මීට කාලයකට ප්‍රථම ලංකාව තේ ලොව රජු ලෙස කිරුළු පලඳා සිටියද අද මෙරට තේවලට අත්ව ඇත්තේ සෝචනීය ඉරණමකි. මෙකී ඉරණමින් තේ කර්මාන්තය ගලවා ගැනීමට තේ නිෂ්පාදන පර්යේෂකයකු වන එච්.ජී.එම්. ද ෆොන්සේකා මහතා ඉදිරියට පැමිණ සිටී. ඔහු පවසන්නේ නැවතත් තේ නිෂ්පාදයේ ස්වර්ණමය යුගයක් අපට උදා කරගත හැකි බවයි. ඒ සඳහා තම පර්යේෂණයන් මඟින් ලබාගත් දැනුම නොමිලේ ලබාදීමට හෙතෙම සූදානම්ය. මේ කතාව පැවසීමට ප්‍රථම ලංකාවේ තේ නිෂ්පාදනයේ අතීත සහ වර්තමාන තත්ත්වය සැකැවින් විමසා බැලීම යොග්‍ය වේ.
1824 වර්ෂයේදී එනම්, බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පළමු වතාවට බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් තේ පැළයක් ලංකාවට රැගෙන ආ අතර එය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ රෝපණය කරනු ලැබීය. අනතුරුව වැවිලි භෝගයක් ලෙස 1867දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් විසින් හේවාහැට ලූල්කඳුර වතුයායේ තේ පැළ රෝපණය කරමින් මෙරටට තේ වගාව හඳුන්වා දෙනු ලැබිණි. එලෙස ඇරඹි තේ කර්මාන්තය ලොව තේ කර්මාන්තයේ හිණිපෙත්තටම නැඟ තිබිණි. රටට ඉහළ ඩොලර් ආදායමක් උපයාදුන් තේ කර්මාන්තය වසර 76ක් පුරා මෙරට පාලනය කළ අදූරදර්ශී පාලකයන් ගත් තීන්දු තීරණ නිසා පහළට ඇදවැටිණි. අවශ්‍ය කාලයට පොහොර ලබා නොදීම මෙන්ම බාල පොහොර ගෙන්වීමද ඒ අතර විය.
1972 බලයට පත් සමගි පෙරමුණ ආණ්ඩුව 1972 සිට 1975 දක්වා වතු ජන සතු කිරීම ආරම්භ කළ අතර, එම වතු ක්‍රමයෙන් ශ්‍රී ලංකා රජය යටතට පවරාගෙන ශ්‍රී ලංකා වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන ප්‍රධාන ආයතන දෙකට පවරන ලදි. ඉතිරි තේ ඉඩම් උඩරට සමුපකාර වතු සංවර්ධන මණ්ඩලය යටතට පැවරිණි. මෙහි පාලකයන් බවට පත් වූයේ තේ වගාව ගැන මෙලෝ දැනුමක් නැති දේශපාලකයන්ගේ හිතවතුන්ය.
අනතුරුව 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ද උඩරට සමුපකාර සංවර්ධන මණ්ඩලය අහෝසි කර, එම වතු ද වැවිලි සංස්ථාවට සහ ජනවසමට පවරන ලදි. ජේ.ආර්. සමයේ යම් ආකාරයේ ක්‍රමික පාලනයක් මේ ආයතනවල සිදු වුවද, 1988 ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස මහතා මේ වතු පෞද්ගලික සමාගම් සහ පුද්ගලයන්ට 30 අවුරුදු බදු පදනම මත ලබා දුන්නේය. මෙම අදූරදර්ශී තීරණ හේතුවෙන් මේවායේ පරිපාලනය පිළිබඳ ගැටලු එකලදීම ආරම්භ වීය. මේ සමාගම් සහ පුද්ගලයන් තම ලාභය අරමුණු කරගෙන කටයුතු කළ අතර, වතු සහ කර්මාන්තශාලා නවීකරණය හා ඒවා නිසි පරිදි නඩත්තු කිරීමක් සිදු නොවීය. එසේ වුවත් ඇතැම් තේවතු සමාගම් කිහිපයක් නූතන ලෝකයට ගැළපෙන අයුරින් තේ කම්හල් නවීකරණය කර තේ නිෂ්පාදනය කිරීමට කටයුතු කළේය.
ශ්‍රී ලංකාව දළ වශයෙන් වසරකට තේ කිලෝ මෙට්‍රික්ටොන් මිලියන 320ක් පමණ නිපදවයි. එම තේවලට ලෝකයේ ඉහළම මිලක් හිමි විය. එසේ වුවද, ලෝකයේ හොඳම තේ නිපදවන රට අද ලෝකයේ 4 වැනි ස්ථානයට පත් වී තිබීම ඉතා කනගාටුවට කරුණකි. මේ තත්ත්වය ඇති වීමට, කලින් කලට බලයට පත් වූ රජයන් වගකිව යුතු වේ. එයට හේතුව, තේ වගාව නොසලකා හැරීමයි.
