Home » සිනමා මතකයේ මාලිනී

සිනමා මතකයේ මාලිනී

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment
එයා දැන් ලොකු ළමයෙක් සහ අපේක්ෂා

ළු නිළියන් අපට මතක හිටින්නේ චිත්‍රපට සමඟ – චිත්‍රපට මතක හිටින්නේ නළු නිළියන් සමඟ. මාලිනී ෆොන්සේකා ද එසේමයි. මාලිනී අපගේ මතකයේ සිටින්නේ ඈ චරිත නිරූපණය කළ චිත්‍රපට සමඟ. ඈ රඟපෑ චිත්‍රපට ද බොහෝමයක් අපට මතක් වෙන්නේ මාලිනී එක්ක.

සිනමාව වෙනත් කිසිදු කලා මාධ්‍යයකට වඩා වෙනස් වන එක් තැනක් වන්නේ මෙතැන. සිනමාව නළු නිළියන් කේන්ද්‍ර කර ගත් කලාවක්. එහි ස්නායු පද්ධතිය පමණක් නොව බාහිර පෙනුමද වන්නේ නළු නිලියන්. මාලිනී මෙරට සිනමා ඉතිහාසය තුළ වසර හැටකට කිට්ටු කාලයක් රැදී සිටිනවා. ඈ එම කාලය තුළ චිත්‍රපට 150 කට අධික ප්‍රමාණයක රඟපා තියෙනවා.

බඹ ඇවිත්

බඹ ඇවිත්

මාලිනී ෆොන්සේකා ගේ රංගන දිවිය සැලකීමේදී ඈ ශ්‍රී ලාංකීය සිනමාවේ සියලු සිනමා ප්‍රභේදයන් (Genre) තුළ තම රංග සලකුණ තැබීමට සමත් වූ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ශ්‍රී ලාංකික විනෝදාස්වාද සිනමාවේ ඈ අග්‍රගණ්‍ය තාරකාවියක්. ”ආදරේ හිතෙනවා දැක්කම (1972)” , “එදත් සූරයා අදත් සූරයා (1972)”, “තුෂාරා (1973)”, සංගීතා (1975),” අපේක්ෂා (1978)”, ප්‍රමුඛ මෙරට විනෝදාස්වාද සිනමාවේ ස්වර්ණමය අවධිය වූ හැත්තෑව දශකයේ බිහිවූ චිත්‍රපටවල ඈ අසමසම තාරකාවිය වුණා. මෙරට සම්භාව්‍ය හෝ කලාත්ම සිනමාව තුළ මතුකළ රංග ප්‍රතිභාව විශිෂ්ටයි. “දහසක් සිතුවිලි (1968)”, අක්කර පහ (1970)”, නිධානය (1972)”, “එයා දැන් ලොකු ළමයෙක් (1977)”, “පෙම්බර මධූ (1977)”, “ආරාධනා (1981)”, “ඉන්දුට මල් මිටක් (1983)”, “බැද්දේගම (1987)”, ඒ අතර චිත්‍රපට කිහිපයක්.

මාලිනී ෆොන්සේකා ගේ රංග දිවියේ අද්විතීයම රංග කාර්යය ලෙස ඈ මෙරට යථාර්ථවාදී සිනාමාවේ සටහන් කළ චරිත නිර්මාණ උදාහරණ ලෙස ගෙනහැර දැක්වීම මග හැර යන්න බැහැ. ඇගේ රංග ප්‍රතිභාවේ සමස්ත වර්ණ පරාසයන් එහි ගැබ්ව තියෙනවා. “බඹරු ඇවිත් (1978)” හා “සොල්දාදු උන්නැහේ (1981)” එයට කදිම උදාහරණ දෙකක්.

රංගනය යනු කුමක්ද? ඒ තුළ අප මාලිනීගේ රංග ආඛ්‍යානය අර්ථ දක්වන්නේ කොහොමද?

රංගනය යනු රංග කලාවයි. එහිදී නළු නිළියන් දෙබස් (Dialogs), ශරීර භාෂාව (Gestures) සහ මුහුණේ ඉරියව් (Faciel Expressions) භාවිත කරමින් චරිත ප්‍රතිනිර්මාණය (Character Recreation) කරනවා.

