඩමෙන් පර්චස් හතළිහක් මට ගන්න කියල. මම හිතාගෙන ඉන්නව මේ පාර වී ලෝඩ් එක විකුණල, ඒ ඉඩං කෑල්ල ගන්න… අපි ඉන්න දිහාවෙත් කඩ කීපයක් තියෙනව… ඒ වගේ සම්පත් තියෙද්දි පර්චස් විස්සක ඉඩමක් වෙනුවෙන් අපේ දරුවො බිල්ලට දෙන්න මට බෑ… අපි පුළුවන් තරං ඉක්මනට එහෙ පදිංචියට යමු.”

“තාත්තෙ අපි එහෙම ගියා කියමුකො. එතකොට මේ ගෙදරට වෙන්නෙ මොකක්ද?” දියණිය ඇසුවේ ඇයට තමා උපන් නිවෙස අත්හැරීම හිතට එකඟව කරන්නට අපහසු නිසායැයි මට සිතිණි.

“මේ ඉඩම තියෙන්නෙ ඔයාලගෙ සීයගෙ නමට. බාප්පයි මායි සමසමව ඉඩම බෙදාගෙන ඔප්පුව හදාගත්තට පස්සෙ විකුණල දාන්න පුළුවන්.”

“බාප්පා එහෙම කරන්න අකැමැති වුණොත්?”

“ඒක එතකොට බලමුකෝ…”

නිවෙසේ පැවතියේ නිහඬ බවකි. ඒ නිහඬ බව මසිතට ගෙනාවේ සැනසිල්ලකි.

“තාත්තේ, අපේ ඉංග්‍රීසි සර්ට නවතින්න ගෙයක් හොයනව. සර්ගෙ නෝනයි පුංචි බබාල දෙන්නෙකුයි ඉන්නවලු. කිසි ප්‍රශ්නයක් නැතිව අපේ ගේ කුලියට දෙන්න පුළුවන්.” එසේ කීවේ ලොකුපුතාය.

“එහෙමනං මහත්තයා, වැඩි කල් ගන්නෙ නැතිව අපි එහෙ පදිංචියට යමු.” බිරිය පැකිළීමකින් තොරව කීවේ දරුවන් දෙදෙනා දෙස කරුණා බැල්මක් හෙළමිනි.

මාලිම්බඩ ටී.කේ. ලයනල්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division