ලොව පිළිගත් අංක එකේ අපනයන නිෂ්පාදනයක් වූ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය අබිබවා චීනය, ඉන්දියාව, කෙන්යාව, ජපානය, වියට්නාමය වැනි රටවල් ඉදිරියට යෑමට පටන් ගෙන තිබේ. ලෝක වෙළෙඳපොළ තුළ තේ නිෂ්පාදය දෙස අවදානය යොමු කිරීමේදී 2022 වසර වන විට අංක එකට පත් වී ඇත්තේ චීනයයි. චීනය විසින් ලෝක වෙළෙඳපොළට 49%ක ප්‍රතිශතයක් තේ අපනයනය කර තිබේ. ඒ වසරේදී ඉන්දියාව 21%ක්ද කෙන්යාව 8%ක්ද, ශ්‍රී ලංකාව 4%ක්ද වශයෙන් තේ අපනයනය කර තිබිණි. ලෝක වෙළෙඳපොළට තේ සපයන සෙසු රටවල් අතර තුර්කිය, වියට්නාමය, ඉන්දුනීසියාව, ජපානය, බංග්ලාදේශය, උගන්ඩාව වැනි රටවල්ද වේ. කනගාටුදායක තත්ත්වය වන්නේ 2013 දී ලෝක වෙළෙඳපොළට 7%ක් තේ සැපයූ ශ්‍රී ලංකාව 2022 වන විට 4% දක්වා පහත බැස තිබීමය.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේදී අමු තේ දලු 75%ක් නිපදවන්නේ කුඩා තේ වතු හිමියන් විසිනි. ඉතිරි 25% නිපදවන්නේ තේ සමාගම් විසිනි. මහා පරිමාණ තේ සමාගම් ප්‍රාදේශීය වතු සමාගම් වශයෙන් සමාගම් 22ක් තිබේ. මෙම තේ නිෂ්පාදනය කෙරෙහි රජය මැදිහත් වීමක් නොකරන අතර, අනෙක් තේ ඉඩම් පාලනය කරන්නේ කුඩා තේ වතු හිමියන්ය.
2022 වන විට කුඩා තේ වතු හිමියන් 418,530ක් සිටි අතර ඔවුන් සතුව තේ හෙක්ටයාර 159,000ක් පමණ පැවතිණි. කුඩා තේ වතු හිමියන්ට සහන සැලසීමට, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ තේ ශක්ති අරමුදලක්ද ක්‍රියාත්මක විය. එසේ වුව අපට මේ කර්මාන්තය නූතන තේ වෙළෙඳපොළට ගැළපෙන පරිදි නවීකරණය කිරීම නොකළ හොත් එයට අත්විය හැකි ඉරණම අතිශය ඛේදජනකය. මේ තත්ත්වයෙන් තේ නිෂ්පාදනය ගලවාගැනීමට තේ පිළිබඳ පර්යේෂකයකු වන එච්.ජී.එම්. ද ෆොන්සේකා ඉදිරියට පැමිණ තිබේ. හෙතෙම සාම්ප්‍රදායික තේ නිෂ්පාදන ක්‍රමය වෙනුවට නිෂ්පාදන පිරිවැය 50%කින් අඩු කළ හැකි නව තේ නිෂ්පාදන තාක්‍ෂණයක් රටට හඳුන්වා දීමට සමත්ව ඇත. හෙතෙම ඒ පිළිබඳව සිළුමිණට පවසා සිටියේ මෙලෙසිනි:
“රටේ සියලු තේ කර්මාන්තශාලා සඳහා මා සොයාගත් නව තාක්‍ෂණය නොමිලේ ලබා දී නැවත තේ කර්මාන්තයේ ස්වර්ණමය යුගයක් ඇති කිරීමට මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබූ පුරවැසියෙක් විදිහට මම කැමැතියි. තේ කියන්නේ ශ්‍රී ලංකාවේ වසර 200ක පමණ ඉතිහාසයක් තිබෙන මෙරටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන කර්මාන්තවලින් එකක්. යුරෝපීය රටවල ඉල්ලුමට සරිලන ආකාරයට වසර 100කට වැඩි කාලයක් මෙරට තේ නිෂ්පාදනය BOP, BOPF, Dust සහ Dust 1 වැනි කුඩා ශ්‍රේණි නිෂ්පාදනය කිරීමට පමණක් සීමා වී තිබුණා. එහෙත් මැදපෙරදිග රටවල ඉල්ලුම සමඟ මේ රටාව වෙනස් වීමට
පටන්ගත්තා. දැන් තේවල පෙනුම කෙරෙහි ලොකු සැලකිල්ලක් දක්වනවා. මැදපෙරදිග වර්ධනය වන ඉල්ලුමත් සමඟ, දේශීය සාම්ප්‍රදායික තේ නිෂ්පාදන ක්‍රමය දැඩි තාක්‍ෂණික මුහුණුවරකට භාජනය කිරීම අත්‍යවශයයි. ලෝක වෙළෙඳපොළෙන් ඉල්ලා සිටින තේ නිෂ්පාදනයට ගැළපෙන තාක්‍ෂණික හුවමාරුව කෙරෙහි මගේ අවධානය යොමු කිරීමෙන් මේ නව තාක්ෂණික ක්‍රමය මා විසින් නිර්මාණය කළා.
