– සීදූව සහ පමුණුගමදී කතුන් 21ක් ඇතුළු 133ක් අත්අඩංගුවට
– සාද භූමියේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි අයත් කොටුවෙති
මුහුණුපොත දිනපතාම පාහේ පුවත් මවයි. යහපත් ක්‍රියා සඳහා යොදා ගැනීමට වඩා මුහුණු පොතේ ඇතැමුන් එය අයහපතටම යොදා ගැනීම වැඩියෙන් පෙනෙන්න ඇත්තේ පොලීසිය සිදු කරන සමහර විමර්ශන හේතුවෙනි.
සමහර කාන්තාවන්, සිසුවියන්, ළමයින්ගේ නිරුවත් ඡායාරූප මුහුණු පොතට අන්තර්ජාලයට එක් කර ඔවුන් අපහසුතාවට පත් කිරීම, කප්පම් ලබා ගැනීමට තැත් කිරීම පිළිබඳ ලැබුණු පැමිණිලි ගණනාවක් පොලීසිය, සීඅයිඩීය මෙන්ම පොලිස් ළමා කාන්තා කාර්යාංශය, ළමාරක්ෂක අධිකාරිය විමර්ශන ගණනාවක් සිදු කර ගෙන යන බව රහසක් නොවේ. ඒ සම්බන්ධ අධිකරණයේ විභාග වන නඩු සංඛ්‍යාව ද සැලකිය යුතු තරම්ය.
මීට අමතරව මුහුණුපොත ඔස්සේ පුද්ගලයන් මුළා කර මුදල් වංචා කිරීමේ සිදුවීම් ගණනාවක් පිළිබඳවද පොලිස් විමර්ශන මේ වන විට සිදු කර ගෙන යයි. මුහුණුපොත මෙන්ම අන්තර්ජාලය ඔස්සේද ක්‍රියාත්මක පිරමීඩ ජාවාරම්කාරයන් විසින් අහිංසක අසරණ මිනිසුන් රවටා වංචා කර ඇති මුදල රුපියල් කෝටි ගණනකි. මුහුණුපොත ඔස්සේ පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 450ක් වංචා කළ කාන්තාවක හැටන් මූලස්ථන පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදාය.
ගණිකා ජාවාරම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්ද මුහුණුපොත ඔස්සේ සිදු වන බව රහසක් නොවේ. මේ ජාවාරම් මුහුණුපොත ඔස්සේ සිදු කිරීම සඳහාම සැදීපැහැදී සිටින කල්ලි කණ්ඩායම්ද අඩු නැත. ඇතැම් අවස්ථාවල පාතාලයද මේ ජාවාරම් අතරේ සිටින බව විමර්ශන නිලධරයන්ගේ මතයයි.
මුහුණුපොත ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඉතා සූක්ෂ්මව සිදු කරන කල්ලි කණ්ඩායම් ඒ සඳහා උපයෝගි කරගන්නා ප්‍රධානතම තුරුම්පුව මුහුණුපොතේ සාද හෙවත් ‘ෆේස්බුක් පාටි’ යි. මුහුණු පොතෙන් දැන හඳුනා ගන්නා තරුණ තරුණියන් එක්ව සංවරව කරන දැන හඳුනා ගැනීමකට එහා ගොස් මේ ‘ෆේස්බුක්’ සාද මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහාම යොදා ගන්නා අයගේ අඩුවක් නම් පෙනෙන්න නැත.
