කැරලිකරුවන් කුරුටු ගී ලියන්නට තරම් නිදහස් සුවපහසු මානසික තත්ත්වයක සිටියේ නැත. කුසට නිසි අහරක් නැතිව ඇසට නින්දක් නැතිව පමණක් නොව මරණය රුදුරුවේෂයෙන් ඔවුන් කල්ගත කළහ. එපමණක් නොව ඔවුන් සිටියේ හිරගෙදර නිලධාරීන්ගේ ඇනුම් බැනුම් අඩම්තේට්ටම් මධ්‍යයේය.
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීමක් ලෙස 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සනිටුහන් වී ඇත. ජ.වී.පෙ. පිළිබඳව විවිධ දේශපාලන විග්‍රහ, විශ්ලේෂණ තිබුණත් කැරැල්ලෙන් පසු රටේ සමාජ දේශපාලන වෙනසක් සිදු වූ බව පොදුවේ කාගෙත් පිළි ගැනීමයි. 71, ජ.වී.පෙ. කැරැල්ල අසාර්ථක වීමත් සමඟ කැරලිකරුවන් විශාල වශයෙන් අත්අඩංගුවට ගත් අතර ඇතැමුන් පොලීසියට භාර වෙන ලදී. එනිසා කැරලිකරුවන් 20,000ක් පමණ රැකබලා ගැනීමේ සහ නේවාසිකව තබා ගැනීමේ බරපතල ගැටලුවකට රජයට මුහුණ පෑමට සිදුවිය. මෙහිදී බෝගම්බර,මැගසින් ,යාපනය, වැනි එවකට තිබූ ප්‍රධාන බන්ධනාගාරවලට අමතරව විදුදය, විදුලකර විශ්වවිද්‍යාල දෙකද ක්ෂණිකව සිරකඳවුරු බවට පත්කරන ලදී. ඊට අමතරව වීරවිල වැනි රැඳවුම් කඳවුරුද හිරගෙවල් බවට පත් කෙරිණි. අත්අඩංගුවට පත්වූවන්ගෙන් 80% ක් පමණ වයස අවු : 17-25 වයසේ පසුවූවන් වූ අතර ඔවුන් පාසල් සිසුන්,පාසැල් හැරගිය තරුණයින්, සරසවි සිසුන් විය.
මොවුන් හිරගෙදරින් දෙන දෙයක් කා බී නිකරුණේ කාලය ගත කළේ නැත. ගල් පර්වතයක් වුවද අස්වැද්දීමට හැකියාව හා ධෛර්ය තිබූ භද්‍ර යෞවනයේ පසු වූ තරුණ පිරිස හිරගෙය සරසවියක් බවට පත්කර ගන්නා ලදි. දේශපාලන වශයෙන් පරිපූර්ණ නොවූ හිස් පිරිසක් වූ කැරලිකරුවෝ නිදහස ලබා සමාජයට පිවිසෙන විට යමක් කමක් උකහාගත් උගත් පිරිසක් බවට පත් ව සිටියහ. ඔවුහු හිරකඳවුර තුළ තම දැනුමේ නිම්වළලු පුළුල් කර ගැනීමේ අධ්‍යයන කටයුතුවල නිරත වූහ. ඔවුන්ගේ චිත්ත සන්තානයේ පහළ වූ සිතුවිලි අදහස්, මතවාද ,ආකල්ප, අඟුරු කෑලිවලින්, හුනු කෑලිවලින්, පැන්සල් කොටවලින්, බිත්තිවල, තාප්පවල ,ගල්වල, ටකරන් තහඩුවල සටහන් කර තැබූහ. එදා මෙසේ සටහන් කල සිරකරුවන්ගේ සිතුවිලි අදහස්,උදහස් අද 71 කැරලිකරුවන්ගේ කුරුටු ගී ලෙස සමාජයේ ප්‍රචලිත වී ඇත.
කැරලිකරුවන් කුරුටු ගී ලියන්නට තරම් නිදහස් සුවපහසු මානසික තත්ත්වයක සිටියේ නැත. කුසට නිසි අහරක් නැතිව ඇසට නින්දක් නැතිව පමණක් නොව මරණය රුදුරුවේෂයෙන් ඔවුන් කල්ගත කළහ. එපමණක් නොව ඔවුන් සිටියේ හිරගෙදර නිලධාරීන්ගේ ඇනුම් බැනුම් අඩම්තේට්ටම් මධ්‍යයේය.
එවන් තත්වයක් තුළ පවා තම අභිලාශය අත් නොහල ඔවුහු සිය අදහස් අතට අසුවෙන අඟුරු කෑලිවලින් හුනුකෑලිවලින්, පන්සල් කොටවලින් තාප්පවල, බිත්තිවල කොලකෑලිවල සටහන් කර තැබීමට ඔවුහු ධෛර්යමත් වූහ. 71 කැරලිකරුවන් තම දේශපාලන ආභිලාශය අත් නොහළ බව කුරුටු ගීවලින් සනාථ වේ.
