අප හැමෝටම කියන්නට කතාවක් තිබේ. එම කතා කියන්න එකිනෙකා භාවිත කරන ක්‍රම විවිධ වේ. සමහරු ලියති, සමහරු චිත්‍ර අඳිති, සමහරු මූර්ති කරති, තවත් සමහරු චිත්‍රපට නිර්මාණය කරති. සෑම කලාකරුවෙක්ම තමන්ගේ කතාව අහන්න, දකින්න සලස්වන්න සිහින දකිති.
අද වන විට කලාකරුවන්ට තම කලා ව්‍යාපෘති සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීමට ඇති අවස්ථා අන් කවරදාටත් වඩා වැඩියි. චිත්‍රපටකරුවන් සඳහා, ජාත්‍යාන්තර චිත්‍රපට උළෙල හරහා චිත්‍රපට නිෂ්පාදනයේ විවිධ අදියර වෙනුවෙන් මූල්‍යාධාර ලබා දෙනු ලබන ව්‍යාපෘති ගණනාවක් ඇත. මෙම ව්‍යාපෘති මගින් අරමුදල් සපයනවා පමණක් නොව, වෘත්තීය සහයෝගය සහ සිනමා කෘති ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ද සපයයි. මෙම ලිපියේ අරමුණ වන්නේ ඔබේ සිහින ව්‍යාපෘතිය යථාර්තයක් කරගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීමට ජාත්‍යාන්තර චිත්‍රපට උළෙලවල් හරහා ඇති විකල්ප අවස්ථා සහ කර්මාන්ත අවස්ථා හඳුන්වාදීමයි.
ලොකර්නෝ චිත්‍රපටකරුවන්ගේ ඇකඩමිය
ලොකර්නෝ චිත්‍රපටකරුවන්ගේ ඇකඩමිය යනු වයස අවුරුදු 18 ත් 35 ත් අතර නැගී එන චිත්‍රපටකරුවන් ඉලක්ක කරගත් දින දහයක වැඩසටහනක් වන අතර, ඉන් ඔවුන්ගේ අධ්‍යක්ෂණ කුසලතා වැඩි දියුණු කිරීමට අරමුණු කරන අතරම ලොකර්නෝ චිත්‍රපට උළෙල සමඟ සම්බන්ධ වීමට ඉන් සුවිශේෂී අවස්ථාවක් සපයයි. මෙයට සහභාගිවීම සඳහා ජාත්‍යන්තර උළෙලකින් තෝරාගත් කෙටි චිත්‍රපටයක් ඉදිරිපත් කළ යුතු අතර ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හැකිවිය යුතුය.
මෙම වැඩසටහනින් වෘර්තීමය චිත්‍රපට නිෂ්පාදකයින් හඳුනා ගැනීමට හැකිවීම, මහජන තිරගත කිරීම් හරහා දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසීම, සහ නව සිනමා අදහස් ගවේෂණය කිරීමට අවස්ථාව සැලසීම ඇතුළත් වේ.
අයදුම්පත් ඉදිරිපත් කිරීම 2025 අප්‍රේල් 20 දක්වා හැකියාව ඇති අතර, තෝරාගත් අයදුම්පත් 2025 මැයි 26 වෙනිදා වන විට දැනුම් දෙනු ලබන අතර සහ ලොකානෝ cඉත්‍රපට උළෙලට 2025 අගෝස්තු 6-16 දක්වා පැවැත්වේ. වැඩි විස්තර සඳහා, විමසීම් locarnoacademy@locarnofestival.ch වෙත එවිය හැකිය.
ආසියානු සිනමා අරමුදල 2025 – පශ්චාත් නිෂ්පාදන අරමුදල
ආසියානු සිනමා අරමුදල 2025, ආසියානු සිනමා ව්‍යාපෘතිවල පශ්චාත් නිෂ්පාදන අරමුදල් සැපයීම සඳහා මාර්තු 10 සිට අප්‍රේල් 7 දක්වා අයදුම්පත් කැදවා ඇත. සුදුසුකම් ලත් චිත්‍රපට පූර්ව ප්‍රදර්ශන හෝ මහජන ප්‍රදර්ශනය කර නොමැති සිනමාපට විය යුතු අතර, 2025 මැයි වන විට සංස්කරණය සම්පූර්ණ කළ යුතු අතර ආසියානු හෝ කොරියානු අංග ඇතුළත් විය යුතුය.