“මෙම නව තේ නිෂ්පාදන ක්‍රමය මඟින් සාම්ප්‍රදායික තේ නිෂ්පාදන ක්‍රමයට වඩා අඩු යන්ත්‍රෝපකරණ සහ අඩු මිනිස් ශ්‍රමයක් භාවිත කරමින් කෙටි කාලයක් තුළ උසස් මට්ටමේ තේ නිෂ්පාදනය කළ හැකියි. මේ නව තේ නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිත කරන යන්ත්‍ර ගණන අඩු නිසා තේ නිෂ්පාදනය සඳහා ගත වන කාලයත් අඩුයි. මේ හේතුවෙන් සාම්ප්‍රදායික තේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වැය වන විදුලිය සාපේක්ෂව අඩු වෙනවා. සමස්තයක් වශයෙන් බැලුවාම මෙම නව තාක්ෂණික ක්‍රමය යටතේ සාම්ප්‍රදායික තේ නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිවැයෙන් අඩක් පමණ වැය කරමින් උසස් මට්ටමේ තේ නිෂ්පාදනය කරන්න අපට පුළුවන්.
“ඒ වගේම, මේ නව තාක්ෂණය භාවිතයෙන් තේ නිෂ්පාදනය කරන කොට තේවල ආවේණික ස්වාභාවික රසය, ගුණය, පැහැය සහ සුවඳ ආරක්ෂා වෙනවා. මේ තේ සඳහා සාම්ප්‍රදායික තේවලට වඩා අන්තර්ජාතික වෙළෙඳපොළේ නිසැකවම ඉහළ ඉල්ලුමක් ඇති වෙනවා. මෙමඟින් රටට වැඩි විදේශ විනිමයක් අත් කරගැනීම පමණක් නොවෙයි කර්මාන්ත ශාලාවලට තේ දලු සපයන ගොවියාගේ මිල වැඩි කිරීමටද හැකියාව ලැබෙනවා. තේවල ස්වාභාවික රසය, සුවඳ සහ වර්ණය වැනි ස්වාභාවික ගුණාංග ආරක්ෂා කරන ආකාරයේ මෙවැනි තේ නිෂ්පාදන ක්‍රමයක් රටට හඳුන්වා දෙන්න ලැබීම ගැන මේ රටේ පුරවැසියෙක් විදිහට සතුටු වනවා.”
තේ පර්යේෂණ ආයතනය (TRI) හෝ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැනි ආයතනයක් මඟින් රාජ්‍ය මැදිහත් වීමෙන් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කළ හොත්, තේ කර්මාන්ත ශාලාවලට මේ දැනුම නොමිලේ ලබා දීමට තමන්ට හැකි බවද එමඟින් තේ කර්මාන්තශාලාවල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම මඟින් තේ අපනයන කර්මාන්තයේ නව පුනර්ජීවයක් ළඟා කරගැනීමට හැකි වනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එච්.ජී.එම්. ද ෆොන්සේකා මහතාගේ මේ නව තේ නිෂ්පාදන ක්‍රියාවලිය සැල වීමත් සමඟ තේ අලෙවි මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර සහ තේ කොමසාරිස් මහේෂ් ජයවර්ධන ඉකුත් 3 වැනිදා සිය ආයතන පරිශ්‍රයට ඔහු කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබිණි. එහිදී සභාපතිවරයා විමසා තිබුණේ “මෙපමණ කල් මෙය රට තුළ ක්‍රියාත්මක කරවන්න බැරි වුණේ ඇයි ?” කියාය. එහිදී හෙතෙම පවසා ඇත්තේ තමන් හිටපු රජයන්වල ආයතන ප්‍රධානීන් සමඟ කථිකා කළද කිසිවකු ඔහුට අවස්ථාවක් දීමට හෝ ඇහුම්කන් දීමට හෝ ඉදිරිපත් නොවූ බවයි. මේ සාකච්ඡාවෙන් අනතුරුව මූලික අදියරේදී තේ නිෂ්පාදන කර්මාන්තශාලා 5ක් ඔහුගේ අධීක්ෂණය යටතට පත් කිරීමට පියවර ගෙන තිබිණි
මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම්වරයකු ලෙස කටයුතු කරන එන්.එස්. වනසිංහ, වැවිලි කාර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර ලේකම් තරංගනී වික්‍රමසිංහ, තේ පර්යේෂණායතනයේ ආචාර්ය විමලදාස සහ ඇල්පිටිය වතු සාමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් ලැබුණු සහයෝගය සහ උපදෙස් බෙහෙවින් උපකාරි වූ බවත්, ඔවුන්ට සිය ගෞරව ස්තුතිය පුද කරන බවත් ෆොන්සේකා අප සමඟ පැවසීය.

තේ කොමසාරිස් මහේෂ් ජයවර්ධන, තේ අලෙවි මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර මහත්වරුන් ෆොන්සේකා මහතා හමු වූ අවස්ථාව
ඡායාරූප – සුදත් මලවීර