– නියමු ව්‍යාපෘතිය ළඟදීම ක්‍රියාවට
– හේවාහැට වගා වනසන රිළවු 2,000ක් රන්දෙණිගල ජලාශයේ දූපතකට
වන සතුන්ගේ ග්‍රහණයට ලක්ව වාර්ෂිකව රුපියල් බිලියන ගණනක එළවළු, පලතුරු, පොල් හා අපනයන භෝග විනාශ වෙද්දී ගොවි ජනතාව බලධාරීන්ට දෙස් තියන්නට වූයේ වන සතුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දීමට ඔවුන් උනන්දු නොවීම හේතුවෙනි. පසුගිය ජනපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීද ජාතික ජනබලවේගය ගෙන් ගෙට ගොස් ඡන්ද ව්‍යාපාරය දියත් කරද්දී ජනතාව ප්‍රමුඛවම විසඳුම් ඉල්ලා සිටි ප්‍රශ්නයක් වූයේද මේ වන සතුන් වගාවලට සිදු වන හානි පිළිබඳ අර්බුදයයි.
මේ නිසාම වත්මන් රජය බලයට පැමිණි මුල් අවස්ථාවේ සිටම මේ සඳහා විසඳුමක් දීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය. දේශපාලනඥයන් හා නිලධාරීන් එක්ව මෙතෙක් සිදු කළ සියලු සාකච්ඡා අසාර්ථක වීම තුළ ප්‍රශ්නයෙන් බැටකන ගොවි ජනතාව පමණක් නොව, විශේෂඥයන්ද සම්බන්ධ කරගනිමින් නව වැඩපිළිවෙළක් දියත් කිරීමට ආණ්ඩුව උත්සාහ කළේ ප්‍රශ්නයේ ගැඹුර හොඳහැටි තේරුම් ගනිමිනි. මෙහිදී විශේෂ අවධානය යොමු වූයේ රිළා ගහනය පාලනය කිරීම කෙරෙහිය. එහිදී ගොවි සංවිධාන මට්ටමින් ඉදිරිපත් වූ අදහස් ලැයිස්තුගත කිරීමේදී සතුන් මරාදැමීමේ සිට රටින් පිටුවහල් කිරීම දක්වා වූ විශාල පරාසයක පැතිරුණු යෝජනා ඉදිරිපත්ව තිබිණි. ගහනය පාලනය කිරීමට නම් රිළවුන් මරාදැමිය යුතු බවට වූ යෝජනාව සාකච්ඡාවට බදුන් කිරීමටද පෙර යටපත් වූයේ පරිසරවේදීන් ඒ සම්බන්ධයෙන් මතු කළ විරෝධතා හේතුවෙනි. අවසානයේ එය දේශපාලන වේදිකාව දක්වාද ඇදී යන්නට තරම් ප්‍රබල ප්‍රශ්නයක් විය.
රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමෙන් ප්‍රශ්නයට විසඳුම් සොයන්නට උත්සාහ කළද, මාතලේ කේන්ද්‍ර කරගනිමින් ඒ සඳහා කළ නියමු ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් වෙනත් ක්‍රම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට බලධාරීන්ට සිදු විය. රිළවුන් දූපතකට ගෙන ගොස් දැමීමට ඇති හැකියාව සම්බන්ධව මහනුවර සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට බඳුන් වූයේ මෙවන් පසුබිමකය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරනු ලැබූ අතර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහත්වරුද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නාවික හමුදාව හා වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහුද ඊට ඇතුළත් වූහ. මේ කමිටුව විසින් සකස් කළ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් වගා හානි සිදු කරන වන සතුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට පත් කර තිබෙන විශේෂ කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඉදිරියේදී හේවාහැට ආසනයේ වගා හානි සිදු කරන රිළවුන් 2,000ක් පමණ අල්ලා, අක්කර 200ක වපසරියකින් යුත් රන්දෙණිගල ජලාශය ආශ්‍රිත දූපතකට මුදාහැරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා මෙසේ පැවසුවේය:
“හේවාහැට ගම්මාන 15ක් තෝරාගෙන අපි නියමු ව්‍යාපෘතියක් ලෙස මේක ක්‍රියාත්මක කරන්න සැලසුම් කර තිබෙනවා. සතුන් සම්බන්ධයෙන් වගකීම තිබෙන ආයතනවල අධීක්ෂණය යටතේ තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. අල්ලාගන්නා රිළවුන් දූපතකට රැගෙන ගොස් දැමීම තමයි අපේ අරමුණ. මේ සතුන් නැවත ගොඩබිමට පීනා ඇවිත් ඒ අවට ගම්මානවල ජනතාවට හිරිහැරයක් වන අන්දමට හැසිරීමට ඉඩ තිබෙන බව කියමින් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යම් යම් අය ඍණාත්මක අදහස් මාධ්‍යවල පළ කරන තත්ත්වයක් තිබෙනවා. මීට කලින් එහෙම දේවල් වෙලා තිබෙන්න පුළුවන්. අපි මීට කලින් වූ සියලු දේවල් සැලකිල්ලට අරන් මේ දූපත වටේට විදුලි වැටක් ඉදි කිරීමට සැලසුම් කළා. ඒක නාවික හමුදාව සහ ඊට අදාළ වෘත්තිකයන් යොදාගෙන නිරන්තර අධීක්ෂණයක් කරනවා. මේ ආකාර ව්‍යාපෘතියක් ලෝකයේ කොහේවත් කරලා නැහැ. ඒ නිසා නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අපට එහි ඇති අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කරගත හැකියි. සතුන් වෙනත් ස්ථානවලට ගෙනගොස් දැමීමට හෝ වනජීවීන් කළමනාකරණය කිරීමට කිසිදු අමාත්‍යාංශයකට වැය ශීර්ෂයක් වෙන් කෙරෙන්නේ නැහැ. මේ නිසා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මුදල් සොයාගැනීමේ ගැටලුවක් අපට මතු වුණා. නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූලික වියදම ලබා දීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා පොරොන්දු වී තිබෙනවා. රුපියල් මිලියන 10ක පමණ මුදලකින් නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ප්‍රමාණවත් නැහැ. අනාගතයේදී තවත් මුදල් සොයාගැනීමට අපට සිදු වේවි. මේක දිස්ත්‍රික්කය හා පළාත ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. වගා හානි සිදු කරන සියලු සතුන් සඳහා එකම විසඳුමක් නැහැ. සතුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කරමින් අවශ්‍ය සැලසුම් සකස් කරන්න ඕනෑ. සත්ත්ව ගහනය වැඩි වුණාම ලෝකයේ බොහෝ රටවල් කරන්නේ ඒ සතුන් මරා දැමීමයි. එහෙත් අප රටේ ඇති ආගමික හා සංස්කෘතික පසුබිම තුළ ඒක කරන්න බැහැ. ඒ නිසා තීරණ ගැනීමේදී මේ සියල්ල ගැන අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා.”
වන සතුන්ගෙන් ගොවි ජනතාවට සිදු වන හානි අවම කරගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ පර්යේෂණ කටයුතුවල නිරතව සිටින මහාචාර්ය දංගොල්ල මහතාගේ දායකත්වය මේ නියමු ව්‍යාපෘතියටද ලැබී තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි:
“අපේ රටේ ගොඩක් ඉන්නේ විවේචකයෝ. ප්‍රශ්නයකට විසඳුම් හා යෝජනා ඉදිරිපත් කරන පිරිස අඩුයි. විවේචන ඉදිරිපත් කිරීම හොඳයි. ඒත් ඒ සමඟ යෝජනාත් ඉදිරිපත් කරනවා නම් ඒක ගොඩක් හොඳයි. මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද විවේචන ඉදිරිපත් වනවා. වන සතුන්ගෙන් වගාවලට සිදු වන හානි වළක්වාගැනීමට කටයුතු සලසා දෙන ලෙස ගොවි ජනතාව ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ දශකයක පමණ සිටයි. මිනිස්සු වායු රයිෆල්වලින් වෙඩි තියලා තුවාල වුණු රිළවුන් පශු වෛද්‍ය පීඨයේ ප්‍රතිකාර ලබනවා. සතුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන කවුරුවත් ඒ සතුන්ට කන්න රුපියලක් වියදම් කරන්නේ නැහැ. වන සතුන් හා ගොවීන් අතර ගැටුමක් තිබෙන බව අපි තේරුම් ගන්න ඕනෑ. ඒක එන්න එන්නම උග්‍ර වෙනවා. ඒ නිසා ඒකට විසඳුමක් දිය යුතුයි. මිනිස්සු නිසා සතුන්වත් සතුන් නිසා මිනිසුන්වත් දුක් විඳින්න අවශ්‍ය නැහැ. දෙගොල්ලන්ටම එකට ජීවත් වෙන්න පසුබිමක් නිර්මාණය කරගැනීම තමයි වැදගත්. මේකට කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් අවශ්‍යයි. රිළවා කියන්නේ අපට ලේ නෑකමක් තිබෙන සත්ත්වයෙක්. ඒ නිසා අප මොන වැඩේ කළත් එයා කෙටි කාලයකදී ඒක ඉගෙන ගෙන ඒකට හුරු වෙනවා. ගමේ ඉන්න රිළව් අල්ලගෙන යන්නේ නැතුව මුලින් අපි මේ ගැටලුව සම්බන්ධව හේවාහැට ජනතාව දැනුවත් කරන්න සැලසුම් කරනවා. වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැදගත්කම පවා අපි ඒ අයට කියා දෙනවා. අපි නිශ්චිත ඉලක්කම දන්නේ නැති වුණත් රිළා ගහනය වැඩි වෙලා කියන එක අපි තේරුම් ගත යුතුයි. ලංකාවේ ඉන්න මිනිස්සු ප්‍රමාණය විතරයි අපි හරියට දන්නේ නැහැ. ගෙවල්වල ඉන්න බල්ලෝ ගණනවත් දන්නේ නැති අපි රටේ ඉන්න රිළව් ගණන දන්නේ නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. මේ පසුබිම තුළ පසුගියදා කළ සංගණනය ඉතා වැදගත්. ලෝකයේ වෙනත් රටවලත් මේ ආකාර සංගණන කරනවා. හරියටම නැති වුණත් යම් ඉලක්කමක් මේ ඔස්සේ අපිට හඳුනාගැනීමට පුළුවන්.”