අයදුම්කරුවන් ආසියානු ජාතිකයින් විය යුතු අතර, චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ පූර්ව අත්දැකීම් තිබිය යුතු මෙන්ම, ඉදිරිපත් කරන පිටපත් ස්වතන්ත්‍ර පිටපත් විය යුතුය. තෝරාගත් ව්‍යාපෘති සඳහා කොරියන් වොන් මිලියන 10 ක මුදල් ප්‍රදානයක් ලැබෙන අතර 2025 ආසියානු ව්‍යාපෘති වෙළඳපොළට සහභාගී වීමට ආරාධනා කරනු ලැබේ. අයදුම්කරුවන් විසින් ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක්, ලොග් ලයින් එකක්, සාරාංශයක්, අධ්‍යක්ෂවරයාගේ අභිප්‍රාය සහ කෘතියේ සිනමාවේදය පිළිබද විස්තරයක්, මෙන්ම 2025 මැයි මස අවසානය දක්වා ප්‍රවේශ විය හැකිව පැවතිය යුතු පෙර නිර්මාණ වල සබැඳි ඇතුළත් මාර්ගගත අයදුම් පත්‍රයක් සම්පූර්ණ කළ යුතුය. මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සදහා ව්‍යාපෘති තුනක් තෝරා ගනු ලබන අතර, ප්‍රතිඵල මැයි මාසයේදී විද්‍යුත් තැපෑලෙන් නිවේදනය කෙරේ. තෝරාගත් ව්‍යාපෘති සඳහා වන වගකීම් අතරට අරමුදල් ගිවිසුමක් අත්සන් කිරීම, APF සඳහා සහභාගී වීම, අමතර අත්‍යාවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ චිත්‍රපටයේ සහ ප්‍රවර්ධන ද්‍රව්‍යවල ආසියානු සිනමා අරමුදල පිළිබදව පැහැදිලිව සදහන් විය යුතුය.
ආසියානු ජාලයේ වාර්තා චිත්‍රපටි අරමුදල
ආසියානු සිනමා අරමුදල 2025 විසින් වාර්තා සිනමාපට නිශ්පාදනය කිරීම සදහා දෙනු ලබන අරමුදල් වෙනුවෙන් වන අයදුම්පත් බාරගැනීම අප්‍රේල් 10 වන දින දක්වා සිදුකෙරේ. සිනමාහල් වල ප්‍රදර්ශනය කිරීම ඉලක්ක කරගනිමින් නිශ්පාදනය වන දිගු-වාර්තා චිත්‍රපට මෙහිදී සලකා බලනු ලැබේ. සුදුසුකම් ලත් ව්‍යාපෘති කොරියානු හෝ ආසියානු ජාතිකයින් විසින් අධ්‍යක්ෂණය කළ යුතු අතර මිනිත්තු 60ක් හෝ ඊට වැඩි ධාවන කාලයක් තිබිය යුතුය. ව්‍යාපෘති සංවර්ධන අදියරේ සිට පශ්චාත් නිෂ්පාදන අදියර දක්වා වන ඕනෑම නිෂ්පාදන අදියරක ඇති ව්‍යාපෘති බාරගනු ලැබේ. තෝරාගත් ව්‍යාපෘති සඳහා කොරියන් වොන් මිලියන 20 ක් දක්වා මුදල් ප්‍රදානයක් ලැබෙනු ඇති අතර, ඒශියන් කන්ටෙන්ට් ඇන්ඩ් ෆිල්ම් මාකට් සදහා සහභාගීවීමට ව්‍යාපෘතිය නියෝජනය කරමින් එක් අයෙකුට නිල ආරාධනයක් ලැබෙන අතර, එයට නිල වෙළඳපල ලාංඡනය, යාම්-ඒම් සදහා ගුවන් ගමන් ගාස්තු සහ රාත්‍රී හතරක සදහා නවාතැන් පහසුකම් ඇතුළත් වේ. අයදුම්කරුවන් විසින් ව්‍යාපෘතිය පිළිබද විස්තරයක්, සාරාංශයක්, අධ්‍යක්ෂවරයාගේ අභිප්‍රාය, ව්‍යාපෘති යෝජනාවක් සහ පෙර කෘති සඳහා අන්තර්ජාල සබැදියාවන් සහ නිරූපණ රීලයක් සහිත මාර්ගගත අයදුම් පත්‍රයක් සම්පූර්ණ කළ යුතුය. අරමුදල් සම්පාදනය සදහා ව්‍යාපෘති හතක් පමණක් තෝරා ගනු ලබන අතර, ජුනි මස මුලදී විද්‍යුත් තැපෑලෙන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලබන අතර, 30 වන බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙන් පසු අරමුදල් සපයනු ලැබේ. තෝරාගනු ලබන්නන් වාර්තාචිත්‍රපට වැඩමුළු වලට සහභාගී විය යුතු අතර, අරමුදල මගින් නිපදවනු ලබන චිත්‍රපට වල අරමුදලට අදාල නිශ්චිත නිල ලාංඡන නාමාවලිය තුල ඇතුළත් කළ යුතු අතර, ප්‍රවර්ධන අරමුණු සඳහා ව්‍යාපෘතියේ විවිධ අදියරයන් ගැන විස්තර බෙදා ගත යුතුය. විමසීම් සඳහා, acf@acfm.kr අමතන්න.
