ලක්වැසි සියලු දෙනා එක්ව වෙඩි තබා විනාශ කළ යුතු ජාතිවාදි, ආගම්වාදි පිළිලයට තනි වල්ලේ කානුවකින් වෙඩි තබා තිබේ. ඒ ප්‍රවීණ තීරු ලිපි රචකයකු වන නිමල් අබේසිංහ විසිනි. ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ නම් වූ ඔහුගේ දෙවැනි කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙනි. ශ්‍රී ලංකාව ජාතිවාදි ආගම්වාදි ගැටුම් නැති රටක් වන තෙක් ලක්වැසියාට ‘ශ්‍රී ලාංකික’ වන්නට නුපුළුවන. එනයින් බලන කල මේ වර්ගයේ කෘති එක්තරා ආකාරයකට ජාතික රාජ්‍ය බිහි කිරීමේ ව්‍යායාමයේ කොටසක්ද වෙයි.
මාධ්‍යවේදි වෘත්තිය තුළ වඩාත් අවදානම් සහිත භූමිකාව සේ සැලකිය යුතු වන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදි භූමිකාවයි. විසිවැනි සියවසේ මුල් භාගයේ ඇරඹිණැයි (අමෙරිකාව – 1906 Upton Sinclair) සැලකෙන මේ ශානරය මේ වන විටත් ලෝකයේ වඩාත්ම මහජන අවධානය දිනා ගත් මාධ්‍ය කලාව ලෙස හඳුනා ගැනීමට සිදු වේ.
එමෙන්ම එය ලෝකයේ වඩාත්ම අවදානමක් සහිත මාධ්‍ය භූමිකාවක්ද වේ. ඇතැම් විටෙක එය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන වෘත්තියක්ද වේ. ශ්‍රී ලංකාව තුළ කුප්‍රකට රිචඩ්ගේ සහ ලසන්තගේ ඝාතනයන්ද එයට නුදුරු උදාහරණ වේ. එමෙන්ම මේ භූමිකාව කෙළවරක් නැති අනතුරුවලට අත වනන භූමිකාවක්ද වේ. පෝද්දල ජයන්තගේ ඉරණම මෙයට උදාහරණයක් වන අතර, මාධ්‍යවේදි ඉක්බාල් අතාස් ශ්‍රී ලංකා ගවේෂණාත්මක ජනසන්නිවේදන මධ්‍යස්ථානයේ සමාරම්භක උලෙළේ ප්‍රධාන දේශනය පවත්වමින් ඔහුගේ ජීවිතය 99න් බේරුණු හැටිත්, ඔහු විසින් එක් රැස් කර තිබූ තොරතුරු, ඡායාරූප රාශියක් ගිනි තබන්න සිදු වූ හැටිත් විස්තර කරන්නේ ඔහුගේ තොරතුරු සම්පාදකයන්ගේ ජීවිත පවා විනාශ වන්නට ඉඩ තිබුණු බව සිහිපත් කරමිනි.
ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදි නිමල් අබේසිංහගේ භූමිකාව වැදගත් මෙන්ම තීරණාත්මක වන්නේ ශ්‍රී ලංකාව තුළ ගවේෂණාත්මක මාධ්‍යවේදයට මුහුණ දීමට ඇති ඉහත සඳහන් තත්ත්වයන්ද සැලකිල්ලට ගනිමිනි. විශේෂයෙන්ම කෙනකු අතගසන්න බිය විය යුතු මාතෘකාවකට ඔහු ප්‍රවිෂ්ට වී තිබේයැයි කිව හැකිය.
ලෝකයේ සංස්කෘති අතර ගැටුම කොතරම් පැරණිදැයි තේරුම් ගැනීමට බයිබලයේ මුල් පරිච්ඡේද කිහිපය කියවා ගැනීමම ප්‍රමාණවත් වන අතර, බාබෙල් කුලුන නිම කිරීම වැළැක්වීම සඳහා භාෂාව එකිනෙකාට නොතේරෙන එකක් බවට පත් කළේය යන්න සන්නිවේදන දූරස්ථභාවය ජාතීන් හා ජන වර්ග අතර අනවබෝධය මෙන්ම අවිශ්වාසය ඇති කිරීමට කොතරම් ඉවහල් වන්නේදැයි පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ පවත්නා අවිශ්වාසයටද සන්නිවේදන දූරස්ථභාවය ප්‍රබල හේතුවකි. විශේෂයෙන්ම දියුණු ධනේශ්වර ක්‍රමයක් විසින් විසඳිය යුතු වුවත්, නොදියුණු වැඩවසම් තාලයේ සමාජ ඇගයීම් පද්ධති සමඟ විසීමත් එය තීව්‍ර කරයි.
