දුම්රියේ වනඅලින් ගැටීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන කාලාන්තරයක් තිස්සේ කතාබහට ලක් වුවද, මේ දක්වා ඊට නිසි විසඳුමක් ලැබී නැත. මෙතැන ප්‍රධාන ගැටලුව වී ඇත්තේ යන්ත්‍ර හා සතුන් අතර ගැටීමක් වන හෙයිනි. දුම්රිය රියැදුරන් කොතරම් කල්පනාකාරිව දුම්රිය ධාවනය කළද මහමඟ දිවෙන වාහනයක් මෙන් දුම්රියක් එක්වර නවතාගැනීම කළ නොහැකි හෙයින් මේ ගැටලුවට නිසි විසඳුමක් නොලැබිණි. ඒ සඳහා රාත්‍රී දුම්රිය කාලසටහන්ද පසුගිය මාසයේදී වෙනස් කරන ලදි. එහෙත් ඊට පසු දිනම මනම්පිටියේදී මීනගයා දුම්රියේ ගැටුණු සද්දන්ත ඇතෙක් මිය ගියේය.
මේ ගැටලුවට ස්ථිර විසඳුමක් දීමේ අරමුණින් පසුගියදා ආයතන කිහිපයක් එකතු වී අලි ඇතුන් ගැටෙන දුම්රිය මාර්ග නිරීක්ෂණය කරන ලදි. ඒ අනුව වන අලින්ට සිදු වන හානි අවම කිරීම සඳහා ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබිණි.
පරිසර අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරියද ඒකාබද්ධව මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව වන අලින් නිරතුරුවම දුම්රිය මාර්ගය හරහා ගමන් ගන්නා ස්ථානයන්ට ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සැලසුම් කර තිබේ.
වන අලින් බහුල වශයෙන් දුම්රියේ ගැටෙන ගල්ඔය හන්දිය දුම්රිය ස්ථානයේ සිට හිඟුරක්ගොඩ දක්වා කඳුගැට සහිත ස්ථාන 7ක් හඳුනාගෙන ඇති අතර, ඒ කඳු සහිත ස්ථානවල පස්කඳු ඉවත් කිරීමට කටයුතු කිරීම ඉන් පළමු තැනක් ගෙන ඇත. එමෙන්ම දුම්රිය රියැදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය මාර්ග භාරව කටයුතු කරන ඉංජිනේරුවන්, දුම්රිය රියැදුරු සහායකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමත් මේ අතර වේ.
එමෙන්ම වනඅලින් දුම්රිය හරහා මාරු වන ස්ථානවල යොදා ඇති අලින් මාරු වන බව දැක්වෙන නාම පුවරු යාවත්කාලීන කර, වැඩිදියුණු කිරීමද මෙහි තවත් විශේෂිත කරුණක් වේ. දුම්රිය මාර්ගයේ දෙපස වංගු පවත්නා ස්ථානවල ගැවසෙන වනඅලින් දුම්රිය රියැදුරන්ට ඈත සිට පෙනෙන ආකාරයට දුම්රිය මඟ දෙපස මීටර් 10 සිට 20 දක්වා ප්‍රදේශයේ පඳුරු ඉවත් කිරීමත් මෙහි තවත් ක්‍රියාමාර්ගයකි. මේ අතර, දුම්රිය රියැදුරන්ට දුම්රිය මාර්ගය දෙපස පැහැදිලිව දර්ශන වන පරිදි දුම්රිය මාර්ගයේ සෝලා පැනල් සහිත LED ලාම්පු දැල්වීමත් මෙහිලා සිදුකිරීමට නියමිතය.
එසේම නැඟෙනහිර දුම්රිය මාර්ගයේ බොහෝ විට ධාවනය කරනු ලබන වසර 70ක් පමණ පැරැණි එම් 2 දුම්රිය එන්ජිම වෙනුවට වටපිටාව හොඳින් දර්ශනය වන හා වඩා හොඳින් වේගය පාලනය කළ හැකි එස් 13 වර්ගයේ දුම්රිය කට්ටල හඳුන්වා දීම සහ දුම්රියේ වේගය පාලනය කිරීම සම්බන්ධයෙන් රියැදුරන් දැනුම්වත් කිරීමට LED පැනල් සවිකිරීමද මේ අතර ගෙන ඇති තවත් ක්‍රියාමාර්ගයන්ය.
එමෙන්ම ගල්ඔය හන්දියේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ දක්වා වනඅලින් මාරු වන දුම්රිය මාර්ගයේ බොහෝ දුරක දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් අතර කළුගල් නැති හිස්තැන් පිරීයන පරිදි කොන්ක්‍රීට් ගල් අතුරා වනඅලින්ට පහසුවෙන් ගමන් කිරීමට සැලසීමද මෙහි තවත් පියවරකි. මේ සිල්පර කොටන් අතර වල්අලින්ට ඇවිදීමට අපහසු වීමත් ඔවුන්ගේ කකුල් සිල්පර අතර සිරවීමත් ඇතැම් විට සිදුව තිබෙන බව වාර්තා වී තිබේ. කිලෝමීටර් 20ක පමණ දුරක් මෙසේ කොන්ක්‍රීට් ගල් ඇතිරීමට නියමිතය.
එමෙන්ම හබරණ උප දුම්රිය ස්ථානයේ සිට කන්තලේ දෙසට ගමන් කිරීමේදී දුම්රිය මාර්ගයේ වම් පසට වන්නට පිහිටා ඇති නළ ළිං සම්පූර්ණයෙන්ම වසාදමා, එහි සිට නළ මාර්ගයෙන් දුම්රිය මාර්ග බෝක්කු ඔස්සේ ජලය ලබාගෙන සුදුසු ස්ථානයක ජලය සහිත වළවල් ඉදි කිරීමට කටයුතු යෙදීමද මේ ක්‍රියාමාර්ගයන්ට අයත් වේ. එසේම කන්තලේ දෙසට ගමන් කිරීමේදී හමු වන වන රක්ෂිතය තුළ දුම්රිය මාර්ගයට නුදුරින් නව වැව් 2ක් ඉදි කිරීමත් මෙහි තවත් පියවරකි.
මේ සියලු කටයුතු අධීක්ෂණය පිණිස පසුගිය 1 වැනිදා දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු දුම්රිය නිලධාරීහුද, පොලොන්නරුව වනජීවී කලාපයේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහුද, නැඟෙනහිර දුම්රිය මාර්ගයේ පලුගස්වැව සිට පූනානි දක්වා දුම්රිය ට්‍රොලියකින් නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ. එලෙස සිදු කරන ලද ස්ථානීය ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී මාර්ග දෙපස කැලෑ එළිපෙහෙළි කර ඇති බවත්, වේග සීමා පුවරු යාවත්කාලීන කර ඇති අයුරුත් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් විය.