Home » ගැට කපන පන්නයේ පින්තූර කලාව

ගැට කපන පන්නයේ පින්තූර කලාව

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment
මංජුලා විජයරත්න
ඉරුණු කමිසය (Torn Shirt)
කහ ටී ෂර්ට් එක ඇඳි සිගරට් උරණ පිරිමි ළමයා (Boy in Yellow Shirt Smoking)

කහ ටී ෂර්ට් එක ඇඳි සිගරට් උරණ පිරිමි ළමයා (Boy in Yellow Shirt Smoking)

ඡායාරූප කලාව, මිනිස් සිත් සතන් සනහාලන තවත් කලාවකි. කැමරාකරුවන් තමන්ගේ තෙවැනි ඇසට හසු කරගන්නට කැමැත්තක් දක්වන්නේ එකිනෙකට වෙනස් තේමාවන් ය. සමහරුන් වැඩි ඇල්මක් දක්වන්නේ උත්සව අවස්ථාවන් ඡායාරූපයට නැගීමටයි. වනය සහ වන ජීවීන් වෙත තෙවැනි ඇස හරවන පිරිසක් ද සිටිති. ඇමෙරිකා ජාතික ඡායාරූප ශිල්පියකු වන මාකර් කොහේන් තමන්ගේ කැමරාවට හසු කරගන්නට උත්සුක වී තිබෙන්නේ ඒ කාටත් වඩා වෙනස් ම තේමාවක් සහිත අවස්ථාවන් ය. බොහෝ විචාරකයන් ඔහුව හඳුන්වන්නේ “වීදි ඡායාරූප ශිල්පියකු” (street photographer) වශයෙනි. එහි අරුත, පොදු ස්ථානවල සිදුවන නොයෙක් ආකාරයේ සිද්ධි, අවස්ථාවන්, චරිත, පරිසරය සහ අජීවී වස්තූන් ආදිය කැමරාවට හසු කරගන්නා ශිල්පියකු යන්නයි.

පොදු ස්ථාන කෙතරම් කර්කෂ දැයි ඔබට මොහොතකට සිතෙන්නට පුළුවන. එවැනි ස්ථානයක් ඡායාරූපයකට හසු කරගන්නට යෑමේදී ශිල්පියාට හිත හිතා ඉන්නට කාලයක් ලැබෙන්නේ නැත. කැමරාව එහාට මෙහාට කරමින් ද, අත පතගාමින් ද කල්පනා කරන්නට ඉඩක් ලැබෙන්නේ නැත. සිද්ධියට හෝ වස්තුවට අදාළ ලෙස කැමරාවේ සීරුමාරු කරගැනීම් (framing)ඉතා ඉක්මනින් කර ගන්නට සිදු වේ. ඒ මදිවාට කාලය (timing)ගැන ද හොඳ ඉවක් තිබිය යුතුම ය. මාකර් කොහේන් ම කියන අන්දමට ඉතා හදිස්සියේ ම වූවත් ඔහුට ඡායාරූප ගන්නට පුළුවන. ඊටත් වඩා පුදුමයට කාරණය නම් මාර්ක් කොහේන් පොදු ස්ථානවල කර්කෂ දේවල් කලාත්මකව ඡායාරූපයට නගන්නට තමන්ගේ ජීවිතයෙන් වසර හැත්තෑවකට ආසන්න කාලයක් මේ වනවිට ගත කර තිබීම ය. ඇමෙරිකාවේ පෙන්නිසිල්වේනියාවේ විල්කෙස් බාර්හි දී 1943 වසරේදී උපත ලද ඔහු 2013 වසර තෙක් ජීවත් වන්නේ එහි ය. ඉතා තරුණ අවදියේදී ම මාර්ක් කොහේන් ඡායාරූප කලාවට පිවිසියේ ය. හෙතෙම ඡායාරූප කලාවේ නව ඉසව්වක් වෙත යොමු වන්නේ වීදි ඡායාරූප කලාවේ රීතීන් මුළුමනින් ම පිළිපදිමින් ම නොවේ. එසේ වූවත් වීදි ඡායාරූප කලාවේ ගුණ සුවඳ සහ ඉසව් ඔහුගේ ඡායාරූපවලට හරි අපූරුවට, රහසිගතව මුසු වී තිබේ. වෙනත් විදියකට කිවහොත් එය මාර්ක් කොහේන්ට ම ආවේණික ඡායාරූප කලාවක්ය යන්නයි.

මාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කොහේන් වරක් සඳහන් කළේ තමන් සාම්ප්‍රදායික අර්ථයෙන් කිසිවිටෙක වීදි ඡායාරූප ශිල්පියකු නොවන බවයි. එනිසා තමන් ගැරී විනොග්‍රෑන්ඩ් හෝ ලී ෆ්‍රීඩ්ලැන්ඩර් වැනි වීදි ඡායාරූප ශිල්පීන් සමඟ සැසඳිය නොහැකි බව ද හෙතෙම එහිදී පෙන්වා දී තිබිණ. තමන්ගේ ප්‍රවේශය ඉතා සියුම් බවත්, කිසියම් ස්ථානයක වයනය ගවේෂණය කිරීමට තමන් නිරන්තරයෙන් උනන්දු වන බවත් මාර්ක් කොහේන් පවසයි.

කොහේන්ගේ ඡායාරූප, සෙසු වීදි ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූපවලට වඩා බොහෝ වෙනස් ය. ඔහුගේ ඡායාරූපවල වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ පසුබිම සහ පසුබිම් විස්තර බව පැහැදිලිව ම පෙනේ. එහි අරුත, ඔහුගේ ඡායාරූපවල මිනිසුන් නැත්තට ම නැති බව නොවේ.

ඔහු අපට පෙන්වන ඡායාරූප බොහෝවිට ඉණ උසෙන් (waist-height) ගෙන තිබීම ද විශේෂත්වයකි. ලෝක ප්‍රකට “ද ගාර්ඩියන්” පුවත්පත කොහේන් ගැන ලිපියක් පළ කරමින් විටෙක කියා තිබුණේ කොහේන් සම කළ හැකි වන්නේ ස්නයිපර් වෙඩික්කරුවකුට කියා ය. ළං වී, පහත් වී කොහේන් අදාළ දර්ශනය තම කැමරාවට හසු කරගනියි. කැමරාවට ග්‍රහණය වූයේ මිනිසකු නම් අඩු තරමින් ඒ මිනිසාටවත් තමන්ව ඡායාරූපයකට හසු වූ බව නොදැනෙයි. මිනිසුන් යම් යම් දේ කෙරෙහි දක්වන ප්‍රතික්‍රියාවන් කැමරාවට හසුකර ගැනීමේදී මේ සියුම් උපායන් බෙහෙවින් අවශ්‍යය වේ. ඒ අන්දමට ඡායාරූපයක් ගත් සැණෙකින් මාකර් කොහේන් කිසිවකුටත් නොපෙනෙන ලෙස ඉවතට යෑමට ද ශූර ය. ඔහු ඇවිදින්නේ ද කොයි මොහොතක හෝ ඡායාරූපයක් ගැනීමට සූදානමෙනි. කොහේන් තම කැමරාව අත දරන්නේ ද ඊට සරිලන අන්දමට ය. පැය දෙකකට ආසන්න කාලයක් ඇවිද ගියහොත් ඡායාරූප විශාල සංඛ්‍යාවක් ගැනීම ඔහුගේ එකම අභිප්‍රාය වේ. කැමරාකරුවකු වශයෙන් පසු කළ දශක හතකට ආසන්න කාලයේදී මේ කියන උපාය උපක්‍රම භාවිතයට ගනිමින් ඡායාරූප 600,000ත් 800,000ත් අතර සංඛ්‍යාවක් තමන් කැමරාවට හසුකර ගන්නට ඇතැයි ඔහු අනුමාන කරයි. ඉන් ඡායාරූප විශාල සංඛ්‍යාවක් දෙස ඔහු ඇහැක් ඇර බලාවත් නැති බව කිවහොත් ඔබ සමහර විට මවිත වනු ඇත.

