Home » විප්‍රවාසික සාහිත්‍යය සහ සංස්කෘතික බාධා

විප්‍රවාසික සාහිත්‍යය සහ සංස්කෘතික බාධා

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

පසුගියදා (මාර්තු 23) ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වූ ‘දකුණු ආසියා කලා සහ සාහිත්‍ය උලෙළට’ සමගාමිව ‘ඔස්ට්‍රේලියා දකුණු ආසියා සංගමය’ විසින් සංවිධානය කරන ලද ‘ඩිජිටල් යුගයේ සංස්කෘතිය සම්ප්‍රේෂණය කිරීම’ නමැති පොත්, සිතුවම් සහ සේයාරූ දැක්මේදී ආචාර්ය ලයනල් බෝපගේ පැවැත්වූ දෙසුම. 
– ආචාර්ය ලයනල් බෝපගේ

මේ සාකච්ඡාව පැවැත්වෙනුයේ ඔස්ට්‍රේලියා දේශයේ සාම්ප්‍රදායික භාරකරුවන්ගේ – එනම්: කුලන් ජාතියට අයත් වුරුන්ජෙරි ජනයාගේ – පාරම්පරික භූමි භාගයේය. අතීතයේ විසූ, වත්මන වෙසෙන සහ ඉදිරියේ නැඟී එන ඔවුන්ගේ වැඩිහිටියන්ට සහ අනෙකුත් ජන ප්‍රජාවන්ගේ වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිමු.

දහනව වැනි සියවසේ අග භාගයේදී ලාංකික සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පටන් ගත්තේ ක්වීන්ස්ලන්තයේ පැවති ශ්‍රම හිඟය හේතුවෙනි. මේ ලාංකික සංක්‍රමණිකයන්ගෙන් බොහෝ දෙනෙක් ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා පිටත්ව ආ දක්ෂ වෘත්තීය ශිල්පීහු වූහ. ඒ සංක්‍රමණිකයන්ගෙන් මේ දක්වාම පැවතෙන ‘අප්පො’ සහ ‘අප්පු’ වැනි නම් තවමත් ක්වීන්ස්ලන්තයේ දක්නට ඇත. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල පටන් පැවති දේශපාලන නොසන්සුන්තා විසින් බොහෝ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා පොලඹවනු ලැබූහ.

අද ඔස්ට්‍රේලියාවේ පවතින විවිධ සමාජ-ආර්ථික හා දේශපාලන තත්ත්වයන් හේතුවෙන් බොහෝ විට ශ්‍රී ලාංකික සරණාගතයෝ පිටුවහල් කරනු ලැබීමට මුහුණ දී සිටිති. මේ විප්‍රවාසිකයන් විසින් ගොඩනඟන ලද සාහිත්‍යය ‘විදේශගත සාහිත්‍යය’ හෝ ‘ඩයස්පෝරික සාහිත්‍යය’ යනුවෙන්ද හැඳින්වේ. මේ සාහිත්‍යය ආවරණය කරනු ලබන්නේ, තම මවු රටෙන් පිට ජීවත් වන ලේඛකයන් විසින් තම මවු සංස්කෘතිය හා අනන්‍යතාව මෙන්ම, තම විතැන් වීම හෝ සංක්‍රමණය පිළිබඳ අත්දැකීම් පිළිබිඹු කරන කෘතීන් විසිනි. ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් උකහා ගන්නා සහ ඔවුන්ගේ උරුමය හා වත්මන් පරිසරය අතර පවතින සංස්කෘතික ආතතීන් හසුරුවන මේ ලේඛකයෝ අහිමි වීම හා දූරස්ථ වීම පිළිබඳ තේමා ආමන්ත්‍රණය කරති. ගෝලීය ඉතිහාසය, යටත් විජිතවාදය සහ මානව උද්වේගයන් හා අවතැන් වීම පිළිබඳ සුවිශේෂ ඉදිරි දර්ශන ඉදිරිපත් කරන මේ සාහිත්‍ය ආර සංක්‍රමණය, සංස්කෘතික අනන්‍යතාව හා අයිතිය ගැන ගවේෂණය කරයි.

