කවිය යනු පරිකල්පනයේ සූක්ෂ්ම ප්‍රකාශනයයි. එවන් අපූර්ව කාර්යයක් කළ හැක්කේ මනා ප්‍රතිනිර්මාණ ශක්තියක් හා සූක්ෂමාත්මයක්ද හිමි කවියකුට හෝ කිවිඳියකට පමණි. ‘වැස්සක වෙස් අරන්’ නම් තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය මඟින් නයෝමි අමරසිංහ කිවිඳිය ඉහත කී ගුණාංග පළ කර තිබෙනු දක්නට ලැබීම සතුටකි; එසේම, ලාංකේය කවියේ හෙට දවස පිළිබඳ සුභවාදි අපේක්ෂා දල්වන්නකි.
රත්න ශ්‍රී කිවිඳුන්ද පූර්විකාවේ දක්වා ඇති පරිදි ඇය සංජානනය කරන අනුභුතීන් බොහොමයක් පූර්ව නිර්මාණකරුවන්ට ගොදුරු වී ඇති ඒවා වුවද නව්‍ය ස්වරූපයකින් රූපාන්තරණය කොට ගන්නට සමත් වන්නේ නිර්මාණකරුවකු සතු විය යුතු දුලබ ප්‍රතිභා ශත්කිය හේතු වාසනා කොටගෙන යැයි සිතමි.
‘වැස්සක වෙස් අරන්’ කවි සරණිය ඔස්සේ නයෝමි ප්‍රකට කරන වෙසෙස් ප්‍රබන්ධ ලක්ෂණ කිහිපයක්ම වෙයි. ඇයගේ කවිය හුදු භාව ප්‍රකාශනයකට සීමා නොවී ඉසියුම් සමාජානුභූතීන් දක්වා විහිද තිබීම කැපී පෙනෙන ගුණාංගයකි. නයෝමි වත්මන් පරපුරේ වෙසෙන ඇතැම් මනෝරාජික කවි-කිවිඳියන්ගෙන් විතැන් වන්නේ ඒ සහකම්පනීය බව හේතු කොට ගෙනය.
ප්‍රතිභා ශක්තියෙන් හීන කවියකු අත පත් වූයේ නම් හුදු වාර්තාවක් බවට පත් වීමට අවකාශ තිබූ කවි නිමිත්තක් නයෝමි කිවිඳිය අතින් අපූර්ව කාව්‍ය රූපකයක් ලෙස චිත්‍රණය වන සැටි ‘රචනා පාඩම’ පෙන්නුම් කරයි:
‘රචනා පාඩමට මා දුන් උපදෙසට
අලුතින් කොපි පොතක් අරගෙන ආවාද
වටයක් දෙකක් උන් අතරින් යන කලට
දුටුවෙමි බිම බලන් උන් බව වැඩි පිරිස…’
වත්මන් සමාජානුභූතියක් අතීතාවර්ජන රීතියේ පිහිටුවමින් නයෝමි අප හමුවේ නඟන පැනය කාලීන සමාජ දේශපාලන හා අධ්‍යාපන ක්‍රියාවලියේ පවතින බිඳවැටීම මනා ලෙස නිරූපණය කරයි. එහෙත් රසික හදවත් තුළ ප්‍රකෝපකාරිත්වයක් හෝ වෛරයක් උත්පාදනය කරනු වෙනුවට, සහකම්පනීය හැඟීම් ජනනයක් සිදු කරන්නට ඇය සමත් වන්නීය.
ලිය-ලිය කෙළවරක් නැතිවම පොත් පුරවා
වෙහෙසම මිසක් නැත ඔළුගෙඩියක් පුරවා
රචනය තමයි මා අත්තටු ලද ගිරවා
මිදුලට යමු ළමයි අහසට නෙත් හරවා…’
දරුවෝ ගතානුගතික ශිල්ප ක්‍රමයක අසරණ සිරකරුවන් බවට පත්ව සිටිති. ඔවුන් මේ සිරකුටියෙන් පිටතට ගෙන සොබාදහමේ කොටස්කරුවන් බවට පත් කළ යුතුය. ඔවුන්ට නිදහසේ හුස්මක් ගත හැකි පරිසරයක් නිර්මාණ කර දිය යුතුය. සැබෑ ගුරු පරපුරක වගකීම විය යුත්තේ එයයි. සුලබ කවි නිමිත්තක් වුව මනා පරිකල්පන ශක්තියකින් හා පුළුල් ජීවිතාවබෝධයකින් යුතු නිර්මාණකරුවකු අතින් රසිකයාගේ හදවත් ස්පර්ශ කරවනසුලු සහානුභූතියක් බවට පත් කළ හැකි බවට නයෝමිගේ මේ කවිය සාක්ෂි දරයි.