වසර හැත්තෑව සපුරන තුරු මාකර් කොහේන් ජීවත් වූ විල්කෙස් බාර් නගරයේ ඔහුගේ අසල්වැසියන් ඔහුගේ ඡායාරූපවලින් බහුලව දැක ගන්නට පුළුවන. එළිමහනේ සෙල්ලම් කරන ළමයි, පාරේ කල් ගෙවන මිනිසුන් ඒ ඡායාරූපවල සුලභ ය. ඒවායෙහි සිටින සමහර මිනිසුන්ගේ මුහුණුවල ඇත්තේ නිතර දකින්නට තරම් ප්‍රසන්න හිනා ද නොවේ. එවැනි ඇතැම් කෙනෙකුගේ දත් දෙපෙළ දුටු පමණින් සිතේ ඇති වන්නේ බියකි. එනිසා මාර්ක් කොහේන්ගේ ඡායාරූප නිවෙසක සාලයේ, විසිත්ත කාමරයේ හෝ නිදන කාමරයේ එල්ලා තබා රස විඳින්නට හැකි ඒවා නොවේ. එසේ වූවත් ඔහුගේ ඡායාරූප විඳින පිරිසෙහි අඩුවක් ද දැකිය නොහැකි ය.

අනෙක් අතට, ඔහු තම ඡායාරූප නම් කර තිබෙන්නේ ද අරුම පුදුම නම්වලිනි. “දුරකතනය ආසන්නයේ සිටින කළු ගැහැනුන් දෙදෙනා” (Two Black Women at Phone Photograph),කහ ටී ෂර්ට් එක ඇඳි සිගරට් උරන පිරිමි ළමයා (Boy in Yellow Shirt Smoking), වැට උඩ හිස නැති කොලුවා (Headless boy on the fence), බැලුනය සහ හෙවණැල්ල (Balloon and Shadow), කමිසයේ සිදුර (Hole in Shirt),ලේ උරන කෝච්චිය (Blood sucker train), මිනිසා සමග ඉණිමග (Man with ladder),සීනි බෝල මැෂිම තුළ අත (Arm in the candy machine), උස මේස් (Tall socks),අඳුරු දණහිස් (Dark Knees) වැනි නාමකරණයන් ඒ සඳහා නිදසුන් ය. තම ඡායාරූප ඇතුළත් කර ඔහු පොත් කිහිපයක් ද නිකුත් කර තිබේ. “ඩාර්ක් නීස්” (Dark Knees),”කොට්න්” (Cotton),”බ්‍රෙඩ් ඉන් ස්නෝ” (Bread in Snow),”ග්‍රවුන්ඩ් වර්ක්ස්” (Groundworks)යනු ඉන් කෘති කිහිපයකි.

බොත්තම, අත (Button, Hand) , අඳුරු දණහිස් (Dark Knees), කමිසයේ සිදුර (Hole in Shirt)

බොත්තම, අත (Button, Hand) , අඳුරු දණහිස් (Dark Knees), කමිසයේ සිදුර (Hole in Shirt)

සුදු පටිය (White Strap), උඩු යටිකුරු දැරිය (upside down girl), එඩ්වර්ඩ්ස්විල් (Edwardsville), බබල්ගම් (Bubblegum)

සුදු පටිය (White Strap), උඩු යටිකුරු දැරිය (upside down girl), එඩ්වර්ඩ්ස්විල් (Edwardsville), බබල්ගම් (Bubblegum)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division