මට ජීවිතය එපා වෙලා, මට මැරෙන්න හිතෙනවා” සමීපතමයෙක් එසේ පැවසුවහොත් හෝ මුහුණුපොතේ එවැනි සටහනක් තැබුවහොත් ඔබේ ප්‍රතිචාරය කෙබඳු විය හැකිද? ඇතැම් විට ඒ මොහොතේ ඒ ප්‍රකාශය හිතට දැනුණත් තවත් මොහොතකින් එය ඔබේ මතකයෙන් ද ගිලිහී යා හැකිය. යළි ඔබට ඒ බව සිහිවන්නේ හදිසියේම එකී පුද්ගලයා සියදිවි හානිකරගැනීමකින් ජීවිතය හැරගොස් බව දැනගත් විටය. ඉකුත් සතියේ මෙවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා විය.
සියදිවි නසාගැනීම් හේතුවෙන් වසරකට ලක්ෂ හතකට වැඩි පිරිසක් මියයන බවත් ඊට මූලික හේතුවක් ලෙස මානසික අවපීඩනය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලොව පුරා මිලියන 280කට ආසන්න පිරිසක් මානසික අවපීඩනයෙන් පෙළෙන අතර, එය පිරිමින්ට වඩා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. ලොව පුරා ගර්භිණි කාන්තාවන් සහ අලුත දරුවන් බිහි කළ කාන්තාවන්ගෙන් 10% කට වැඩි පිරිසක් මානසික අවපීඩනයෙන් පෙළෙන බව ද සංඛ්‍යා දත්තවලින් අනාවරණය වී ඇත.
මානසික රෝග අතර විශාදය (Depression ) තත්ත්වයට මෙරට බොහෝ පිරිසක් ගොදුරු වී තිබෙන බව කලකට පෙර හෙළි විය. ඒ ආන්දෝලනාත්මක හෙළිදරව්ව කර තිබුණේ ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස, කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය අනුරාධ බැමිණිවත්ත හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ඉනෝෂ උදාර අල්විස් විසින් සිදු කළ ‘ශ්‍රී ලංකාව තුළ විශාදයේ පැවැත්ම හා එයට සම්බන්ධ සාධක: ක්‍රමානුකූල සමාලෝචනය හා පාර – විශ්ලේෂණය’ නම් වූ පර්යේෂණ පත්‍රිකාව මඟිනි. ඒ අනුව ලංකාවේ ජනගහනයෙන් 19.4%ක්, එනම් 5 දෙනෙකුගෙන් 1 අයෙකුට විශාදිමය තත්ත්වය පවතී. මේ වන විට ඒ සංඛ්‍යාව තවත් වැඩි විය හැක්කේ දිනපතා වාර්තා වන සියදිවි නසාගැනීම් බොහොමයකට හේතුව විශාදය බව හෙළිවන නිසාය.
විශාදය නමැති මානසික තත්ත්වයට ගොදුරු වීමට තත්ත්වයක්, තරාතිරමක්, සමාජ මට්ටමක් බලපාන්නේ නැති බව සියදිවි හානිකරගත් පුද්ගලයන්ගේ තොරතුරු විමසීමෙන් හෙළි වේ. සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි ලොව ප්‍රකට බටහිර ගායිකාවෝ ද තමන් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම පිණිස ප්‍රබල අරගලයක යෙදුණු බවත් ඔවුහු ප්‍රසිද්ධියේ හෙළි කර ඇත.
කිසිවකු විශාදයෙන් පෙළෙන බව හැඟෙන්නේ නම් ඔවුන්ට එම තත්ත්වයෙන් මිදීම සඳහා උපකාර කිරීම සියලු දෙනා සතු මානුෂීය මෙන්ම අත්නොහැරිය හැකි සමාජීය වගකීමක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යයාතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය වින්ද්‍යා විජයබණ්ඩාර පවසන්නීය. විශාදයෙන් පෙළෙන අයකුට එම තත්ත්වයෙන් මිදීමට නම් විශාදය ඇතිවීමට හේතු සහ එහි ලක්ෂණ පිළිබඳ නිසි දැනුම්වත්භාවයක් තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍යවරිය මෙසේ පැහැදිලි කළාය.