1971 අප්‍රේල් නැඟිටීම සම්බන්ධයෙන් සිරගත කර සිටියදී, මට ටරික් අලි, එඩ්වඩ් සෙඩ් සහ විද්‍යාධර් නයිපෝල් වැන්නවුන්ගේ සමහර ලිපි කියවීමට අවස්ථාව ලැබිණි. ටරික් අලි පාකිස්තානයේ උපත ලද බ්‍රිතාන්‍ය දේශපාලන ක්‍රියාකාරිකයෙක්, ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්, ඉතිහාසඥයෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ ජනතා බුද්ධිමතෙක්ද වේ. පෙරදිග ගැන බටහිර ඉදිරිපත් කරන නිර්වචන විවේචනය කරන පෙරදිගවාදය සහ පශ්චාත් යටත්විජිත කල්පිතය පිළිබඳ නිර්මාණ සඳහා ප්‍රසිද්ධ එඩ්වඩ් සෙඩ්, පලස්තීන අමෙරිකානු බුද්ධිමතෙක් හා විද්වතෙක්ද විය. වී.එස්. නයිපෝල් අනන්‍යතාව, යටත්විජිතවාදය සහ පශ්චාත් යටත් විජිතවාදය යන තේමා ගවේෂණය කරන නවකතා, නිබන්ධ හා සංචාරක සටහන් සඳහා ප්‍රසිද්ධ ට්‍රිනිඩෑඩ් ජාතික, බ්‍රිතාන්‍ය ලේඛකයෙකි. ඔහුගේ කෘති බොහෝ විට සංස්කෘතික විතැන් වීම හා අදාළ සංකීර්ණතා සහ විප්‍රවාසික අත්දැකීම් පිළිබිඹු කරයි. ඔවුන්ගේ කෘතිවලින් මා කියවූ දේ ඔවුන්ගේ සාහිත්‍ය කෘති සමඟ එතරම්ම සම්බන්ධයක් නොතිබිණි. ඒවායේ වැඩි සබඳකමක් තිබුණේ දේශපාලනය හා සමඟය.

විප්‍රවාසික දේශපාලනය සහ සංස්කෘතික අනන්‍යතාව සමඟ සම්බන්ධ ලේඛකයන් බොහෝ දෙනකු ගැන මට පසුකාලීනව දැනගන්නට ලැබිණි. උදාහරණයක් ලෙස: විවිධ විප්‍රවාසික ප්‍රජාවන්ට අයත් අප්‍රිකානු, ලතින් අමෙරිකානු, ආසියානු සහ මැදපෙරදිග සම්භවයක් ඇති ලේඛකයෝ වෙති. ඔවුහු විප්‍රවාසික දේශපාලන අත්දැකීම් සහ ඉදිරි දර්ශන පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන්හ. අධිපති කථා වස්තුවලට අභියෝග කරන සහ ආන්තික ප‍්‍රජාවන්ගේ අත්දැකීම් ඉස්මතු කරන විකල්ප දෘෂ්ටිකෝණ ඉදිරිපත් කරන ඔවුන්ගේ ලේඛන බහුතරය යුරෝපය කේන්ද්‍ර කරගත් ඉදිරි දර්ශන අභියෝගයට ලක් කරයි.

තම ඉන්දීය අනන්‍යතාව නිර්වචනය කරන අන්දම කෙරෙහි බලපෑම් කරන, විප්‍රවාසික ඉන්දීය ලේඛකයෝ සිය භූගෝලීය සහ සමාජීය පිහිටීම අනුව හැඩගැසුණු විවිධ ජීවන අත්දැකීම් ආවර්ජනය කරති. එසේම, බොහෝ ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානුවෝ සංස්කෘතික මතකය අවදි කරවමින් හා අතීතය ගැන වඩා ගැඹුරු අවබෝධයක් ප්‍රවර්ධනය කරවමින් තම ප‍්‍රජාවන් සතුව තිබෙන ඓතිහාසික අත්දැකීම් ලේඛනගත කරති. ඔස්ට්‍රේලියාවේ සාහිත්‍යයට කැපී පෙනෙන ලෙස දායක වන ශ්‍රී ලාංකිකයන් අතර, ජගත් එදිරිසිංහ, මුරුග පූපති, වෛද්‍ය නොයෙල් නඩේසන්, ශංකරි චන්ද්‍රන්, මහාචාර්ය චාන්දනී ලොකුගේ, ස්වර්ණකාන්ති ධර්මවර්ධන (පෙර, රාජපක්ෂ), මාලන් බණ්ඩාර කපුවත්ත සහ අසූතුනේ ජූලි කලබල සලකුණු කරන ‘Big Match 1983’ නමැති කාව්‍යය ලියූ මහාචාර්ය යස්මින් ගුණරත්න සිටිති. අනෙකුත් සම්භාවනීය ඩයස්පෝරික ලේඛකයන් අතර (ශ්‍රී ලාංකික කැනේඩියානු ජාතික) මයිකල් ඔන්ඩාච්චි, (‘The Seven Moons of Maali Almeida’ කතුවර) ෂෙහාන් කරුණාතිලක, අනුක් අරුද්ප්‍රගාසම්, ක්‍රිස්ටෝෆර් ඔන්ඩාච්චි, රොමේෂ් ගුණසේකර සහ ශ්‍යාම් සෙල්වදුරෙයි සිටිති. මෙහිදී මට මඟහැරුණු යම් නමක් වේ නම්, ඒ ගැන මගේ කනගාටුව පළ කරමි.