මීට අවුරුදු තුන හතරකට කලින් මුහුණු පොතේ සාද රට පුරා බහුලව පැවැත්වුණු අතර, හතු පිපෙන්නාක් මෙන් තැන තැන පැවති එම සාද ගැන සොයා බැලූ පොලිස් නිලධරයන් අනාවරණය කර ගත් ප්‍රධානම කරුණ වූයේ මුහුණුපොතේ මිතුරු මිතුරියන් කණ්ඩායම් වශයෙන් එකතැනකදි හමු වී ඔවුනොවුන්ගේ තොරතුරු බෙදා හදා ගෙන දැනුවත් වීමේ කටයුත්තට වඩා ‘එහා ගිය කතාවක්’ මේ මුහුණුපොතේ ඇතැම් ප්‍රියසාදවල ඇති බවකි. පොලීසිය බුද්ධි අංශ නිලධරයන් මාර්ගයෙන් සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වන්නේ මුහුණුපොත පෙන්නාගෙන පැවැත්වෙන මේ ඇතැම් සාද පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය, ගැහැනු සහ පිරිමි ගණිකා ජාවාරම් සූදුව සහ තවත් නොයෙක් අකටයුතුකම් පිළිබඳවය.
පොලීසිය ඉන් අනතුරුව සිදු කරන්නේ මුහුණුපොත මුලට දමාගෙන පවත්වන එවන් ඇතැම් නීති විරෝධි ප්‍රිය සාද වැටලීමයි. පසුගිය අවුරුදු තුන හතරේදී මුහුණුපොතේ එවැනි මත්සාද ගණනාවක් වැටලීමට පොලීසියට හැකි වූ අතර, මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පිරිමි සහ කාන්තාවන් සැලකිය යුතු සංඛ්‍යාවක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය. ඒ සමඟම මේ ‘එෆ්බී මත් සාද’ සංවිධායකයන්ට යන එන මං නැති වූ අතර, එවැනි මත් සාද පැවැත්වීමද බොහෝදුරට අඩු විය.
පොලීසිය මෙලෙස මුහුණුපොතේ මත් සාද වැටලීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතරේ සුරාබදු නිලධරයන්ද එවැනි සාර්ථක වැටලීම් කීපයක් සිදු කර තිබිණි. ඉන් සුවිශේෂ වන්නේ ගම්පහ සුරාබදු නිලධරයන් පසුගිය කාලයේ සිදු කළ එෆ්බී මත් සාද වැටලීමය. විශේෂයෙන් දකුණ පළාත සහ බස්නාහිර පළාත මූලික කර ගෙන මෙලෙස මුහුණුපොතේ මත් සාද පවත්වන බව විමර්ශන නිලධරයන් මූලිකව හෙළි කර ගෙන තිබුණු අතර මුහුදුබඩ ප්‍රදේශවලද ඇතැම් සංචාරක නිවාඩු නිකේතන කේන්ද්‍ර කරගෙන මෙලෙස මුහුණුපොතේ මත් සාද පැවැත්වෙන බවද විමර්ශන නිලධරයන් සිදු කළ මූලික පරීක්ෂණවලදි හෙළි විය. මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් දුන්ගාල්පිටිය පොලිසියේ නිලධරයන්ද මීට ටික කාලයකට පෙර එවැනි වැටලීමක් සිදු කර තිබුණේ එම පොලිස් බලප්‍රදේශයේ සංචාරක හෝටලයකදීය.
මේ අතර මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බලප්‍රදේශ දෙකක් වන සීදූව සහ පමුණුගම පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් පසුගියදා සාර්ථක වැටලීම් දෙකක් සිදු කරන ලදි. ඒ මුහුණුපොත, අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ගිය මත් සාද දෙකක් වැටලීමය. මේ වැටලීම් දෙකේදී පොලීසිය භාරයට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 133කි. ඉන් 21ක් තරුණ කාන්තාවෝය. විශේෂත්වය වන්නේ මේ තරුණ කතුන්ගෙන් පිරිසක්ද පොලිස් වැටලීම් සිදු වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටීමයි. මෙහි මුල් වැටලීම සිදු කරන්නේ සීදූව පොලිසියේ නිලධරයන් විසිනි.