“විශාදය (Depression) තත්ත්වය කියන්නේ අපි සුලබව දකින තත්ත්වයක් වුවත් මේ තත්ත්වය හරියටම හඳුනා ගත යුතුයි. අපි ඕනෑම කෙනෙකුට ජීවිතය එපා වීමක්, කලකිරීමක්, වැඩ කරන්න ආශාව නැතිවීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් කෙටි කාලයක් තුළ ඒ සිතිවිලි ඉවත් වෙලා අපි සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. නමුත් කෙනෙක් තුළ දුක, කලකිරීම, එපාවීම වගේ සිතිවිලි දිගින් දිගටම පවතිනවා නම් සති ගාණක් තියෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. සායනික වශයෙන් කෙනෙක් තුළ පසුගිය සති දෙක තුළ මේ වගේ රෝග ලක්ෂණ දිගින් දිගටම තිබෙනවා නම් අපිට කියන්න පුළුවන් එම පුද්ගලයා විශාදයෙන් පෙළෙනවා කියලා. හිතට සතුටක් නෑ, හැමවෙලාවෙම හිතට දුක දැනීම, වැඩ කරන්න ආශාවක් නැතිවීම සහ වැඩ කරන්න මානසික සහ කායික ශක්තියක් නොමැති වීම විශාදයේ මූලික රෝග ලක්ෂණ විදිහට හඳුන් වන්න පුළුවන්. ඒ වගේම විශාදය නිසා එදිනෙදා ජීවිතයේ වැඩවලට බාධා සිදු වෙනවා. නින්ද යන්නෙ නැහැ, කෑම කන්න හිතෙන්නෙ නෑ, වෙනදා අවධානයෙන් උනන්දුවෙන් කළ වැඩ කරන්න අමතක වෙනවා, මඟහැරෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම තියෙද්දි ජීවිතය ගැන කලකිරීමක්, එපාවීමක් දැනෙනවා. ඒ වගේම සියදිවි නසාගන්න සිතිවිලි ඇතිවෙනවා. ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතනවා. ඒ සිතිවිලි තවත් දුරට යද්දි හිතෙන්න පුළුවන් සියදිවි නසා ගන්නේ කොහොමද කියලා හිත ඇතුළෙන් සැලසුම් හදනවා. එතැනින් එහාට සැලසුම් කිරීම සිට ක්‍රියාත්මක කිරීම දක්වා බරපතළ වෙන්න පුළුවන්. විශාදය තත්ත්වයේ උග්‍ර අවස්ථාව ලෙස එය හඳුන්වන්න පුළුවන්. ”
විශාදීය තත්ත්වය මුල් අවස්ථාවේ සිට උග්‍ර අවස්ථාව දක්වා එක්වරම පැමිණෙනවා දැයි කෙනෙකුට සිතිය හැකිය. විශේෂඥ මනෝ වෛද්‍ය වින්ද්‍යා විජයබණ්ඩාර එය හඳුනා ගැනීම සඳහා ඉවහල් වෙන ලක්ෂණ ගැන මෙසේ පැවසුවාය.
“මුල් අවස්ථාවේ සිට උග්‍ර අවස්ථාව සඳහා ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන රෝගියකුගෙන් අපි දකින තවත් රෝග ලක්ෂණයක් වන්නේ ඔවුන් තුළ ගොඩනැඟෙනවා තමන් විශාල වරදක් කළා සහ එය සමාව දිය නොහැකි වරදක් බවට. ඒ වරදකාරී හැඟීම එක්ක දැඩි කලකිරීමකුත් ඇතිවෙනවා, මේ වැරැද්ද නිසයි මට මෙහෙම වුණේ කියලා. නමුත් විමසා බැලුවම එහෙම වරදක් වෙලා නැහැ. නමුත් පදනම් විරහිත එවැනි හැඟීම් ගොන්නක් ඔහුගේ තදබල විශ්වාසය සමඟ බැඳී තිබෙනවා. ඒ වගේම තවත් එවැනි විශ්වාස ගොන්නක් වන්නේ, මට කන්න බැහැ, මගෙ ඇඟ වැඩ කරන්නෙ නෑ, කෑම කාල වැඩක් නෑ, මගෙ බැංකු පොතේ සල්ලි නැහැ, ගෙදර හැමෝම මාව දාලා ගිහිල්ලා, මම මානසික කායිකව දුර්වලයි කියන හැඟීම්. මේ හැඟීම් තදබල විශ්වාස විදිහට හිතේ පැලපදියම් වීමත් විශාදයේ තවත් ලක්ෂණ. ඒ වගේම විශාදය වැලඳුණු ඇතැම් පුද්ගලයන් ඉතාම කලහකාරියි. තමන්ගෙ ඒ තත්ත්වයට තවත් කෙනෙක් වගකියන්න ඕනේ කියන හැඟීම විශාල කෝපයක් බවට පත්වෙනවා. එවැනි තදබල විශ්වාස ගොන්නත් උග්‍ර තත්ත්වයේ විශාදයෙන් පෙළෙන අය තුළින් දැකිය හැකියි. සියදිවි නසා ගැනීම ගැන ප්‍රබල විශ්වාස ගොන්නක් ඇතිවෙන්නෙත් උග්‍ර තත්ත්වයේදියි.”
