මෙරට අපනයන සම්බන්ධයෙන් රජයේ සියලු කාර්යයන් සිදු කරන්නා වූ මෙන්ම පෞද්ගලික අංශයේ අපනයන දිරි ගැන්වීමටත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු අපනයන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හා උපදෙස් දීමට මඟ පෙන්වන ආයතනය වන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ මංගල විජේසිංහ ‘සිළුමිණ’ සමඟ සිදු කරන ලද සංවාදයක් ඇසුරෙන් මේ ලිපිය සකස් කෙරිණි.
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන සංවර්ධනය හා ප්‍රවර්ධනය කෙරෙහි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. 1979 අංක 40 දරන පනතින් ස්ථාපිත අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන පරමාර්ය ශ්‍රී ලංකාවෙන් සිදු කරනු ලබන අපනයන සම්බන්ධයෙන් මඟ පෙන්වීම හා ඊට අදාළ දැනුම දීමත් ඊට අදාළ නියාමන කටයුතු සිදු කිරීමත්ය. විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීම මෙහිදී සිදු කෙරේ.
මෙරට අපනයන ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වෙන් කර ඇත. ඒ අපනයන භාණ්ඩ හා අපනයන සේවාවන්ය. අපනයන භාණ්ඩ යටතේ ප්‍රධාන වශයෙන්ම ඇඟලුම්, තේ, රබර් හා පොල් නිෂ්පාන ඇතුළත්ය. එමෙන්ම, පසුගිය කාලයේ ඉලෙක්ට්‍රික් හා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මෙන්ම සැකසූ හා විවිධාංගීකරණය කළ ආහාර, සුරතල් මසුන් ඇතුළු නවීන අපනයන භාණ්ඩ රැසක් එකතුව ඇත.
අපනයන සේවා අතර ප්‍රධාන වන්නේ තොරතුරු තාක්ෂණය, ඉදිකිරීම්, ප්‍රවාහන සැපයුම් යනාදියයි.
පසුගිය වසරේ පමණක් භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකන් ඩොලර් බිලියන 16.2ක් මෙරට ආර්ථිකයට ලබාදී ඇත. එහිදී භාණ්ඩ අපනයනයෙන් අමෙරිකන් ඩොලර් බිලියන 12.7ක හා සේවා අපනනයනයෙන් අමෙරිකන් ඩොලර් බිලියන 3.5ක ආදායමක් ලැබී ඇත.
මෙරට අපනයනයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් – එනම්: 40%ක් – අපනයනය කෙරෙන්නේ යුරෝපා රටවලටය. එසේම 25%ක් පමණ භාණ්ඩ හා සේවා අපනයනය කෙරෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයටය. මේ වන විට ආසියාව ඇතුළු නව අපනයන රාජ්‍යයන් කෙරෙහි අවධානය යොමු කර, ඒ උදෙසා අවශ්‍ය පියවර සකසමින් තිබේ. මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 19.6%ක් සපයන්නේ අපනයනය කරන ඇඟලුම්වලින් බවත් මෙහිදී පෙන්වා දිය යුතුය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය වී ඇත්තේ වසර 2030 වන විට ඒ ප්‍රතිශතය 25% දක්වා නංවා ගැනීමයි.
මෙරට අපනයන 2023 වසරට සාපෙක්ෂව 2024 වසරේදී 6%ක වැඩි වීමක් පෙන්නුම් කර තිබේ. ඒ ප්‍රතිශතය 2025 අවසන් වන විට පසුගිය වසරට සාපේක්ෂව 15%කින් පමණ වර්ධනය කරගැනීම ප්‍රධාන අපේක්ෂාව වී තිබේ. එය අසීරු කාර්යයක් වුවත්, අපනයන සංවර්ධන මණ්ඩලය කෙසේ හෝ ඒ ඉලක්කය කරා යෑමට අවශ්‍ය පියවර ක්‍රමයෙන් ගනිමින් සිටී. විශේෂයෙන්ම පසුගිය වසර 10ක කාලය තුළ අපනයන වැඩි වීම කෙරෙහි අවධානය යොමු කළ හොත් අපට පෙනී යන්නේ වසර 10ක කාලයක් තුළ අපනයන වැඩි වී ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකින් බවයි.
උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ: නම් 2015 වසරේ අපනයන ආදායම අමෙරිකන් ඩොලර් බිලියන 13.7කි. පසුගිය වසරේ එය අමෙරිකන් ඩොලර් බිලියන 16.2කි. එවන් තත්ත්වයක් මත මේ වසරේ 15%කින් අපනයන වැඩි කර ගැනීම යනු එක් වසරක් තුළ අමෙරිකන් ඩොලර් බිලියන 3කට ආසන්න ප්‍රමාණයකින් අපනයන වැඩි කර ගැනීමය.
‘ඒ සඳහා අවශ්‍ය ඉලක්ක මොනවාද?’ යන්න කෙරෙහි අවධානය යොමු කරමු. මේ අභියෝගයන්ට මුහුණදීම වෙනුවෙන් මේ වන විට ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඩොලර් බිලියන 5.5 දක්වා ඉහළ නංවාගැනීමටත්, රබර් අපනයන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමටත්, තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.5ක් උපයාගැනීමටත් මේ වන විට සැලසුම් සකස් කර තිබේ.