යහපත් සමාජයක් ගොඩනැගීමේ උත්තුංග අරමුණ පෙරදැරි කරගත් දේශපාලන ව්‍යාපාරයක සාමාජිකයින් ලෙස ඔවුන් කතා කළේ, ගී නිර්මාණ කළේ සමාජයේ පොදු යහපත පිණිසය. මේ නිසා බොහෝ ඍජුව හෝ වක්‍රව සමාජ උන්නති දේශපාලනය හා බැඳී තිබිණ. කළ අරගලය අසාර්ථක වුවත් අනාගතයේදී එය ජයග්‍රහණය කරගැනීමේ උත්සාහය අත්නොහළ බව මේ කුරුටු ගීයෙන් කියවේ.
පිපිමල් පරව විසිරී ඇත දෙරණ මත
විහිදු සුවඳ ඉදිරියටත් මියෙනු නැත
ඔපවත් කරන්නට එ සුවඳ අපරිමිත
සුවහස් ගණන් තව රතුමල් පිපෙනු ඇත
මේ ගීය පසුකාලීනව පක්ෂය සංවිධානය කිරීමේ ප්රචාරක කටයුතුවලදී බහුලව යොදාගත් ප්‍රබල කවියක් විය.
කැරලිකරුවන් සටන් කළේ සමාජයේ පොදු යහපත වෙනුවෙනි. ඒ සඳහා ඔවුන් අවි ගත්තා පමණක් නොව මරණය වුවද සතුටින් වැලඳ ගන්නා බව කියැවෙන කවියකි මේ. එසේ අපි දිවි කැප කරන විට ඔබ අපෙන් වන හිස් තැන සූදානම් ද යනුවෙන් මේ ගීයෙන් ප්‍රශ්න කරයි.
අපගෙන් ගිලිහුන යුතුකම් රැකුමට දස දහසින් ඒ නම්
දෑතින් ගිලිහෙන රතු කොඩි නැගුමට ජන අත් එසවේනම්
අප මළගම වෙනුවෙන් ගමනේ සෝ ගී ගැයුමට අය එ්නම්
මාරු හමුවන කොතනදී වුව හෝ පිළිගැනුමට අප සූදානම්
බොහෝ සාමාන්‍ය සිරකරුවන් අම්මා ගැන දුක්වෙමින් ලියූ සිරගෙයි කුරුටු ගී රාශියකි. ඒවායේ ලියා ඇත්තේ අම්මේ මම යාළුවෝ නිසා නොමඟ ගියා, මෙහෙ කෑම නෑ. නින්ද යන්නේ නෑ. හරිම දුකක් විඳින්නේ .. යැයි කියන දුක් කම්කටොලු ගැනයි. එහෙත් කැරලිකරුවන් ලියන්නේ මව් සෙනෙහසට සීමා නොවී ඊට වඩා පුළුල් පරාසයක් වූ පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් කැපවෙන බව මේ කුරුටු ගීයෙන් කියැවේ.
එක්කොට එකට සමගියේ මුළු බල ශක්ති
පෙන්වමු ලොවට වෛරය නිර්ධන පන්ති
මව්බිම නැතොත් මරණය විඳිනෙමු බුක්ති
අම්මේ අපට ලොකු නෑ හිර ගේ බිත්ති
71 තරුණයින් රට ජාතිය වෙනුවෙන් සටන් කළේ යෞවනයේ සියලු දේ කැප කරමිනි. ඒ නිවහල් දේශයක නිදහසේ සුවඳ සොයා බව සඳහන් වන කුරුටු ගීයකි මේ.
කොණ්ඩය රැවුල නොකපා සෙල්ලමට නොයා
නොනිදා නොකා සැප සම්පත් අහක තියා
නිවහල් මව්බිමක නිදහසෙ සුවඳ සොයා
යා යුතු ගමන අරඹා ඉදිරියට ගියා
71 අරගලය අසාර්ථක වීම පිළිබඳව කැරලිකරුවන්ට හිත් වේදනාවක් නැත. ඒ පිළිබඳව ස්වයං විවේචනයක් ඔවුන්ට තියෙන්නට ඇත. ඒ ලැබූ අවබෝධය තුළින් අනාගත සටන සාර්ථක කර ගැනීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ. ඒ පිළිබඳව සටන්කරුවකුගේ සිතුවිල්ලකි මේ.
