වනජීවී නිලධාරීන් ජීවිත පූජා කර ආරක්ෂා කරගත් විල්පත්තුවට මේ වන විට කුමක් සිදු වන්නේදැයි ප්‍රශ්නයක් මතුවේ. වනාන්තරය අසල පල්ලියක් සාදා එහි උත්සව පැවැත්වීමට බලධාරියෙකු පත් කර තිබීමත් නිසා මෙම ගැටලුව මතුව තිබේ.
වනාන්තරයට අයත් මෙම ස්ථානයට සෙනඟ රැස් වන විට වනාන්තරයට හා අහිංසක වන සතුන්ට සිදු වන්නේ අගතියකි. අපට ආගමික හෝ ජාති භේද නොවන අතර අපගේ අරමුණ වන්නේ වනාන්තරය රැකගැනීමෙන් ඉදිරියේදී ඇති විය හැකි විපත් අවම කර ගැනීමය.
අපේ රටේ රක්ෂිත වනාන්තර විනාශ කර ඇති නිසා අලි ඇතුන්, රිළවුන්, වඳුරන් පවා ගම්වැදීමට පටන්ගෙන තිබේ. පසුගිය කාලවල දේශපාලන හිතවතුන් විවිධාකාරයෙන් වනාන්තර විනාශ කළ අතර විල්පත්තුව ඊට කදිම උදාහරණයකි. ගැටලුව වන්නේ නව රජයක් බලයට පත් වී තුබුණද විල්පත්තුවට සිදුවෙමින් තිබෙන හානිය එලෙසින්ම ක්‍රියාත්මක වීමයි.
පරිසර අමාත්‍යතුමා මේ ගැන සොයා බලා වහාම විසඳුම ලබා දිය යුතුය. ඒ පිළිබඳ විල්පත්තුවේ ජනතාව ලෙස අපි අවදියෙන් බලා සිටිමු. අපේ රටේ මාධ්‍යවේදීන් සහ පරිසරවේදීන්ගේ මැදිහත් වීම නිසා මේ තරමින්වත් වනාන්තර ඉතිරි වී ඇති අතර අපි ඊට ඔවුන් වෙත කෘතඥතාව පළ කරන්නෙමු.
අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විල්පත්තුව නැවත වැනසීමට කිසිවකුට ඉඩ නොදෙන ලෙසය. ආණ්ඩුව මේ සඳහා යුක්තිය ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
සේන කුමාර් – අනුරාධපුරය
අභිමානවත් පොලිස් සේවාවක් ස්ථාපිත කරන්න
වසර 159ක පමණ කාල සීමාවක් තුළ නීතිය හා සාමය සුරැකීමට උර දෙමින් ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පොලීසිය විවිධ කාල සීමාවන් තුළ වරෙක ජන ප්‍රසාදයට පත් වෙමින් ද, වරෙක බරපතළ ලෙස ජනතාව පිළිකෙව් කරන තත්ත්වයට පත්වෙමින්ද ඉදිරියට යමින් පවතී. ඒ අනුව මෑත කාලයේදී විවිධ නොපහත්කම්වලට දායක වුණු දූෂිත පොලිස් නිලධාරීන් සුළු පිරිසක් නිසා අද වන විට පොලීසිය පිළිබඳ ජනතා අප්‍රසාදය තීව්ර වෙමින් පවතින බව සක්සුදත් සේ පැහැදිලිය.
මෙම තත්ත්වය පොලිස් සේවාවේ ගරුත්වයට ද පොදුවේ ජන ජීවිතයට ද අහිතකර ලෙස දැඩිව බලපාන බැවින් උද්ගතව පවතින අයහපත් තත්ත්වය හැකි ඉක්මනින් නිවැරැදි කොට අභිමානවත් පොලිස් සේවාවක් ඇති කිරීමට වර්තමාන ජනතාවාදී ජාතික ජන බලවේග ආණ්ඩුව වහ වහා පියවර ගත යුතුව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය ජනසෙත සලසන කාර්යක්ෂම පොලිස් බළකායක් බවට පත් කර ගැනීම සඳහා කෙටි කාලීනව ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි යෝජනා, කාර්යයන් 10 ක් පොලීසිය භාර ඇමැතිතුමා ප්රමුඛ ආණ්ඩුවේ බලධරයන්ගේ ක්ෂණික අවධානය පිණිස මෙලෙස ඉදිරිපත් කරමි.
දිසා 25 හිම රාජකාරි කටයුතු කිරීමට හැකිවනු පිණිස (STF පොලිස් අංශය මෙන්) දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක වන ලෙස සංවිධානය කිරීම. පොලිස් නිලධාරීන් සඳහා වන විශේෂ විනය ක්‍රියා පරිපාටි ඇතුළත් විනය සංග්‍රහයක් (Military code එකට සමාන ) සැකසීමට ක්‍රියා කිරීම. උප පොලිස් පරීක්ෂකවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා වන සියලු නිලධාරීන්ගේ කාර්ය සාධනය අර්ධ වාර්ෂිකව ඇගයීම සඳහා විධිමත් වැඩ සටහනක් සකසා ක්‍රියාත්මක කිරීම. පොලිස් සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස ප්‍රතිශෝධනය කිරීම.
ශ්‍රී ලංකා පොලීසියේ දැනට පවතින දැඩි නිලධාරී හිඟය මඟ හරවා ගැනීම පිණිස සිවිල් ආරක්ෂක බළකායේ ආයුධ පුහුණුව සහිත නිලධාරීන් පොලිස් සේවා සහායකයන් ලෙස වහාම අනුයුක්ත කිරීමට කටයුතු කිරීම.