සතුන් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් මෙරට තුළ කිසිදා ක්‍රියාත්මක වී නැති බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. මේ පසුබිමේ වන සතුන් කළමනාකරණය සඳහා පදනම සකස් කරගැනීමට සත්ත්ව සංගණනයක් මඟින් ලබා ගන්නා තොරතුරු ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා:
“මේ සංගණන වාර්තාව සම්පූර්ණයෙන්ම නිරවුල් එකක් විදිහට සලකන්න පුළුවන්කමක් නැහැ. සංගණන කටයුතු තවත් අවස්ථා කිහිපයකදී කළ යුතුයි. මේ ඔස්සේ වන සතුන් කළමනාකරණය කියන මාතෘකාව ඉදිරියට ගේන්න අප බලාපොරොත්තු වනවා. ඇත්තටම මේ වන විට අපේ රටේ වන සතුන් කළමනාකරණය කියලා මාතෘකාවක් නැහැ. වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ සතුන් රකින්නයි. වන සතුන් කළමනාකරණය කරන්න නම් ඒ සතුන් පිළිබඳ ගණනය කිරීමක් අවශ්‍යයි. ඔස්ට්‍රේලියාව වගේ රටවල කැන්ගරුවන් ගහනය කළමනාකරණය කරන්නේ ඒ සතුන් සම්බන්ධයෙන් ගණනය කිරීමක් කර තිබෙන නිසයි. අප රටේ මෙවැනි වැඩපිළිවෙළක් නෑ. රටේ ඉන්න රිළව් ගණන කවුරුවත් දන්නේ නැහැ. මේ අගය නොදැන කොහොමද කළමනාකරණය කිරීමක් කරන්නේ? සත්ත්ව සංගණනය හරහා රජය බලාපොරොත්තු වුණේ සාපේක්ෂ වශයෙන් යම් ඉලක්කමක් ලබාගැනීමටයි. එහෙම කළොත් තමයි අපට රිළව් පිටරට යවනවද? එහෙම නැත්නම් කළමනාකරණය සඳහා වෙනත් පියවර ගන්නවාද? කියන විසඳුම්වලට යොමු වීමට හැකියාව ලැබෙන්නේ. වන සත්ත්ව ගැටලුවට විද්‍යාත්මකව උත්තර සෙවීමට නම් මෙවැනි පියවරවලට අප යොමු විය යුතුයි. මෙතෙක් කල් ඒ විද්‍යාත්මක උත්තරය ගන්න අවශ්‍ය පසුබිම රටේ නිර්මාණය වී තිබුණේ නැහැ. දැන් අප ඒ වැඩපිළිවෙළ ආරම්භ කළා. ආරම්භක පියවරේදී සියල්ල සාර්ථක නොවේවි. වන සතුන් පිළිබඳ නිවැරදි ඉලක්කම් ලබාගැනීමට අසීරු වේවි. ඒත් අපට සාපේක්ෂ වශයෙන් උත්තරයක් ගන්න පුළුවන්. ඒ අනුව වන සතුන් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගත හැකියි.”
රිළවුන් මුදාහැරීමට නියමිත දූපත නිරීක්ෂණය කිරීමට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු පිරිසක් එහි සංචාරය කළහ. දූපතට අල්ලා දමන රිළවුන්ට අවශ්‍ය ආහාර සැපයීම සඳහා මේ වන විට යම් යම් ආයතන හා සමාජ සංවිධාන ඉදිරිපත්ව ඇත. ඊට අමතරව දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවලින් ඉවතලන සත්ත්ව ආහාර ලෙස භාවිත කළ හැකි එළවළු හා පලතුරු සැපයීමටද ව්‍යාපාරිකයන් කැමැත්ත පළ කර තිබේ. කලකට ඉහතදී සශ්‍රීක ජනාවාස ලෙස පැවති මේ දූපත්වල මේ වන විටද යම් යම් පලතුරු හා සතුන්ට ආහාර වශයෙන් ගත හැකි භෝග වර්ග රැසක් පවතින බව දූපත නිරීක්ෂණයට එක් වූවෝ පැවසූහ.
ඡායාරූප – රුවන් මීගම්මන