ඉංග්‍රීසියෙන් ලියන ලද හෝ සිංහල හා දෙමළ භාෂාවලින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද කෘතීන් අඩංගු, විද්‍යන් රවීන්තිරන්, සේනි සෙනෙවිරත්න සහ ශාෂ් ට්‍රෙවට් සංස්කරණය කළ ශ්‍රී ලාංකික සහ විප්‍රවාසික කාව්‍ය සංග්‍රහයක් සියයකට අධික කවීන් සංඛ්‍යාවක් කරළියට ගෙන එයි. දිගු කලක් තිස්සේ නොසලකා හරින ලද ජාතික සාහිත්‍යයක් ඉස්මතු කරන මේ සංග්‍රහය, සංක්‍රමණය හා ක්‍රෑරකම කවියට නැංවීම පිළිබඳව අප සතු අවබෝධය යළි හැඩ ගන්වයි. ආදරය, කලාව සහ සොබාදහම පිළිබඳ කවි මෙන්ම 1971 සහ 1988-89 තරුණ නැඟිටීම්, 2004 සුනාමිය හා එහි ප්‍රතිඵල, මුස්ලිම් ප්‍රජාවන්ට බලපාන සිද්ධි සහ සිවිල් යුද්ධය වැනි තීරණාත්මක සිදුවීම් ගවේෂණය කරන කාව්‍යයන්ද එයට ඇතුළත් වේ. කාව්‍ය ශාස්ත්‍රය රටේ කැලඹිලිකාර අතීතය විමර්ශනයට ලක් කරන අතර, යටත්විජිත භාවිතාවන්ගේ සිට රටේ ගැටුම් මත පදනම් වුණු ඉතිහාසය දක්වා වන විවිධ ජීවන අත්දැකීම් සිහියේ තබා ගැනීමේ වැදගත්කම අවධාරණයට ලක් කරයි.

විවිධ ආරවුල් යොදාගනිමින් ඉන්දීය විප්‍රවාසික ලේඛකයෝ අනන්‍යතාව, සංස්කෘතිය හා සමාජ ගැටලු යන තේමා ගවේෂණය කරති. ඔවුනතරින් කැපීපෙනෙන කතුවරුන් අතරට ජුම්පා ලහිරි, සල්මන් රුෂ්ඩි, අරුන්දතී රෝයි සහ වික්‍රම් සෙත් ඇතුළත් වෙති. ඉන්දීය සමාජයේ පවතින සංකීර්ණතා පිළිබිඹු කරන ඔවුන්ගේ කෘති සහකම්පනය හා සංස්කෘතික අවබෝධය දිරිමත් කරයි. විප්‍රවාසික සාහිත්‍යයෙන් සංක්‍රමණය හා අදාළ අභියෝග, අනන්‍යතාවේ ඇති කරන විපර්යාස සහ සංස්කෘතික කම්පන ඇති කරවන මානසික බලපෑම් අවධාරණය කෙරේ. විප්‍රවාසික සාහිත්‍යය විසින් බහු සංස්කෘතික සන්දර්භයන් තුළ සංස්කෘතික අනන්‍යතා දිගහැරෙන ආකාරය සහ ආර්ථික ගෝලීයකරණය හා සමාජ සංකලනය සංස්කෘතික ගතිකත්වය කෙරෙහි දක්වන බලපෑම් අනාවරණය කරනු ලැබේ. අවසානයේදී, විවිධ ස්වර හා ඉදිරි දර්ශන හඳුන්වා දීම මඟින් ජාතික හා ගෝලීය සාහිත්‍ය සම්මත පුළුල් කරවා ලමින් සහ යළි අර්ථ දක්වමින් විප්‍රවාසික සාහිත්‍යය අන්තර්ජාතික සාහිත්‍ය භූමිකාව කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑම් කර ඇත.

