මාධ්‍ය මඟින් මෙවැනි පණිවුඩ කොතෙක් ලබා දුන්නද සියදිවි නසාගැනීම් සහ ඒ සඳහා උත්සාහ කිරීම්වල අඩුවක් දක්නට නැත. එසේ නම් ඒ සඳහා ගත යුතු සාධනීය පියවර මොනවාද යන්න පිළිබඳ අප මාරවිල මූලික රෝහලේ මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රොෂාන් ධම්මික පෙරේරාගෙන් විමසුවෙමු.
“මේ ආකාරයට සියදිවි නසා ගැනීම සහ ප්‍රචණ්ඩත්වයට දිනෙන් දින සමාජය ගොඩ නඟමින් සිටියද එවන් සිදුවීම් පිළිබඳව දින කිහිපයක් විද්යුත් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වල වාර්තා කිරීමත්, විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ඒ සිදුවීම් පිළිබඳව විවිධාකාර මත පළකිරීමත්, සතියක් දෙකක් ගත වන විට සිදුවීම අමතක වී යාමත් මඟින් පෙන්නුම් කරන්නේ මේ තත්ත්වය නව සාමාන්‍යකරණයක් ලෙස සමාජගත වීම දැයි ප්‍රශ්නයක් පැනනඟිනවා. කෙසේවෙතත් මෙම සිදුවීම් මත පදනම්ව පුළුල් සමාජ කථිකාවතක් ඇති කිරීම සහ බහු පාර්ශ්වීය සහභාගිත්වයෙන් සියදිවි නසා ගැනීම් සහ ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමේ ඵලදායී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක්.
කිසියම් සමාජයක සියදිවි නසා ගැනීම් සහ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමෙන් අදහස් වන්නේ එම සමාජයේ මනෝ සමාජීය හා අාධ්‍යාත්මික පිරිහීමයි. සියදිවි නසා ගැනීම් සහ ප්‍රචණ්ඩත්වය පාලනය කරගැනීමට නම් අධ්‍යාපනය, නීතිය සහ මාධ්‍යකරණය ප්‍රතිසංවිධාන විය යුතුමය. ඒ කෙසේ දැයි මේ ආකාරයෙන් විමසා බලමු.”
අධ්‍යාපනය
හුදෙක් විභාග මත පදනම් වූ එනමුත් ළමා හා නව යොවුන් වියේ මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කරුණු මත පදනම් නොවූ පාසල් අධ්‍යාපනික ක්‍රමය වහාම වෙනස් කළ යුතුය. සියදිවි නසා ගැනීම් සහ ප්‍රචණ්ඩත්වයට ප්‍රධානතම හේතුව තම හැඟීම් පාලනය කර ගත නොහැකි වීමයි. තමාගේ හැඟීම් පාලනය කර ගැනීම ද කුසලතාවක් වන අතර, එය ප්‍රගුණ කළ යුත්තේ කුඩා කල සිටය. ගණිතය, භාෂාව, කලාව, සංගීතය, ක්‍රීඩාව වැනි අංශ පවා කුඩා කල සිටම ක්‍රමානුකුලව ඉගැන්විය යුතුවා සේම තමාගේ හැඟීම් හඳුනා ගනිමින් ඒවා පාලනය කර ගනිමින් කටයුතු කිරීම ද ක්‍රමානුකුලව ඉගැන්විය යුතු දෙයකි.
ඒ වගේම ඇතැම් අධ්‍යාපන ආයතනයන්හි පවතින ශාරීරික සහ වාචික දඬුවම් කිරීම මඟින් ළමයින් සහ යෞවනයන්ගේ හැසිරීම් වෙනස් කළ හැකිය යන ආකල්පය වහාම වෙනස් කර ගැනීම ද අතවශ්‍ය වේ. ශාරීරික සහ වාචික දණ්ඩනය මඟින් සිදු වන්නේ ශාරීරික සහ මානසික හිංසනයක් පමණක් වන අතර දරුවන් කොටසක් බයාදු බවටත් තවත් කොටසක් ප්‍රචණ්ඩකාරී බවටත් පරිවර්තනය කිරීම හැර වෙනත් කිසිවක් සිදු නොවන බව වටහා ගත යුතුය.
ළමා සහ නව යොවුන් වියේදී හඳුනා ගත හැකි මානසික සහ චර්යාත්මක රෝගී තත්ත්වයන් පිළිබඳව මවුපියන් සහ ගුරුවරුන් සතු දැනුම මඳකමද, ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ඇති මැළිකමද, ඇතැම් විට ඒ සඳහාද “දඬුවම් කිරීම” යොදා ගැනීම නිසාද මනෝ සමාජීය වශයෙන් නීරෝගි දරු පරපුරක් බිහි කර ගැනීම අභියෝගයක් වී ඇත.
නීතිය
රටක නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක කිරීම මඟින් නීතිය පිළිබඳව විශ්වාසනීයත්වය ගොඩනැඟීම ඉතා වැදගත්ය. අගතියට පත් පාර්ශ්වයකට වුවත් අපරාධයක් කළ පාර්ශ්වයකට වුවත් තමන්ගේ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් නීතිමය ක්‍රියාදාමයන්ට සහභාගිවීමට පුරවැසියාට ඇති අයිතිය තහවුරු විය යුතුය.
එමෙන්ම නිෙවසේ, පාසල් තුළ, විශ්වවිද්‍යාල තුළ මෙන්ම ආයතන තුළ පවතින විවිධාකාර ප්‍රචණ්ඩත්වයන් මැඬපැවැත්වීමට නීතිය දැඩි විය යුතුය. මන්ද ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පුද්ගලයා කවරෙක් වුවත් ඔහු හෝ ඇය පෙරළා සමාජය මත පිටකරන්නේද ප්‍රචණ්ඩත්වය වන බැවිනි. එසේම ලිංගික ප්‍රචණ්ඩත්වය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව දැඩි නීතී සම්පාදනය විය යුතුය.
මාධ්‍යකරණය
මුද්‍රිත හෝ විද්යුත් හෝ සමාජ මාධ්‍ය මඟින් සිදු කරන මිනිස් හැඟීම් අවුස්සන සංස්කෘතියෙන් ඔබ්බට ගොස් මිනිසුන්ට තර්කානුකූලව සිතන්නට උදවු කරන මිනිසුන්ට සිත නිවාගන්නට උදවු කරන මාධ්‍ය සංස්කෘතියකට පරිවර්තනය විය යුතුය.සිය දිවි නසා ගැනීම හෝ අනෙකාගේ දිවි නැසීම වෙනුවට හැඟීම් පාලනය කර ගනිමින් ඉවසීමෙන් ගැටලු නිරාකරණය කරගැනීම වැනි කුසලතාවන් සමාජගතවන ආකාරයට මාධ්‍ය හැසිරිය යුතුය. මිනිසා රසාස්වාදයට ලක් කළ හැකි ආකාර දෙකකි. එකක් හැඟීම් අවුස්සා සිදු කරන රසාස්වාදයයි. අනෙක බුද්ධිමය රසාස්වාදයයි. මිනිසාගේ හැඟීම් අවුස්සා ලබා දෙන ලාභ රසාස්වාදය වෙනුවට මිනිසාගේ මොළය අවුස්සා ලබා දෙන බුද්ධිමය රසාස්වාදය සමාජය නිවන බැවින් මාධ්‍යකරණය ප්‍රතිසංවිධාන වීමට කාලය එළැඹ ඇත.