රංග කලාවේ රංගනය පිළිබඳ ඉගැන්වීම් හා ක්‍රමවේද බොහෝ තියෙනවා. ඒවා පොදුවේ මූලික වර්ගීකරණයකට ලක් කළ හැකියි. එනම්, ස්වභාවික රංග විධික්‍රම හා ස්වභාවිකත්වය ඉක්මවූ රංග විදි ක්‍රම ලෙසයි. මෙයින් මාලිනී ෆොන්සේකා ගේ රංගන භාවිතය හඳුනාගත හැක්කේ ස්වභාවික රංග භාවිතයක් ලෙසයි. රංගනයේදී ස්වාභාවික රංගනය (Natural Acting) යන්නෙන් අදහස් කරන්නේ චරිතයක ක්‍රියා සහ හැඟීම් අව්‍යාජව සහ විශ්වාස කළ හැකි ආකාරයෙන් නිරූපණය කිරීම අරමුණු කරගත් රංගන විලාසයක්. එය කෘත්‍රිම හෝ අතිශයෝක්තියට නැංවූ හැසිරීම්වලින් වැළකී සිටිනවා.

මාලිනී ගේ රංගනය සමස්තයක් ලෙස සැලකීමේ දී ඈ කුමන සම්ප්‍රදායක සිනමා කෘති තුළ වුවත් ස්වභාවික රංග සීමාවෙන් ඔබ්බට නොයා ඇති බව පැහැදිලිව පෙනෙනවා. එයට කදිම උදාහරණ දෙකක් ලෙස නාටකීය අවස්ථා බහුල “බඹරු ඇවිත්” හා “සොල්දාදු උන්නැහේ” නැවත ගෙන හැර දැක්විය හැකියි.

මාලිනී ෆොන්සේකා රංගනය හදාරා රඟපෑමට එක්වූ කෙනෙක් නොවෙයි. අප දන්නා ආකාරයට ඈ ඇකඩමිකලිව එය පසුව හදාරන්න උත්සාහ කළ රංගන ශිල්පිනියක්ද නොවෙයි. ඈ මූලික වශයෙන් ඇගේ රංගනය උපතින් ලද හැකියාව (Inborn Talent) තම රංගන අත්දැකීම් හා එහි දී තමන්ට මුණ ගැසුණු සිනමාකරුවන් හා තමන් හා රංගනයේ යෙදුණු රංගන ශිල්පීන් ආශ්‍රයේ තමන් විසින්ම ගොඩ නගාගත් දෙයක්. මේ නිසාම දෝ ඇගේ අනන්‍ය බව ඇගේ රංගන ඉතිහාසය පුරාම ඇය අන් අය අතරින් ඉස්මතු කර පෙන්වනවා.

ප්‍රතිභාන්විත නිළියක් කියන්නේ කවුරුන්ද? රූ ප්‍රතිභාන්විත නිළියක් යනු යම් චරිතයක් ඒත්තු ගැන්වෙන ලෙස නිරූපණය කිරීමට, හැඟීම් අව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීමට හා ඒ තුළින් ආකර්ෂණීය රංගනයක් මතුකිරීමට සමත් නිළියක්. මාලිනී ගේ රංග ඉතිහාසය පුරාම ඈ මෙම ආකර්ෂණය පවත්වා ගැනීමට සමත්ව සිටිනවා. ප්‍රතිභාන්විත නිළියක් හැඳින්වීමට ශ්‍රී ලාංකික සිනමාව තුළෙ එතෙක් මෙතෙක් භාවිත කළ හැකි සුදුසුම නිර්ණායකය ඇයයි. මාලිනී තම රංග දායකත්වය තුළින් අපට මතක් කර දෙන සිනමාව එක් අතකට බොළඳයි. තවත් අතකට රොමෑන්ටික්, තවත් අතකට යථාර්ථවාදියි. තවත් අතකට පොලිටිකල්. සිනමාව ඔය කුමන වර්ගයේ වුවත් අවසාන නිර්වචනයේදී එය සමාජ ප්‍රතිනිර්මාණයක්. සමාජ භාවිතයක්. මාලිනී ෆොන්සේකා ඒ සමාජ භාවිතයේ හා ප්‍රතිනිර්මාණයේ ප්‍රබල අක්ෂරයක්.

තුෂාරා, හතර දෙනාම සූරයෝ සහ ආවා සොයා ආදරේ

තුෂාරා, හතර දෙනාම සූරයෝ සහ ආවා සොයා ආදරේ

 

චතුර ජයතිලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division