ශ්‍රී ලංකාවේ ආගමික, වාර්ගික ගැටුම්වල ඉතිහාසය ඉතා දීර්ඝ එකක් වන අතර, එය ආරම්භ වූයේ මෙතැනින් යැයි නිශ්චිතව කීම අසීරුය. එකම ආගමේ භාවිතයන් පිළිබඳ මෙන්ම ආගම් අතරද විටින් විට ඇවිළ ගිය ගිනි මෙතෙකැයි කිව නොහැකිය.
සාමාන්‍ය ජනතාවට මෙය බරපතළ ගැටලුවක් නොවෙතත් උපක්‍රමශීලි මිනිසුන්ට ඔවුන්ගේ පොදු හෝ පෞද්ගලික අභිමතාර්ථයන් උදෙසා සිතුණු වේලාවක මේ ගිනි ඇවිළවීමේ හැකියාව තිබේ. ඇතැම් ආගම් බිහි වීමේදීම රැගෙන ආ ඇතැම් ‘ආගමික යුතුකම්ද’ එය වඩාත් පහසු කර තිබේ. මැතිවරණ කාල වකවානු ළං වන විට එය වඩාත් ඇවිළවිය හැකි එකක් වන අතර, උත්සව සමයන්හිදීත් එය අවුළුවනු දක්නට හැකිය. මෙය දැනුවත්ව ප්‍රයෝජනයට ගන්නා තක්කඩි පිරිසක් ඕනෑම ආගමකට අයත් ජන කොට්ඨාසයක් තුළ සිටිති.
නිමල් අබේසිංහ විසින් ‘ගර්භාෂ යුද්ධය’ කෘතිය තුළ ගවේෂණාත්මකව ඉදිරිපත් කරන්නේ කුප්‍රකට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව ‘ගර්භාශ යුද්ධයක් පවතින්නේය’ යන්න මුල් කරගනිමින් රට තුළ ඇති කරනු ලැබූ ප්‍රකෝපකරණයේදී භාවිතයට ගනු ලැබූ මෙවලම්වල ඇති අවලංගු භාවයයි; නැත හොත් එහි වූ අභූත ස්වරූපයයි.
ඇත්ත වශයෙන්ම ඔහු සිය කෘතියෙන් උත්සාහ කරන්නේ මේ ඇති කරනු ලැබූ ප්‍රකෝප කිරීම කොතෙක් දුරට සාධාරණද? කොතෙක් දුරට තාර්කිකද? යන්න නැවත සලකා බැලීමටය. ඒ සඳහා ඔහු ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී භාවිත කළ යුතු ප්‍රබල මෙවලමක් වන සාක්ෂි සොයා යෑමට වඩාත් වෙහෙස දරා ඇති බව පෙනී යන අතර, එයින් කෘතියේ විශ්වසනීයත්වයට ඉමහත් ආලෝකයක් ලැබෙන බවද පෙනේ.
මිරිකීමෙන් ගැහැනියක වඳ භාවයට පත් කළ හැකිද? යන්න පිළිබඳ සාකච්ඡාවලින් යම් ප්‍රමාණයක්ද සිය කෘතිය තුළට ගෙන ඒමෙන් එහි අගය වඩාත් වැඩි කරගැනීමට හෙතෙම සමත් වේ.
මේ කෘතිය තුළ වඩාත්ම විමර්ශනාත්මක කොටස වන්නේ පොලිස් නිලධාරීන් අතර හුවමාරු වූ ලිපි පිළිබඳ සඳහන් වන තුන් වැනි පරිච්ඡේදයයි. ‘පෑනයි පොතයි තියෙන්නේ අපේ අතේ’ යන පොලීසියේ කුප්‍රකට කියමනද සඳහන් කරමින්, බිම වැටී තිබුණු කපුටු පිහාටුවක් දැක කපුටන් සත් දෙනකු වමනය දැමූ මිනිසකු පිළිබඳ කතාවකට පරිවර්තනය කිරීමේ ‘පොලිස් මෙහෙයුම’ පිළිබඳව කෘතියේ එන කොටස් සෑම නීතිගරුක පුරවැසියකු විසින්ම අධ්‍යයනය කොට තිබීම වැදගත්ය. කතුවරයාගේ මේ නිර්භීත පියවර පිළිබඳ අපගේ ප්‍රසාදය පළ කළ යුතු අතර, ජාතිවාදි, ආගම්වාදි විෂ බිහි කරන මූලයන් තවමත් එසේම පවතින හෙයින්, නිමල් අබේසිංහ එයට තැබූ වෙඩිල්ල පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ගෙන යා හැකි වෙතොත්, එය උණ්ඩ සිය දහසක් බවට පත් කරගැනීමට හැකි වනු නිසැකය.
එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර
ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශ්‍රාමික)