මානව සබඳතා විෂයයෙහිද පරිණත දැක්මක් ප්‍රකට කිරීමට නයෝමි දරන ප්‍රයත්නය මේ කවි සරණියේ දක්නට ලැබෙන තවත් ඉදිරිගාමි ලකුණකි. මසැසට ලක් වන මතු පිට තලයේ සංසිද්ධි විනිවිදිමින් ගැඹුරු ජීවන ධර්මතා විකසිත කරවීමට ඇය තම පන්හිඳ මෙහෙයවන්නේ රසික මනස නව දිසානතීන් කරා යොමු කරවමිනි. ‘ඇද හැලෙමි අලුත් වැස්සක්ව’ කවිය ඊට නිදසුන් සපයයි:
‘මුළු මහත් විශ්වයම
මන්දාරමට නතු විය
පියාඹත් වේගයෙන්
සකලයෝ කැදලි වෙත
අම්මා
හනිහනික දිවුවාට
රෙදිවැලට
අප්පච්චිත් අන්න ඇවිල්ලා
ලියැද්දෙන් ගොඩට
අහසටත් වඩා අන්ධකාරයි
ඒ මුහුණ
අත්තම්මා
මහා යුද්ධයක
පියස්සේ සිදුරු යට
හට්ටි මුට්ටිත් එක්ක
මම
සකියනි බලා සිටිනෙමි
නොතිත් ආසාවෙන්
දියකර හරින්නට
මේ ජීවන සරතැස…’
මේ කවියේ මතුපිට දසුනින් චිත්‍රණය වන්නේ ගැමි පැල්පතක සාමාජිකයන් වැස්සකට මුහුණ දීමට සැරසෙන අයුරුය. මෙවන් ගැමි ගෙදරකට වැස්ස ආශීර්වාදයක් සේම විපතක්ද වෙයි. සොබාදහමේ මේ ප්‍රතිවිරෝධය නයෝමිගේ රූපකාර්ථවත් බස් වහර ඔස්සේ මොනවට ඉස්මතුව පෙනෙයි. ‘අහසටත් වඩා අන්ධකාරයි ඒ මුහුණ…’ ගොවි පියකුගේ විඩාබර මුහුණක් රසික සිත් සසල කරවමින් මැවී පෙනෙයි. වටපිටාවේ මෙන්ම පැල්පතේද පවතින නොසන්සුන් ගතිය පියවරෙන් පියවරට සිත්තමකට නඟන කිවිඳිය කවිය නිමාවට පත් කරනුයේ ඒ සියලු අතවර අමතක කොට, අලුත් වැස්ස ඔස්සේ සමාජ ජීවිතයේ වෙනත් මානයකට පිවිසෙන්නට පාඨකයට ඇරියුම් කරමිනි.
‘ගලා යමි
ශිකර තැනිබිම් මතින්
නිම්නයේ ඉම්කඩට
අලුත් වැස්සක්ව
ආ ගිය සියලු පා සටහන්
දිය කරමින්
හැරි හැරී උකු වෙමින්
ගලා යමි නැවුම් දිය දහරක…’
වැහි කෝඩයක හුදු සංසිද්ධියකට තම කවි පදවැල් සීමා නොකර කිවිඳිය එහි වාච්‍යාර්ථ අතික්‍රමණය කරයි. නව ජීවන දෘෂ්ටියක් වෙත රසිකයා කැඳවාගෙන යන්නට ප්‍රයත්න දරයි. ධ්වනිපූර්ණ බස් වහරක් තැනීමේ වුවමනාව, නැවුම් ආකෘති නිමැවීමේ රුචිය වැනි කාරණා කාව්‍යකරණයේ නිරත නව පරපුරේ වැඩි අවධානයට ලක්විය යුතු බවටත් ඇය ඉඟි කරයි.