සිව්වන වෙස්ට් මීට්ස් ඊස්ට් තිරපිටපත්ගාරය
24 වෙනි ඩකා ජාත්‍යාන්තර චිත්‍රපටි උළෙලට සමගාමීව 2026 ජනවාරි 11 සිට 14 දන්වා වෙස්ට් මීට්ස් ඊස්ට් තිරපිටපත්ගාරය මාර්ගගත වඩසටහනක් ලෙස පවත්වීමට කටයුතු යොදා ඇත.
මෙම තිරපිටපත්ගාරයේ සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරමින්, මෙවර සියලුම ආසියානු රටවලින් තිරපිටපත් බාරගනු ලැබේ. මීට පෙර එය විවෘතව තිබුණේ දකුණු ආසියානු චිත්‍රපටකරුවන් සදහා පමණි.
ඉදිරිපත් වන ව්‍යාපෘති අතරින්, තෝරාගනු ලබන හොඳම යෝජනා 10 සුවිශේෂී උපදේශක වැඩසටහනකට යොමු කරනු ලැබේ. මේ මඟින් දින හතරක් පුරාවට, තෝරාගනු ලබන තිර රචනා පිරිපහදු කිරීම සහ පළපුරුදු උපදේශකයින්ගේ මග පෙන්වීම් යටතේ ඔවුන්ගේ ව්‍යාපෘති වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වැඩමුළුවකට සහභාගිවීම සදහා අවස්ථාව ලැබෙනු ඇත. පළමු දින තුන තුළ සෑම සහභාගිවන්නෙකුට තමා වෙනුවෙන්ම වෙන් වූ උපදේශකයෙකු සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන අතර, මෙහිදී ඒ ඒ ව්‍යාපෘතියට අදාලව පුද්ගලාරෝපිත උපදෙස් සහ මගපෙන්වීම් ලබා ගත හැක.
අවසාන දිනයේදී, සහභාගිවන්නන් තම ව්‍යාපෘති Film Haat එනම් ඩකා ජාත්‍යාන්තර සිනමා උළෙලේ චිත්‍රපට ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන අතර (මාර්ගගත ක්‍රමය හරහා) මේ සදහා චිත්‍රපට නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, ආයෝජකයින් සහ වේදිකා හිමියෝ සහභාගී වෙති. ඉදිරිපත් කිරීම් වලින් පසුව, ජූරි මණ්ඩලයක් විසින් හොදන ව්‍යාපෘති තුන ප්‍රකාශයට පත් කරනු ලබන අතර, ඔවුන්ගේ තිර රචනා තවදුරටත් සන්වර්ධනය කිරීම සඳහා මුදල් ත්‍යාග පිරි නැමේ. ත්‍යාග අතරට පළමු ත්‍යාගය සඳහා බන්ගලි ටකා 500,000 ක්, දෙවන ත්‍යාගය සඳහා බන්ගලි ටකා 300,000 ක් සහ තෙවන ත්‍යාගය සඳහා බන්ගලි ටකා 200,000 ක් හිමි වේ.
ඇයැදුම්පත් කැඳවීම් මේ වන විට ආරම්භ කර ඇත. අයදුම් කිරීම සදහා, චිත්‍රපටයට අදාළ ලොග් ලයින් එක, සාරාංශයක්, අධ්‍යක්ෂවරයාගේ අභිප්‍රාය, සහ අධ්‍යක්ෂවරයාගේ ජීව දත්ත ඇතුලත් ලියවිලි ඉදිරිපත් කළ යුතුය. තෝරාගන්නා ව්‍යාපෘති සදහා ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත තිරපිටපත්ගාරට පෙර, අධ්‍යක්ෂවරයාට සම්පූර්ණ තිරපිටපත ඉදිරිපත් කිරීමට මාස දෙකක හෝ තුනක කාලයක් හිමිවනු ඇත.
විමසීම් සඳහා, www.dhakafilmfestival.org/ අමතන්න.