පොලිස් – මහජන සබඳතා ශක්තිමත් කිරීම. සෑම පොලීසියකටම පිළිගැනීමේ නිලධාරියකු දිවා රාත්‍රී සේවය සඳහා යෙදවීම. දිවා රෑ දෙකෙහිම සුදුසු පරිදි අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා අහඹු ලෙස මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීම හා පා මුර සංචාර නැවත ඇරඹීම.
පොලිස් ඔම්බුඩ්ස්මන් තනතුර සතු වගකීම් හා කාර්යභාරය පුළුල් කොට එමඟින් විශේෂයෙන් පොලීසියේ සිටින පහළ නිලධාරීන්ට ඵලදායි සේවාවක් සැලසීමට ක්‍රියා කිරීම.
සියලුම පොලිස් නිලධාරීන්ට අර්ධ වාර්ෂිකව වත්කම් ප්‍රකාශ ලබා දීමට නියම කිරීම.
ඉහත දැක්වෙන යෝජනා කාර්යයන් අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමෙන් හා කල් ගතවන ආකාරයේ දීර්ඝ කරුණු අධ්‍යයනයකින් තොරව දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින අත්දැකීම් බහුල තම උපරිම ශක්තිය යොදා සේවය කිරීමට සැදී පැහැදී සිටින බහුතරයක් වන කාර්යක්ෂම පොලිස් නිලධාරීන් නිසි ලෙස මෙහෙයවීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ඉතා පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැකි බව සඳහන් කරනු කැමැත්තෙමි.
එන්. ආරියදාස කුරේ – යක්කල
පාරට කුණු දැමීම හා පිලිස්සීම නවත්වා දෙන්න
ගෙවල්වල අපිරිසුදු කුණු කළුතර කටුකුරුන්ද හන්දියේ සිට කුරේ පාර දක්වා වම් පස අතුරු පාර දිගට ගෙනැවිත් දැමීමට ඇතැම්හු පුරුදුව සිටිති. මේ කුණු අතර දුගඳ හමන මාළු මස් සහ ඉවතලන සනීපාරක්ෂක තුවාද වෙයි. සමහරු පාරේ ලයිට් කණු අසලට කුණු දමා පුච්චන්නට පුරුදුව සිටිති. මේ පිළිබඳව නගර සභාවට, පී.එච්.අයි. මහත්වරුන්ට පැමිණිලි කළ අතර, ඔවුහු පැමිණ කුණු නොදමන ලෙස ඉල්ලා සිටිති. එහෙත් කිසිවකු ඒවා ගනන් නොගන්නා අතර, ලයිට් කණු අසල ගිනි තැබීම අවදානම් තත්ත්වයකි.
එසේම මේ කුණු අතර ප්ලාස්ටික්, කැඩිච්ච බඩු, අපිරිසිදු කොළ, ගෙවල්වල අයගේ රෙදි ආදිය වේ. පැට්රික් පීරිස් පාරේ මේ තත්ත්වය නිතර දැකිය හැකිය. තම ඉඩම කුඩා නිසා පාරට රෙදි කුණු ගෙනැවිත් පුච්චන බව ඔවුහු කියති. මේවා දුඟඳ හමන අතර ප්ල්ස්ටික් දුම නිසා ස්වසන අපහසුතා ඇති වීමට පටන්ගෙන තිබේ. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මඟින් මෙවැනි අකටයුතු නොකරන ලෙස කොතරම් දැනුම්වත් කළ ද ඔවුන් ඒවා කනකට නොගනී. මේ ආශ්රිත නිවාසවල සීසීටීවී කැමරා පරික්ෂා කර වගකිව යුතු අය සඳහා දඩ මුදලක් හෝ අයකිරීමට අදාළ බලධාරීන් පියවර ගන්නේ නම් මෙය වළක්වා ගත හැකි බව මෙහි වෙසෙන ජනතාව පෙන්වා දෙති.
ඩී.එම්. පීරිස්, – කටුකුරුන්ද
බුළුගහගොඩ දුම්රිය හරස් මගට ආරක්ෂිත ගේට්ටුවක් ඕනෑ
කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය දක්වා ස්ථාපිත කර තිබෙන උප දුම්රිය ස්ථාන අතර බුළුගහගොඩ උප දුම්රිය ස්ථානයට හිමි වන්නේ ප්රමුඛස්ථානයකි. දිනපතා කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට අප රටේ විවිධ ප්‍රදේශ කරා දුම්රිය විශාල සංඛ්‍යාවක් බුළුගහගොඩ උප දුම්රිය ස්ථානය පසුකර ධාවනය කෙරේ. බුළුගහගොඩ උප දුම්රිය ස්ථානයට පිවිසෙන දුම්රිය මාර්ගය වංගුවකින් සමන්විත වන අතර දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂිත ගේට්ටුවක් නොමැති නිසා මිනිස් ජීවිත අවධානමකට ලක්වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව වැඩිවී තිබේ. බුළුගහගොඩ උප දුම්රිය හරස් මගට ආරක්ෂිත ගේටුවක් සවි කිරීමට ගරු ප්‍රවාහන කටයුතු භාර අමාත්‍යතුමාගේ සුවිශේෂී අවධානය යොමු වේවා.
එච්. පිලිමන්ද සොයිසා, විශ්‍රාමික ග්‍රාම නිලධාරී