“මේක ඉංග්ලිෂ්. ඉංග්‍රීසි වාහන කඩේක බලන්න.”
මෙලෙස මා හරවා යවනු ලැබූයේ අටවැනි වතාවටය. මෝටර් රථයක ‘ඉග්නීෂන් කොයිල්’ එකක් සොයමින් මම පංචිකාවත්තේ ඇවිදිමින් සිටියෙමි.
මේ අසූව දශකයේ අවසානයයි. ලංකාවට ජපන් වාහන වැසි වසින්න පටන්ගෙන තිබිණ. මේ අනුව මරදාන, පංචිකාවත්තේ අමතර කොටස් වෙළෙන්දෝ බහුතරය ජපන් වාහනවලට මාරු වී සිටියහ.
වාහන උණ මට වැලඳුණේ උසස් පෙළ කාලයේදීය. බස් ලයිෂන් එකක් ඕනෑ යැයි තාත්තාට ඇවිටිලි කළේ උසස් පෙළ අවසන් වූ වහාමය.
“උඹේ කල්පනාව බස් ඩ්‍රැයිවර් කෙනෙක් වෙන්නද?” තාත්තා මගේ ඇඟට කඩාපැන්නේය. එහෙත්, අවුරුදු 21 පනින විටම තාත්තාගේ අනුග්‍රහයෙන් මට ‘ලයිෂන්’ එක ලැබුණේය.
ඊළඟ ප්‍රශ්නය වාහනයක්ය. 12 ශ්‍රී 13 ශ්‍රී වාහන තිබුණේ හීනවලය. තාත්තාගේ අතේ තිබුණු මුදලට අපට ගන්න පුළුවන් වුණේ 7 ශ්‍රී ෆෝඩ් කෝටිනාවක්ය. අඩුම ගණනේ මාසයකට දෙවතාවක්වත් ඒකෙ මොකක් හරි කැඩෙනවාය. ලෙඩ ‘චවලට්’ තල්ලු ‘පෝඩ්’ කියා යාළුවෝ විහිළු කළහ. නුවර පාර, හයේ කණුවේ රාජාගේ ගරාජය හමු වුණේ මේ කාලයේය. රාජා සහ ඔහුගේ පියා ඉංග්‍රීසි වාහන කප්පිත්තෝය.
ගැරේජයට ගිය කිසිම වෙලාවක පැත්තකට වී බලා සිටියේ නැත. මම බාසුන්නැහේට උදවු කළෙමි. ඒ අනුව කාර් එකේ පොඩි පොඩි ලෙඩ ගෙදරදීම හදාගන්නට උගත්තෙමි. කාබියුරේටරය තුළ ඇති නීඩ්ල් සිදුර තුළින් හීනි තඹ කම්බියක් යවා, පෙට්‍රල් පිරිමසා ගැනීමේ ක්‍රමය ඉගෙනගත්තේ මේ ගරාජයෙනි. තාත්තලා සමඟ දුර ගමන් ගිය පසු, මගේ ගමන්වලට පෙට්‍රල් ලීටරයක් දෙකක් ඉතිරි කර ගත්තේ ඒ ක්‍රමයෙනි. එහෙත් ඒ මෝඩ ක්‍රියාව අත්හැරියේ කඩුගන්නාව කන්ද තරණය කළ අවස්ථාවේදීය. අත් ට්‍රැක්ටර් රියැදුරෝද එදා මා පසු කර ගියහ.
එකල කොයිල් ඩිස්ට්‍රිබියුටර් වාහනවල ඕනෑම ඇණමුරිච්චියක් කරකවන්නට මට පුළුවන. නූතන වාහනවල නම් මට කරකැවිය හැක්කේ සුක්කානම පමණි. කෙසේ වෙතත් පසු කලෙක ස්වාධීන රූපවාහිනියේ වාහන අලුත්වැඩියා අංගණය නිර්මාණය කිරීමට මුල් වූයේද මගේ මේ ගරාජ සම්බන්ධය යැයි සිතමි.
අපගේ රථයේ ඉග්නීෂ්න් කොයිල් එක රත් වෙයි. එබඳු අවස්ථාවලදී මෝටර් රථය පණ ගැන්විය නොහැකිය. කළ යුතු වන්නේ තෙත රෙදි කඩක් කොයිලය මත තබමින් සිසිල් කර ගැනීමයි. මේ සඳහා අවශ්‍ය ජලය සහ ඝනකම රෙදි කැබැල්ලක් මෝටර් රථයේ හැමවිටම තිබේ. එහෙත් දිනක්, “ඔන්න ඕක හරියට හදාගනින්” කියා තාත්තා මට රුපියල් පන්සීයක් දුන්නේය.