විශාදය ඇතිවීමට මූලික හේතු ලෙස තමන්ට යමක් අහිමි වීම සහ එම අහිමි වීම දරාගැනීමට නොහැකි වීම පෙන්වා දිය හැකිය. සෑම පුද්ගලයන් දස දෙනකුගෙන් පස් දෙනෙක්ම විශාදීය රෝග ලක්ෂණ පෙන්වති.

විශේෂඥ මනෝ වෛද්‍ය
වින්ද්‍යා විජයබණ්ඩාර
” අපි හැමෝටම මානසිකව කඩා වැටෙන්න හේතු තියෙන්න පුළුවන්. නමුත් එවැනි කඩාවැටීම් එක්ක අනිත් පැත්තට අපිට ඒ තත්ත්වයෙන් ගොඩඑන්න තියෙන සම්පත් මොනවද කියලා හිතන්න පුළුවන් මානසික මට්ටමක් තියෙනවා නම් විශාදයට ගොදුරු නොවී ඉන්න පුළුවන්. නමුත් එක් එක් පුද්ගලයාගේ දරාගැනීමේ ශක්තිය අනුව ඒ හැකියාව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එවැනි මානසික පීඩාවක ඉන්න කෙනෙකුට එයින් ගොඩඑන්න අනිත් අයගේ උදවු අත්‍යවශ්‍යයි.”
විශාදය යනු නිසි ප්‍රතිකාර මඟින් සියයට සියයක්ම සුව කළ හැකි රෝගයක් වුවත් ඒ පිළිබඳ නිසි දැනුම්වත්භාවයක් නොතිබීම නිසා ඇතැම් පුද්ගලයන් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ උග්‍ර විශාදීය අවස්ථාවේදී වීම අවාසනාවන්ත තත්ත්වයක් බව ද වෛද්‍යවරිය පවසන්නීය.
“සමාජයේ ඇතැමුන් තුළ අදහසක් තියෙනවා, කෙනෙක් මැරෙනවා කිව්වට මැරෙන්නෙ නෑ කියලා. නමුත් බොහෝ අවස්ථාවල අපි දකිනවා සියදිවි නසා ගත් අය ඊට පෙර තමන්ගේ සමීපතමයන්ට ඒ ගැන ඇඟවීමක් කරලා තියෙනවා. ඒ නිසා එවැනි ඇඟවීම් නොසලකා නොහැරිය යුතුයි. තමන්ගේ සමීපතමයෙක් විශාදයෙන් පෙළෙනවා කියලා ඔබට හැඟෙනවා නම් වහාම ඔහු ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. රට පුරා මූලික රෝහල්වල පිහිටුවා තිබෙන මානසික සෞඛ්‍ය ඒකක වෙත පැමිණ පහසුවෙන් උපදේශනය ලබන්න පුළුවන්. පුද්ගලයන්ගේ රහස්‍යභාවය පෞද්ගලිකත්වය රැකෙන විදිහට ඒ කටයුතු සිදුවෙනවා. මානසික ගැටලු විසඳා ගැනීමේ මුල් පියවර ඒ ගැන කතා කිරීමයි. එහෙම කතාකරන්න අවශ්‍ය ඕනෑම කෙනෙකුට මානසික සෞඛ්‍ය ඒකකය හා සම්බන්ධ ‘මිතුරු පියස’ වෙත යොමු වෙන්න පුළුවන්. ඖෂධ ප්‍රතිකාරවලට අමතරව විශාදය සඳහා මනෝ සමාජීය චිකිත්සාවන් ද සිදු කරනවා. ඒ වගේම විශාදයට ලක්වෙලා ප්‍රතිකාර ලබා නැවත සමාජයට එන පුද්ගලයා සමඟ සමාජය කටයුතු කරන්නේ කෙසේද යන්නත් ඉතා වැදගත්. ඔහු කොන් කරන්න, ප්‍රතික්ෂේප කිරීම වෙනුවට සාමාන්‍ය කෙනෙක් ලෙස පිළිගැනීම සහ ඒ පිළිගැනීම ඔහුට ඒත්තු ගැන්විය යුතුයි.”