“මාස්ටර්” කියූ පමණින් ඔබේත්, මගේත් මතකයට නැඟෙන්නේ අන් කවරෙකුත් නොව සංගීත ක්ෂේත්‍රය දිග්විජය කළ ප්‍රේමසිරි කේමදාසයන්ය. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේෂණය කිරීම තුළින් තමාට අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන්ගේ වෑයම විය. සිංහල ජන සංගීතයද, හින්දුස්ථානී සංගීතයද, බටහිර සංගීතය මෙන්ම වෙනත් අනේකවිධ සංගීත දහරාවන්ද, අද්‍යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් හෙතෙම තම තනු රචනාවන් නිර්මාණය කළේය.
සංගීතය යනු ගීතය ලෙස පමණක් තේරුම් ගත් යුගයක සිරිසේන විමලවීරයන්ගේ “රොඩී කෙල්ල” චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් කේමදාසයන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේය. සංගීතය යනුවෙන් සුවිශේෂ රචනා තිබෙන බව පෙන්වාදෙමින් ගීතයෙන් ඔබ්බෙහි වූ සංගීතය සොයා දුෂ්කර ක්‍රියා කිරීමට එකල සිය ගමන ආරම්භ කළේය. ලෝකයේ බිහි වූ හොඳම සංගීත ක්‍රම නිදහස්ව ඇසුරු කරමින් ඔහු සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා ආදියද ඔහු නිර්මාණය කළේය. අදහස් ප්‍රකාශනය සඳහා තිබෙන ප්‍රකට මාර්ගය සාහිත්‍ය නැත්නම් භාෂාව වුවත් සංගීතයෙන්ද මානව හැඟීම් සියුම්ව ප්‍රකාශ කළ හැකි බව කේමදාසයන් මොනවට පසක් කළේය.
සංගීතය යනු විශ්ව ප්‍රජාවටම කෙරෙන බුද්ධිමය ආමන්ත්‍රණයක් ලෙස භාවිත කළ හැකි මාධ්‍යයක් වූ බැවින් එය හුදු විනාඩි දෙක තුනක ගීතයකට සීමා කිරීමට කේමදාසයන්ගේ මනාපයක් නොවීය. සංගීත සම්ප්‍රදායන්වලට වඩා සිනමා ප්‍රකාශනයත් එහි චරිත හා තේමාව පිළිබඳත් අවධානය යොමු කිරීමට හේ කටයුතු කළේය.
ලෝ පතළ කීර්තිමත් සංගීතඥයන් වන මෝසාර්ට්, බීතෝවන්, චයිකොව්ස්කි වැන්නවුන්ගේ චින්තනයන් අනුගමනය කරමින් සරල සංගීතයේ සිට සම්භාව්‍ය සංගීත ආත්මය ගවේෂණය සඳහා වූ අපූර්ව මෙහෙයුමක් කේමදාසයන් විසින් සිදු කළ බව විද්වත්හු පවසති. ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත, පද රචනය හා සංගීතය අතර වූ සම්බන්ධය වඩා වෙනස් සංගීතමය ආකෘතියක හැඩතල ගත් ආකාරයද පෙනී යන්නේය. එමෙන්ම ඔහුගේ ප්‍රස්තාර ව්‍යුහයේ බටහිර ශිල්ප ක්‍රමද භාවිත වී තිබුණු බවද කියැවේ. එමෙන්ම ඔහු සංගීතයේ විවිධ අංශ පර්යේෂණයට භාජනය කළ අයෙකි. “දෑස නිසා” චිත්‍රපටයේ සංගීතය එවැනිය. එහි ප්‍රථමවරට චරිත හා සිදුවීම් නිරූපණයට මිනිස් කටහඬ, සංගීත මෙවලම්ද යොදා ගත්තේ ය. “තුන්වැනි යාමය” මිනිස් හඬ ප්‍රබලව මුසු කරගත් චිත්‍රපටයකි. “හිමින් සැරේ පියාවිදා” තේමා ගීතය “හංස විලක්” චිත්‍රපටයට යොදා ගත් ආකාරයද උදාහරණ වෙයි. චිත්‍රපටයේ ප්‍රබල අවස්ථා සඳහා විටින් විට මෙම ගීතය ඇසෙන්නට සැලැස්වීම, මෙරට ප්‍රේක්ෂකයා ලද වෙනස්ම අත්දැකීමක් විය. මාස්ටර්ගේ සංගීතයෙන් “හංස විලක්” සඳහාද ලැබුණු ආලෝකය සුළුපටු නොවීය.
ටෙලි වෘතාන්ත සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතයද, ප්‍රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. ඔහු සංගීතයෙන් දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර ජයන්ත චන්ද්‍රසිරි ගේ දඬුබස්නාමානය, වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ මෙන්ම ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවනු ඇත. ඔහු අවසාන වශයෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ටෙලිනාට්‍යය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ “සදිසි තරණය” දැක්විය හැක. වේදිකා නාට්‍යය අතර ජයන්ත චන්ද්‍රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්‍යවලටද දායක විය.