නිදහස් සුවඳ නලවැල් අතු පතර හැපී
නිර්ධන පන්තියේ රතු මල් කැකුළු පිපී
ධනවත් අදිරදුන් බලමුළු දෙකට කැපී
යන මේ ගමන නැවතත් මුල පුරමු අපි
තම අරගලය නොනවත්වා කරගෙන යා යුතුය. අපේ සහෝදරයින් අරගලයේදී සටන් කර දිවි පුදා මව්බිම ලෙයින් තෙත් කළේය. ඉදිරියේදී තව තවත් සගයන් සටනට එක්වනු ඇත. අපි දැනට විසිරි ගොස්ය. අනාගත සටනේදී අපි නැවත එක්වෙමු යන ප්‍රාර්ථනයෙන් ලියූ ගීයකි මේ.
වැගුරුව රුහිරු දහරින් මව්බිම නාවා
මිලිනව ගියත් ඊයේ පිබිදුන ඒවා
දහසක් කැකුළු මල් දවසක පිබිදේවා
එදිනට නැවත අපි ඔක්කොම හමුවේවා
සිරකඳවුර තුළ මානසික හුදකලාව මෙන්ම ශාරීරික වශයෙන් විඳින වද වේදනා පිළිබඳ සඳහන් කිරීමට කැරලිකරුවන් අමතක කර නැත.
කම්බි තිස්දෙකක් ඇත අප වටකරලා
තට්ටු තුනක් ඇත අපහට වෙන්කරලා
කන්න දෙන්නෙ බත් පොඩ්ඩයි තද කරලා
නොකෑ බතින් ඇත අපගේ කුස පිරිලා
විදුදය,විදුලකර මෙන්ම අලුතින් පිහිට වූ සිර කඳවුරු වටකර තිබුණේ කටු කම්බි වැටවල් දෙකකිනි. වැටවල් දෙක අතර පරතරය අඩි 4 කි. වැටක උස අඩි 16 ක් වන අතර ඒක වැටක කටූ කම්බි පොටවල් 32 කි. ඒ වන විට එවැනි කඳවුරු ශ්‍රී ලංකාවේ කිසිදු තැනක දක්නට තිබුණේ නැත. කම්බි වැට දකිනවිට බිය ජනිතවන්නේ හමුදා භටයින් ද අප දෙසට මානාගෙන සිටින ආයුධ දකිනවිටයි. උදේට වැලිකඩ බේකරියේ හදන පාන් කෑල්ලයි හොද්දයි. දවල්ට බත් කෝප්පයයි හොද්දයි සම්බෝලෙයි .හොද්ද බෙදුවම බත් ඇට පාවෙනවා. ඉතින් මානසික පීඩනය වගේම කුසට නිසි ආහාරයක් නොමැති නිසා කුසගින්නද දරා ගත නොහැකි බවයි, ඒ කවියෙන් කියවුණේ.
සිරගත වුවත් අරගලයේ අධිෂ්ඨානය අත් නොහල තරුණයකුගේ සිතුවිල්ලකි මේ.
ජීවය රඳා ඇති වුනදා සිට දෙරණේ
ඉපදුන සැවොම මළගම යන එක තීරණේ
පාගෙන තැලෙන ජනතාවට වී සරණේ
කෝකත් එකයි මට මව්බිම හා මරණේ
වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද ආහාර නොමැතිව කුසගින්නේ සිටිද්දී අනවශ්‍ය දේ කරමින් මිල මුදල් නාස්ති කරන ආකාරය කුරුටු ගීයක සඳහන් වී ඇත්තේ මෙසේය.
නිසි රිසි අහර නැති
මෙහි ළදරුවෝ මියයති
එහෙත් බොදු සැදැහැති
දනෝ බෝ ගස් කිරෙන් නාවති
ජ.වී,පෙ, නැවත ජනතාව අතරට ගෙන යාමේදී ප්රචාරක කටයුතුවලදී බහුලව යොදාගත් සිරගෙ කුරුටු ගීයකි, මේ.
පතා පොදු ජන පැතුම
පුදා ජීවිත කුසුම
එදා ගිය මඟ සොයුර
සදා සමරමු වැතිර
ජ.වී.පෙ. අනාගත ජයග්‍රහණය පිළිබඳව තිබු දැඩි අධිෂ්ඨානය පිළිබදව කැරලිකරුවකු ලියූ කුරුටු ගීයකින් ලිපිය අවසන් කිරීමට කැමත්තෙමි.
අමරණිය නොවූ සැම දෙයකටම
අවසානයක් ඇත
ඉතා දිගු වුවද ඉතා අඳුරු වුවද
රාත්‍රිය පවා අරුණෝදයෙන් අවසන්වේ
විශ්වාසය තබන්න
දිගටම රැදී සිටින්න
හෙට නියම දිනය එළඹෙනු ඇත
කෝනාර එම්. ගුණපාල
බංගදෙණිය සමූහ