“ඔරිජිනල් එක දාන්න ගියොත් බර ගාණක් යනවා. හරියන ජපන් ඒවා තියෙනවා පංචිකාවත්තෙ පොඩ්ඩක් බලන්න.” රාජා කිවුවොත් හරියටම හරිය. මේ සඳහා ගැළපෙන ජපන් කොයිල් එකක් තිබිය යුතුමය. මා උත්සාහය අත්හැරියේ නැත.
අමතර කොටස් වෙළෙඳසල්වලදී බාස්වරු හැසිරෙන්නේ අමුතු තාලයකටය. එබඳු හැසිරීමකින් මිල අඩු කර ගත හැකි බව ඔවුහු කියති. මගේ අත්වලද ‘මජං’ ටිකක් ගෑවී තිබුණේය. මමද බාස්ලා අනුකරණය කරමින් කඩෙන් කඩයට ඇවිදිමින් සිටියෙමි. වැඩි කලඑළියක් නැති අඳුරු වෙළෙඳසලක තිබී කොයිල් එකක් හමුවිය. මම අනුකාරක විශේෂඥ බැල්ම ඒ මත හෙළුවෙමි. දෙකම එක වාගේය. නිසැකවම මෙය නිවැරදි විය යුතුය.
“550ක් දෙන්න.”
“ඕන නම් තුන්සිය පනහක් දෙන්නම්.” මම ආපසු හැරුණෙමි.
“හරි. දෙන්නකො.” ඔහු හිස සැලීය. මම එයද රැගෙන සංඝරාජ වටරවුම අසලින් නුවර පාරේ බස් රථයක එල්ලුණෙමි. ගරාජයේදී මම එය තනිවම මෝටර් රථයට සවිකර ගත්තෙමි. රථය පණගැන්වුණේ නැත. ස්වල්ප වේලාවකින්, රාජා පැමිණ කොයිලය දෙස උපහාසාත්මක බැල්මක් හෙළීය.
“රෝද හතර කැරකෙවුවට මදි මහත්තයෝ, ඕගොල්ලො අහුවෙනවනෙ කපටින්ට. මේක මේ පරණ කොයිල් එකක් හොඳට පොලිෂ් කරල.”
මගේ අඥාන විශේෂඥ හැසිරීම පිළිබඳ මටම ලජ්ජා සිතිණි. දැන් ඉතින් මේ ගිනි මද්දහනේ, කොයිලයද රැගෙන ආපසු පංචිකාවත්තට යා යුතුය. පණ්ඩිතකම නිසා බිලක් ගත්තේද නැත.
අයිතිකරු මෙය මාරු කරන්න බෑ කිවුවොත්? මම උභතෝකෝටිකයක සිර වුණෙමි. ගමනාන්තයට යන තුරුම මම කඩහිමියා සමඟ මනසින් දබර කර ගත්තෙමි. මනසින් පොලීසියටද ගියෙමි. අදාළ වෙළෙඳසල සොයාගත්තේද මහත් අසීරුවකිනි. එහි සිටියේ ගැටවරයෙකි.
හිමිකරු හොඳින් දන්නා බව පෙන්වමින්, මම කොයිලය කවුන්ටරය මත තැබුවෙමි.
“කෝ…?”
“කෑම කනවා…” ගැටවරයා අහිංසක ලෙස සිනාසුණේය.
හිමිකරුවා ලී රාක්ක අතරින් මතු විය. ඔහුගේ එක අතක ඉඳුල්ය.
“ආ… මහත්තයා…! ඒක වැඩ කරන්නේ නෑ නේද?”
ඔහු ඇසූ ප්‍රශ්නයෙන් මම අන්දමන්ද වීමි.
“වැඩ කරන්නෙ නෑ කියල දන්නව නම් ඇයි මේක මට දුන්නේ?” ගණන් ගන්න එපා මහත්තයා, ඔයා තුන්වෙනියා.”
“ඒක වැරදි වැඩක් නෙ.”
“මොනා කරන්නද මහත්තයා? අපෙත් රෝද කැරකෙන්න එපායැ. සමහර මහත්තුරු මේවා රිටන් ගේන්නේ නෑ. එහෙම වුණාම අපි ගොඩ.”
ඔහු වමතින් කොයිලය අතට ගත්තේය.
“මල්ලි, මහත්තයට හොඳ කොයිල් එකක් දීපන්.”
ඔහු යළි ඔහුගේ කෑම පිඟාන වෙත නොපෙනී ගියේය.
“ඔයාගේ රෝද කැරකෙයි. මගේ රෝද තමයි හිරවෙන්නේ.”
මම උස් හඬින් කිවුවෙමි. ඔහුට එය ඇසුණාදැයි මම නොදනිමි.
මේ අයගේ රෝද තාමත් කැරකෙන්නේ අසූ ගණන්වල කැරකුණා වගේමය.