ගුරුකුලයකට හෝ සම්ප්‍රදායක සිර නොවී ලෝක සංගීත කලා ප්‍රවණතාවන් ස්පර්ශ කරමින්, ජනශ්‍රැති ඇසුරෙන් උද්දීපනය වූ ඔහුගේ සංගීත රචනාවලින් තහවුරු වන්නේ කේමදාසයන් දේශීය සංස්කෘතිය මත දෙපා රඳවා ගත් සංගීතඥයකු බවය. ඔහුගේ සිනමාරූපී සංගීතයේ මහිම කෙබඳුදැයි තහවුරු කෙරෙන සිනමා නිර්මාණ අතර සැනසුම කොතැනද?, ගොළු හදවත, බයිසිකල් හොරා (1968), නිධානය (1972), අහස් ගව්ව (1975), ජනක සහ මංජු (1976), බඹරු ඇවිත් (1978), හංස විලක් (1980), කලියුගය, සොල්දාදු උන්නැහේ (1982), රිදී නිම්නය (1983), තුන්වෙනි යාමය (1984), හිමකතර (1985), යුගාන්තය (1986), සිරි මැදුර (1990), මධුසමය (1992), සුරබිදෙන, ලොකු දුව (1994), මී හරකා (1995), මාරුතය (1996), ජුලියට්ගේ භූමිකාව (1999), අග්නිදාහය, මතු යම් දවස (2002), ගරිල්ලා මාකටින් (2005) සහ අම්මාවරුණේ (2006) දැක්විය හැක. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටතදී නිෂ්පාදනය වූ ‘දහසක් මල්’ චිත්‍රපටයටද හේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේය. ඔහු අවසාන වශයෙන් සංගීතයෙන් දායක වූ චිත්‍රපට ලෙස සනත් ගුණතිලක ගේ එකමත් එක රටක සහ සිරිතුංග පෙරේරා ගේ කන්‍යාවී (2009) චිත්‍රපට දැක්විය හැක.
ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය බිඳ දමමින් විප්ලවීය නිර්මාණ බිහිකිරීමෙහි ලා කේමදාසයන් දැක් වූ සමත්කම අතිමහත්ය. ධර්මසේන පතිරාජගේ “බඹරු ඇවිත්” චිත්‍රපටයේ එන “උදුම්බරා හිනැහෙනවා”, පරාක්‍රම නිරිඇල්ලගේ “සිරිමැදුර” චිත්‍රපටයේ එන “කන්‍යාවී” වැනි ගීත විප්ලවීය සලකුණු සඳහා නිදර්ශන ලෙස පෙන්වා දිය හැකි වෙයි.
චිත්‍රපටවලට අමතරව මානසවිල, දොරමඩලාව සහ සොඳුරු වර්ණදාසි කේමදාසයන්ගේ ඔපෙරාවන් අතර ප්‍රධාන වෙයි. අවසාන වශයෙන් ඔහු නිර්මාණය කළ ‘අග්නි’ ඔපෙරාව පුරාණ ශිෂ්ටාචාරය පිළිබඳව නිර්මාණය වූවකි. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියැවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීමද වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස්හි පවා ඔපෙරා රඟ දැක්වීමට කේමදාසයන් ඇතුළු කණ්ඩායමට අවස්ථාව උදාවී තිබේ. එමෙන්ම ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාස සලකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්‍රියා කරති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැනි පිරිස කේමදාසයන්ගේ ගුරුහරුකම් තුළින් සහ ආභාසයෙන් සංගීත ක්ෂේත්‍රයට පැමිණි අය වෙති.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල ජීවත් වන සංගීත හැකියාවන් සහිත අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ගේ කුසලතා ඔප් නැංවීම සඳහාද ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1992 වර්ෂයේදී “කේමදාස පදනම” ආරම්භ කරන ලදී. මෙම පදනම මඟින් පවත්වන පාඨමාලා සහ පුහුණු සියල්ල නොමිලේ පැවැත්වීමද විශේෂත්වයකි. ආරම්භක දිනයේදීම රුපියල් මිලියන 3.7 ක ආදායමක් ඉපයූ “දොරමඬලාව” ඔපෙරාව ලොව ප්‍රථම බෞද්ධ කැන්ටාටාව වූ “පිරිනිවන් මංගල්‍යය” මෙන්ම “සොඳුරු වර්ණදාසි” සහ “අග්නි” ඔපෙරාද කේමදාසයන්ගේ අනභීභවනීය නිෂ්පාදන වේ.
ජාතීන් අතර එදිරිවාදිකම් දුරුකරලීම තුළීන් සාමාජයීය සහ සංස්කෘතික පෙරළියක් ඇති කිරීමට හැකි දර්ශනයක් ජාතියට දායාද කිරීම ආරම්භයේ සිටම කේමදාසයන්ගේ මුඛ්‍ය අරමුණක් විය. සංගීතයට මෙන්ම අනෙකුත් කලාවන්ටද අත්‍යාවශ්‍ය වන සාමූහිකත්වය සහ ගරුත්වය සහිත වූ, මනුෂ්‍යත්වයට ගරු කරන න්‍යායපත්‍රයක් මත පිහිටා කටයුතු කිරීම කේමදාස දර්ශනයේ අනන්‍යතාව වේ.
විශාරද නෙත්මි පූජනී රත්නායක