සීදූව පොලිස් වසමේ කිඳගොඩ, බෙල්ලාන වත්ත ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයකදී මුහුණුපොතේ සාදයක් මුවාවෙන් තරුණ තරුණියන් කණ්ඩායමක් සංවිධාන වී මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට සීදූව පොලීසියට රහසිගත තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය. මේ ගැන තොරතුරු සොයා බලන පොලිස් නිලධාරින් සොයා ගන්නේ එසේ ලැබුණු තොරතුරු සත්‍ය බවයි. මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේනගේ උපදෙස් මත සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් අදාළ හෝටලය පිහිටි බෙල්ලානවත්ත ප්‍රදේශයට යන්නේ ඉන් අනතුරුවය. පොලීසිය එහි ගොස් වැටලීම සිදු කර එහි සිටි තරුණ තරුණියන් 76ක් පොලිස් භාරයට ගන්නේ සිදු කරන ලද විමර්ශනවලින් පසුවය. මේ නිවාඩු නිකේතනයේදී පැවැත්වුණු මුහුණුපොතේ සාදයට සහභාගි වූ තරුණ කාන්තාවෝ 16ක් සහ පිරිමි 61ක් එලෙස ප්‍රශ්න කිරීම සඳහා පොලිස් නිලධාරින් භාරයට ගනු ලැබූහ. පොලීසිය අදාළ ස්ථානය වටලන අවස්ථාවේ ‘මුහුණුපොතේ’ සාදයට සහභාගි වී සිටි තරුණියන් 4ක් සහ තරුණයන් 14ක් අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි අතර ඔවුහුද එම මත්ද්‍රව්‍ය සමඟ පොලිස් භාරයට ගනු ලැබූහ.
‘ෆේස් බුක් මත් සාදයට’ එලෙස සහභාගිව සිටියදි පොලිස් භාරයට ගන්නා ලද තරුණ කතුන් 16ක් ඇතුළු පුද්ගලයන් 76 දෙනා වයස අවුරුදු 18 – 25 අතර පසුවන අය බව හෙළි විය. ඔවුන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙන්ම ගාල්ල, මාතර, අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අනාවරණය විය.
එම මුහුණුපොතේ මත් සාදය සංවිධානය කළ පුද්ගලයා ද පොලිසිය විසින් ඒ මොහොතේම අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුගෙන් ප්‍රශ්න කරද්දි හෙළිවී ඇත්තේ රුපියල් පහළොස් දහසක් මේ මත්සාදය වෙනුවෙන් එක් අයකුගෙන් අයකර ඇති බවකි. සැකකරු මේ සාදය මුහුණුපොත ඔස්සේ සති කිහිපයක් තිස්සේ සංවිධාන කර ඇති බවද හෙළිවිය.
විදේශයක සිට ගෙන්වූ සිගරැට් ද මේ මත් සාදයේ තිබී පොලීසිය විසින් සොයා ගැනිණි. සාදයට පැමිණි තරුණියන් කිහිපදෙනකු විසින් ඒවා අලෙවි කරමින් සිට ඇත. සාදයට සහභාගි වූ මත්ලෝලීන් සන්තකයේ තිබුණ ගංජා අයිස් මත්ද්‍රව්‍යයද පොලීසිය විසින් සොයා ගෙන තිබිණි.
ඒ සමඟම මීගමුව පොලිස් කොට්ඨාසය ඇතුළතදී පැවැත්වුණු දෙවැනි මත්සාදයත් වැටලීමට පමුණුගම පොලිසියේ නිලධරයන් කණ්ඩායමකට හැකි විය. ඒ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයකදීය.
අන්තර්ජාලයේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මේ සාදය සංවිධාන කර තිබිණි.
මේ අතර පමුණුගම පොලිස් වසමට අයත් උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයක ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මත් සාදයක් පවත්වන බවට තොරතුරු ලැබෙන්නේ මුලින්ම පමුණුගම පොලීසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශ උප ඒකකයේ නිලධරයන්ටය.