ආසියානු සාහිත්‍යය බටහිර ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් දෘශ්‍යතාවක් සහ පිළිගැනීමක් අත් කර ගෙන ඇත. කතුවරු අනන්‍යතාව, සංක්‍රමණය, ඉතිහාසය සහ මතකය වැනි තේමා ගවේෂණය කිරීම හේතුවෙන් මේ පිබිදීම, ආසියාවේ පවතින සංස්කෘතික විවිධත්වය සහ ඓතිහාසික සන්දර්භය ඉස්මතු කර දක්වයි. ඉහතදී භාෂාව හා අදාළ බාධා හා යුරෝපය කේන්ද්‍ර කරගත් මනාපයන් විසින් වළක්වා ලන ලදුව, ගෝලීයකරණය ආසියානු සාහිත්‍යයේ ග්‍රහණය පුළුල් කරවා ඇත. පරිවර්තනය කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල ආයෝජනය කරන ප්‍රකාශකයෝද ආසියාවෙන් සහ විප්‍රවාසිකයන් කෙරෙන් නැඟෙන නව ස්වර බලාපොරොත්තු වෙති.

ඩිජිටල් වේදිකා සහ තමන්ම කරන පළ කිරීම් මඟින් ආසියානු කතුවරුන්ට නානාප්‍රකාර අන්දමේ සාහිත්‍යමය භූමිකාවකට දායක වෙමින් ගෝලීය ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ වන්නට අවස්ථා සලසා දෙයි. මේ වෙනස් වීම වඩා විශාල සංස්කෘතික හුවමාරුවක් සහ ඇතුළත් කර ගැනීමක් පිළිබිඹු කරයි. සාහිත්‍ය ශික්ෂාව තුළ ආසියාතික සාහිත්‍යය ගතික බලවේගයක් බවට පත් කරවමින්, පාඨකයෝ ගෝලීය සංකීර්ණත්වය පිළිබිඹු කරන කතා වස්තු වෙත ආකර්ෂණය කර ගනු ලැබෙති. ආසියාවේ කතා වස්තු අපගේ අවබෝධය සාරවත් කරන අතර, සාහිත්‍යයේ සීමා මායිම් අභියෝගයට ලක් කරයි.

ආසියානු විප්‍රවාසිකයේ, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික විප්‍රවාසිකයේ පවතින අඩුපාඩුව වන්නේ, ඔවුන් තම සාහිත්‍ය කෘති සඳහා තිබෙන වෙළෙඳපොළ ලෙස, තම ශ්‍රාවක පිරිස ලෙස අවධානය යොමු කරන්නේ තමන්ගේම ප්‍රජාවන් කෙරෙහි වන බවයි. ඔවුන්ගේ අවධානය සිය දේශීය පාරිභෝගික පදනම තෘප්තිමත් කිරීම පිණිස යොමු වී ඇති නිසා, අන්තර්ජාතික අංගණයට පිවිසෙන්නට හැකිව ඇත්තේ අතළොස්සකට පමණි. බොහෝ සිංහල ලේඛකයන් ලියන්නේ සිය සිංහල පාඨකයන් සඳහා පමණක් වන අතර, බොහෝ දමිළ ලේඛකයන්ද එසේම කරන බව පෙනේ. බොහෝ ඉන්දීය සහ අනෙකුත් ආසියානු ලේඛකයෝද එසේම කරති. අන්තර්ජාතික ශාස්ත්‍රීය වෙළෙඳපොළට සේන්දු වන්නට නම් විප්‍රවාසික ලේඛකයන්ගේ කථාවස්තුවල අවධානය යොමු විය යුත්තේ අන්තර්ජාතික වෙළෙඳපොළේ අවශ්‍යතා සපුරා ලීමත්, ඒ වෙළෙඳපොළ ආකර්ෂණය කරගැනීමත් කෙරෙහිය.

මෙය අපේ විප්‍රවාසික ලේඛකයන්ට කරන්නට නොහැකි දෙයක් නොවේ. එසේ කිරීමට අවශ්‍ය කුසලතා, හැකියා සහ වෘත්තීය දක්ෂතා ඔවුන් සතුව ඇත. මා විශ්වාස කරන අන්දමට අපට නැත්තේ ඒ සඳහා තිබෙන අධිෂ්ඨානය සහ කැප වීමයි. අපේ විප්‍රවාසික සාහිත්‍යධරයන් වෙත මා දෙන පණිවිඩය වන්නේ, ‘ඒ බාධක ජය ගෙන, අන්තර්ජාතික සාහිත්‍ය අංගණයට පිවිසෙන්නට අවශ්‍ය ධෛර්යය අත් කරගත යුතුය,’ යන්නයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division