තම ප්‍රතිභා ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ප්‍රමාණවත් තරමින් අභ්‍යාසයන්හි නිරත වීමේ අවැසිතාවද පෙන්වා දෙයි.
පුවත්පත් කවි පිටුවල මෙන්ම සමාජ ජාලයේද සැරිසරමින් නිබඳ අභ්‍යාසයන්හි නිරත වන කවි කිවිඳියන් රැසක් දක්නට ලැබීම සතුට වඩන්නකි. ඉඩක් ලද සැණින් ඒ නිර්මාණ එකතු කර කවි සරණි පළ කිරීමටද මොවුහු උත්සුක වෙති. මා නයෝමි අමරසිංහ දකිනුයේ මේ පර්යේෂණකාමි කවි පරපුරේ සාමාජිකාවක ලෙසිනි. ඇයගේ අභ්‍යාසකාමිත්වය ප්‍රකට කෙරෙන කවියක් ලෙස ‘කවිවර පියාපත්’ හඳුන්වනු කැමැත්තෙමි:
‘පාවෙන වලාවක වැහි බර ඉවසාන
සාගත සොයා අවසන් කඳුළක් ගේන
ජීවිත අයාලේ යවමින් දඟපාන
මාවත් මැදින් වෑහෙමි වී හඳපාන…’
කිවිඳිය හඳපානක් වී මාවත් ආලෝකවත් කිරීමට සැදී පැහැදී සිටින්නීය. පියාපත් ලදොත් කවියකුට ඉටු කළ හැකි මෙහෙවර කෙතරම් විසල්දැයි ‘කවිවර පියාපත්’ කවිය පුරා ඇය කියාපායි. තම කවිය මතු වන්නේ මිනිස් දාදියෙන් සාරවත් වුණු මිහිකත පත්ලෙනැයි ඇය පවසයි.
එසේම කවියේ රිද්මය හා අරුත තීව්‍ර කෙරෙන ප්‍රකාශන විලාසයක් නිර්මාණය කරගැනීමටද කිවිඳිය වෙහෙසෙයි. ‘කවිවර පියාපත්’ අපූර්වත්වයට පත් වන්නේ කවි බසෙහි මෙන්ම කාව්‍යාකෘතියේ පවතින ඒ වෙසෙස් ගුණාංග හේතුවෙනි. නයෝමිගේ මේ කව කියා පානුයේ සම්ප්‍රදාය හා නවීනත්වය සංකලනය වූ භාෂා රටා අභ්‍යාස කිරීමට නව කවි පරපුර තවතවත් උනන්දු විය යුතු බවයි.
ඕනෑම කලා නිර්මාණයක අපූර්වත්වය ඉස්මතු වන්නේ එහි සන්දර්භයේ පවතින සමතුලිත බව මත යයි මාර්ටින් වික්‍රමසිංහයෝ පවසති. සන්දර්භය යනුවෙන් වික්‍රමසිංහ සූරීන් විසින් හඳුන්වනු ලබනුයේ නිර්මාණයකට අවැසි ආඛ්‍යානය, බස් වහර, අනුභූතිය ආදි සියලු අංගවල මනා ගැළපීමයි. නයෝමිගේ ඇතැම් කවියක සන්දර්භයේ සමබරතාව බිඳීගොස් ඇති සැටි දක්නට ලැබේ. මේ දුබලතාව කලාතුරකින් දක්නට ලැබෙනුයේ අනවශ්‍ය තරමින් භාෂාවට බර තැබූ කවියකය.
එබඳු තැනක් දෙකක් හිට හමු වුවද, සමස්තයක් ලෙස සලකා බලන විට නයෝමි අමරසිංහ කිවිඳියගේ ‘වැස්සක වෙස් අරන්’ කවි සරණිය රසික හදවත් සෞන්දර්යාත්මක ආදරයකින් පිරිමදින නැවුම් වැහිපොදක් සේ හඳුන්වනු කැමැත්තෙමි.