උඳුවප් පුර පසළොස්වකින් ඇරැඹෙන සිරිපා වන්දනා සමයේ උච්චතම අවස්ථාව එළඹෙන්නේ ‘මැදින්’ පුර පසළොස්වක දින දීය. මෙම වන්දනා සමය වෙසක් පුර පසළොස්වකෙන් නිමාවේ. මෙම කාලයේ මධ්‍ය ලක්ෂය එළඹෙන්නේ මැදින් පුර පසළොස්වක දින වීම එදින සිරිපා වන්දනාවේ වැදගත්ම දිනය වීමට හේතු වන්නට ඇත. එසේම කාලගුණික වශයෙන් සිරිපා වන්දනාවට ඉතාම හිතකර වකවානුව මැදින් පුර පසළොස්වක කේන්ද්‍රකොටගෙන පිහිටයි. සිරිපා වන්දනාවේ යන්නේ බෞද්ධයන් පමණක් නොවේ. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික වැනි සියලු ආගම්වල උදවිය සිරිපා කරුණා කරති. එසේ ශ්‍රීපාද වන්දනාවේ යන්නේ ශ්‍රී පාදය තම තමන්ගේ ආගමික නායකයාගේ පාද ලාංඡනය යැයි පවතින විශ්වාසය නිසාය.
මෙරටට පැමිණෙන විදේශිකයන් බොහෝ දෙනෙක් ද සිරිපා චාරිකාවේ යෙදීමට බොහෝ උනන්දුවක් දක්වති. ඉතිහාසය පුරා මෙරටට වරින්වර පැමිණි විදේශිකයන් බොහෝ දෙනෙක් සිරිපා චාරිකාවෙන් අමන්දානන්දයට පත්ව කරන ලද විස්තරයක් අපේ සාහිත්‍යයට එක්වී තිබේ.
කලක් ලංකාවේ සිරකරුවෙකුව සිටි ‘රොබට් නොක්ස්’ ශ්‍රී පාදය ගැන මෙසේ සඳහන් කොට ඇත. “බුදුන් වහන්සේ සිහිපත් වන ප්‍රධාන ස්ථාන දෙකක් ලංකාවේ ඇත. එකක් කන්දකි. අනෙක ගසකි. අවුරුදු සමයෙන් ලංකා වාසිහු ළමා ළපටින් ද රැගෙන කාණ්ඩ වශයෙන් මේ දොපොළෙන් එක් තැනකට පැමිණ ඔවුන්ගේ ශ්‍රද්ධා භක්තිය දක්වන්නේය. මෙම ශ්‍රද්ධා පර්වතය පිහිටා තිබෙන්නේ කන්දේ නුවරට දකුණු දෙසිනි. ඊට සමනල කන්ද යැයි කියති. ඉහත විස්තර කරන ලද ලෙසින් මේ පර්වතය දිවයිනේ ඉතා උස් කන්දය. බුදු රජාණන් වහන්සේ අහසින් වැඩමකොට මෙහි ස්වකීය පාද ලාංඡනය පිහිටුවා ඇති බව විශ්වාස කරනු ලැබේ. දෙනෝදාහක් දෙනා අවුරුදු පතා මෙහි ගොස් සිරීපාදයට මල් පහන් පුදති. (එදා හෙළදිව)”
‘සින්බෑඩ් ද සේලර්’ නමැති නාවිකයා සිය 6 වෙනි ලෝක සංචාරයේදී ශ්‍රී පාදයට ද ගොස් ඇත. ඔහු එම ගමන පිළිබඳව විස්තර කරන්නේ මෙසේය. “සෙරන්ඩිප් දූපත නිරක්ෂයට පහළින් පිහිටා තිබේ. එහි රාත්‍රිය හා දවාල සමයේ පැය දොළසකින් යුක්තය. උතුරේ සිට දකුණට එහි දිග ලීහ අසූවක් (සැ.240) සහ පළල ලීග තිහක් පමණ වන්නේය. රට හරහා විශාල කඳු පේළියක් හා ගංගා නිම්නයක් ද වෙයි. දින තුනකින් යා හැකි දුර ප්‍රමාණයක සිට මේ මහා කන්ද දිස්වේ. මෙහි වටිනා රතු කැට ඇතුළු ඛනිජ වස්තූන්ද හැම වර්ගයකටම අයත් කුළුබඩු හැදෙන ගස් වර්ගද එමටයි. මම මේ කන්ද නැග්ගෙමි. මට විස්තර කළ නොහැකි ආශ්චර්යමත් දර්ශනවලින් මම වශී විමි” යනුවෙන් ඔහු සඳහන් කොට ඇත. ක්‍රි.ව. 5 වෙනි සියවසේ ලංකාවට පැමිණි චීන ජාතික ‘පාහියන්’ භික්ෂුවද ක්‍රි.ව. 9 වෙනි සියවසේ ලංකාවට ආ ‘ඉබන් බතුතා’ද ශ්‍රී පාදය ගැන සඳහන් කොට තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ සබරගමු දිසාවේ දිසාපති පදවිය දැරූ ‘එම් වේස්’ නම් ඉංග්‍රීසි ජාතිකයාද සිරිපා කන්ද නැඟ ඇත. ඔහු සමනල නැඟ එහි රාත්‍රිය ගතකොට ඇත. එම දිනය 1886 මාර්තු මස 19 වෙනි දිනයයි. එදින මැදින් මස පුර පසළොස්වක දිනයද විය. ඔහු සිය දිනපොතේ සඳහන් කරන පරිදි මෙදින “අරුණෝදයේ හිරු නැඟීම ඉතාම පැහැදිලි විය. එසේම ආලෝකමත්ය. සිරිපා මළුව එදින සැදෑහැවතුන්ගෙන් පිරී පැවැතුණි. ඇත්ත වශයෙන්ම එදින සිටගෙන සිටීමට පවා ඉඩක් නොමැති විය”.