ඒ අනුව ක්‍රියාත්මක වුණ පමුණුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉමල්ක සංජීවගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාරත්න, පරිපාලන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනූෂ රූපසිංහ, උප පරීක්ෂක සී. අරුණගම ඇතුළු කණ්ඩායමක් අදාළ නිවාඩු නිකේතනයට ගොස් සිදු කරන ලද විමර්ශනයේදී මේ මත් සාදයට එක්ව සිටි තරුණ තරුණියෝ 57ක් පොලිස් භාරයට ගනු ලැබූහ. අදාළ නිවාඩු නිකේතනයේ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නා ලද්දේ අනතුරුවය. සැකකරු එම ප්‍රදේශයේම සංචාරක නිවාඩු නිකේතන කිහිපයකම හිමිකරුවකු බව හෙළි විය. එලෙස පොලිස් භාරයට ගත් තරුණ තරුණියෝ වයස අවුරුදු 18 – 35 අතර පසු වන අයයි.
මේ අය අතර අයිස් සහ කේරළ ගංජා පානය කරමින් සිටි පුද්ගලයින් 16ක් සිටි බවද විමර්ශනවලදී හෙළි විය. ඇතැමකු සන්තකයේ හෂිස් මත්ද්‍රව්‍යද තිබුණ බවද හෙළි විය. මේ පිරිස අදාළ නිවාඩු නිකේතනයට පැමිණීමට යොදාගෙන තිබුණු කාරයත්, වෑන් රථයත්, මෝටර් බයිසිකල් කිහිපයත් පොලිස් භාරයට ගැනිණි. එලෙස පොලිස් භාරයට ගත් පුද්ගලයෝ ගාල්ල, මාතර, හලාවත, කුරණ ප්‍රදේශවල සහ උතුරු පළාතේ පදිංචිකරුවෝ වෙති.
මේ අතර මුහුණුපොත ඔස්සේ සංවිධාන වූ පුද්ගල පිරිසක් හලාවත ප්‍රදේශයේ උත්සව ශාලාවක මත්ද්‍රව්‍ය සහිතව සිටින බවට හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට පසුගියදා තොරතුරක් ලැබිණි. ඒ අනුව අදාළ ස්ථානයට ගිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් සිදුකළ පරීක්ෂාවේදී පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දි ඩාන්සින් ටැබ්ලට් යනුවෙන් හඳුන්වන මත්පෙති 5ක් සහ එවැනිම තවත් මත්පෙති 5ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මත්පෙති රු. 8,000 – 12,000 දක්වා මුදලට අලෙවි කිරීමට සැකකරුවන් සූදානමින් සිට ඇති බවද හෙළි වී තිබිණි. සැකකරුවෝ හලාවත සහ මාරවිල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 සහ 23 හැවිරිදි අය වෙති.
විමර්ශනවලදී හෙළි වී ඇති අන්දමට මුහුණුපොතේ මත් සාද ජාවාරම්කරුවන් සංවිධාන කරන මෙවැනි එක් මත් සාදයකින් විශාල මුදලක් උපයා ගන්නා අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝද මේ ස්ථානවලට ඉතාම සූක්ෂ්මව ප්‍රවිෂ්ට වී ඔවුන්ගේ ජාවාරම් සිදු කරති. හෙරොයින්, අයිස්, හෂීස්, හෑෂ්, මත් මුද්දර, ගංජා ඇතුළු විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය විදේශීය මත්පැන්, විදේශීය සිගරැට් ඉතා බහුලව මේ සාදවල අලෙවි වන බවද හෙළි වී ඇත. වරක් වාද්දුව ප්‍රදේශයේ පැවැති මුහුණුපොතේ මෙවැනි මත් සාදයකදී ඇති වූ විෂ වායු ආඝ්‍රාණයකින් තරුණයකුට දිවි අහිමි විය. ඇතැම් පාතාල කල්ලි සාමාජිකයන් සහ අනුගාමිකයන්ද මෙවැනි සංවිධානාත්මක මත් සාද පිටුපස සිටින බව විමර්ශන නිලධරයන්ගේ අදහසයි.