ක්‍රි.ව. 1895 දී ‘ලස්සන ලංකාව’ නමින් පොතක් ලියූ ‘එච්.ඩබ්. කේව්’ මහතාද සිරිපා සිරසේ දර්ශනයන් ගැන විස්තර කොට ඇත්තේ මෙසේය. “කිසිම බාධාවක් නොමැතිව ගොඩ බිම සිට ඈත ක්ෂිතිජයේ මහ මුහුද දක්වා දර්ශනය වන වෙන කන්දක් මෙහි නැත. එම කන්ද වටේ උතුරට සහ නැඟෙනහිරට පිහිටි කන්ද උඩරට රාජධානිය වට කෙරෙන පහත් කඳු වළල්ල මෙතැන සිටින හැම කෙනෙකුටම පෙනේ. අප සිටින තැනින් බටහිර දෙස බලන විට මහා නිම්නයක් පසු කරමින් ඈත එපිටටම ඇහැ දිවෙයි. රිදී රේඛා ඇල්ලූ විල්ලුද ලූ පලස් මෙන් ගංගාවෝ ගලා යති. ඈත ක්ෂිතිජයේ මුහුදු තීරයේ නළියනු පෙනෙන හිරු රැස් දහරා ඉන්දියානු සාගරයේ සීමාව පෙන්නුම් කරයි”.
ශ්‍රී ලංකාව ගැන ග්‍රන්ථ කිහිපයක්ම ලියු ‘ජෝන් ස්ටීල්’ ද සිය ‘වනප්‍රවාහයේ’ දී සිරිපා කන්ද ගැන විස්තර කර ඇත. ඔහු කොළඹ ජී.ඕ.එම්. හෝටලයේ සිටියදී සිරිපා සෙවණැල්ල දැක විස්මයට පත්වූ අයුරු එක් තැනෙක සඳහන් කරන අතර තවත් තැනෙක මෙසේ දක්වයි. “ලංකා කඳුකරයේ මහා කඳු යාය අතර යෝදයෙකු සේ උසට නැඟෙන මහා කන්දක් වේ. මේ මහා කන්ද වටා ගෙතී ඇති ඉතා රසවත් තොරතුරු එක් පොතකට ගොනුකර ගැනීමට නම් භාෂා කීපයකින් ලියැවී ඇති අවුරුදු දෙදහසකටත් වඩා පැරණි සාහිත්‍යයක් හාරා අවුස්සා බැලිය යුතුය”.
ක්‍රි.ව. 1860 දී ප්‍රථම වරට සිරිපා නැඟ එම ගමනින් ලත් අමන්දානන්දයෙන් පසු කීප වරක්ම සිරිපා තරණය කළ බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයෙකු වන ‘විලියම් ස්කින්’ මහතා 1870 දී “ශ්‍රී පාද සමනල ජනප්‍රවාද, පුරාවෘත්ත හා ඓතිහාසික තොරතුරු (ADAMS – PEAK LEGENDARY TRADITIONAL AND HISTORIC NOTICES) මැයෙන් ග්‍රන්ථයක් ලියා ඇත. එම ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවේ ඔහු මෙසේ සඳහන් කර ඇත”. ලංකාවේ ADAMS – PEAK හෙවත් ශ්‍රී පාද කන්ද තරම් ප්‍රසිද්ධියට පත් වෙනත් කන්දක් ලෝකයේ තවත් ඇතැයි කිව නොහැකි තරම්ය. ඉන්දියානු අර්ධද්වීපය ඇතුළු පෙරදිගට පැමිණෙන සංචාරකයින් හා ලේඛකයින් මෙම අසිරිමත් කන්ද පිළිබඳව බොහෝ දේ ලියා ඇතත් කඳු මුදුණේ පිහිටුවා ඇතැයි සැළකෙන පාද ලාංඡනයට බෞද්ධ, හින්දු සහ මහමදිකයින් දක්වන භක්තිය ඒ හා බැදි මිත්‍යා මත ජනප්‍රවාද, එය වන්දනා මාන කිරීම සඳහා කන්ද නඟින දේශීය, විදේශීය අතිවිශාල වන්දනාකරුවන් සංඛ්‍යාව හා සලකා බලන විට ඔවුන් ලියා ඇති දේ අල්ප යැයි හැගේ. ඒ සියල්ල මෙන්ම පාද ලාංඡනය සම්බන්ධයෙන් පුළුල්ව පැතිර පවත්නා මතිමතාන්දරද කලින් කළ විවිධත්වයක් ගෙන ඇත”.
මෙම ග්‍රන්ථයේ මා විසින් සඳහන් කර ඇත්තේ 1860 වර්ෂයේදී පමණ ශ්‍රී පාද කඳු මුදුන නැඟීමෙන් හටගත් කුතුහලය විසින් මෙහෙයවනු ලැබ ඉන් අනතුරුවද වාර කීපයක් කන්ද තරණය කිරීමේදී නිරීක්ෂණ කළ සහ විමසා බලා දැනගත් කරුණු රාශියකි. ‘විලියම් ස්කිත්’ මහතා ඉර සේවය නැරඹූ අයුරු විස්තර කරන්නේ මෙසේය. “අඳුරේ බර සැහැල්ලු වෙමින් සොඳුරු රාත්‍රියේ කෙමෙන් කෙමෙන් ගෙවී යන ලකුණු පහළ විය. හීන් තරුකැට මැකී යද්දී උදා තරුව එක එල්ලේ සැතපුම් 12ක් ඈතින් වූ (අඩි 7871ක් උස) කිරිගල්පොත්ත කන්දට අංශක 20ක් පමණ ඉහලින් දිදුලන්නට විය.
එක එල්ලේ බැලු විට සැතැපුම් 20කට පමණ ඈතින් වු තොටුපොළ කන්දත් පිදුරුතලාගල කන්දත් බොඳවු ඡායාවක් මෙන් අඳුරත් එළියත් අතර දෝලනය වෙද්දී අප නෙත් කෙමෙන් කෙමෙන් අඳුරෙන් එළියට ගත් සූූර්යයා අප වෙත විදහා පෑවේ වසර දහස් ගණනක් තිස්සේ සමනල කන්දට නැඟී දේශීය විදේශීය සංචාරකයන් සහ වන්දනාකරුවන් වශීකරණයෙන් මුසපත් කළ කඳු මිටියාවත් මත පතුරුවා හරින ලද රශ්මි දහරාවයි. එය කලාතුරකින් මිනිස් ඇසකට දැකිය හැකි සිත වශී කරවන දර්ශනයක් වශයෙන් අප සැමගේ සිත් තුළ සදාකල් තැන්පත්ව තිබෙනු නොඅනුමානය”.
පසු කාලීනව සිරිපා අඩවිය වැනූ ඉංග්‍රීසි ලේඛකයෝ බොහෝ වෙති. ඔවුන් අතරින් රත්නපුර දිසාපති පදවිය දැරූ අය කීප දෙනෙක්ම වෙති. එයින්ද 1914 මාර්තු මස 5 වෙනි දින සිරිපා වන්දනාවේ ගිය ආර්.එම්.තේන් මහතාත්, 1911 ජනවාරි 07 වෙනි දින සමනොල නැංගා වූ ජී. කුක්සන් මහතාත් 1929 පෙබරවාරි 28 වන දින සිරිපා නැරැඹීමට ගිය සී.එම් කොලින්ස් මහතාත් ඔවුන්ගේ දිනපොත්වල තබා ඇති සටහන් අතිශයින් සිත් ගන්නා සුළුය.
1950 මැදින් මස පුර
පසළොස්වක් පොහෝ දින සර් ජෝන් කොතලාවල ඇමැතිතුමා විසින් ශ්‍රී පාදස්ථානයේ විදුලි ආලෝකය විවෘත කළ දින එහි ගිය විදේශික කාන්තාවක් වන ‘මාග්‍රට් ග්‍රී පින්ස්’ මහත්මිය එදින සිරිපා මිදුලෙන් බුදුරැස් විහිදෙනු දුටු බව සඳහන් කොට ඇත. ඇය මෙසේ ලියා ඇත. “චන්ද්‍රයා වටකර ගත් චතුර්විධ වර්ණයෙන් යුත් රේඛාවන් හතරක් දක්නට ලැබුණේය. ඒ සමඟම කඳු මුදුනින් ආලෝක ධාරා විහිදෙනවා අපි දුටුවෙමු” යනුවෙනි. මෙලෙසින් නොයෙක් විදේශිකයන් විසින් ද අමන්දානන්දයෙන් විස්තර කර ඇති ශ්‍රී පාදස්ථානය හා ඒ අවට චමත්කාරය සකල බෞද්ධ ජනතාවගේ සිත්හි පහන් සංවේගය දැනවීමට සමත් වී ඇත.
විජේරත්න අතුරුපාන