එමෙන්ම මේ වන විටත් අමෙරිකන් ඩොලර් මිලියන 450ක් ආදායම් උත්පාදනය කරන ඉලෙක්ට්‍රික් හා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 1 දක්වා ආදායම වැඩි කර ගැනීමත් අදාළ සැලසුම් අතර වේ. එසේම මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් මේ වන විටද උපයන අමෙරිකන් ඩොලර් මිලියන 450ක ආදායම ඩොලර් මිලියන 800 දක්වා නංවාගැනීමේ සැලසුම්ද සකස් කෙරෙනු ඇත. එසේම ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති කාබනික ආහාර අලෙවියෙන්ද ඩොලර් මිලියන 500ක් ඉක්මවන ආදායමක් උපයාගැනීමේ සැලසුමක් තිබේ.
තොරතුරු තාක්ෂණික සේවාවන්ගෙන් ඩොලර් මිලියන 1,800ක්, ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 500ක්, ප්‍රවාහන හා සැපයුම් ඔස්සේ ඩොලර් මිලියන 2,300ක් වැනි ඉලක්කගත ආදායම් හරහා ගමන් කළ හොත් මේ වසර අවසන් වන විට අපට අපේක්ෂිත ඉලක්කය පසු කර යෑමට හැකි වනු ඇත.
ජනවාරි හා පෙබරවාරි මාස දෙක ඇතුළත මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1,500ක් බවට පත්ව තිබේ. පළමු කාර්තුවේදී අපනයන ආදායම 10%කින් පමණ වැඩි කර ගැනීමටත්, දෙවැනි කාර්තුවේදී එය 12% දක්වා වැඩි කිරීමටත් තුන්වැනි කාර්තුව අවසන් වන විට අපේක්ෂිත ඉලක්කය කරා යෑමත් අරමුණ වී තිබේ. මෙහිදී ඇත්තෙන්ම අපනයනකරුවන්ට ප්‍රධාන වශයෙන් බලපාන ගැටලු කෙරෙහි අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම ඇතැම් අනුමැති ගැන්මට ගත වන දීර්ඝ කාලය අවම කරගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. ඒ උදෙසා ප්‍රධාන කාර්යාලයට අමතරව ගාල්ල, මහනුවර, කුරුණෑගල හා යාපනයේ ප්‍රාදේශීය කාර්යාල 4ක් සථාපිත කර ඇත.
හැකි තරම් ආයෝජකයන් දිරිමත් කර, ඔවුන් අපනයනකරුවන් බවට පත් කිරීම අපනයන සංවර්ධන මණ්ඩලයේ අරමුණ වී ඇත. අපනයන ආර්ථිකයක් මත මෙරට සංවර්ධන කටයුතු සිදු කළ යුතු හෙයින් අපනයනකරුවන් වැඩි වශයෙන් බිහිකිරීම අරමුණ වී ඇත.
ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් අපනයනකරුවන් ලෙස දිරිමත් කිරීම මෙරට සංවර්ධනයේ තවත් විශේෂ පැතිකඩක් වන්නේය. විශේෂයෙන්ම ඇතැම් සුවිශේෂ නිෂ්පාදන හරහා විශාල ආදායමක් උපයා ගත හැකි වුවත් එම නිෂ්පාදන වෙළෙඳපොළට නොපැමිණීමෙන් අපට උපයාගත හැකි විශාල ආදායමක් නොලැබී යනු ඇත.
මේ තත්ත්වය නිසා අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු හඳුනාගැනීම පිණිස සෑම කාර්තුවකටම වරක් අමාත්‍යාංශ කිහිපයක ඇමැතිවරුන් හා ලේකම්වරුන් හා එක්ව විශේෂිත හමුවක් පවත්වා අදාළ ගැටලු සම්බන්ධයෙන් නිසි විසඳුම් දීමට කටයුතු කෙරෙනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ අදාළ ගැටලු ගැන කල් ඇතිවම අදාළ අමාත්‍යාංශ වෙත දැනුවත් කර තිබීමයි.
විශේෂයෙන්ම විදුලි බිල වැඩි වීම නිසා නිෂ්පාදන පිරිවැය වැඩි වී තිබුණු අතර, රජය විසින් විදුලි බිල අඩු කිරීමෙන් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට හැකි වීමෙන් අපනයන නිෂ්පාදන කටයුතු පහසු විය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ
සභාපති හා
කළමනාකරණ අධ්‍යක්ෂ
මංගල විජේසිංහ
ජාතික ආදායමෙන් 52%ක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගෙන් හිමිවන නමුත් ඔවුන්ගෙන් අපනයන දායකත්වයට හිමි වන්නේ 10%ක දායකත්වයක් පමණකි. ඇතැම් අමාත්‍යාංශවල ගැටලු වසර 10ක් පමණ නිරාකරණය නොවී පවතින අතර, එවන් ගැටලු උදෙසා කඩිනමින් විසඳුම් දීමට මේ වන විටත් කටයුතු කර ඇත. මෙවන් කටයුතු අපනයන කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරනු ඇත.
මෙවන් ගැටලු නිරාකරණය කර ගනු පිණිස වසර 28ක් තිස්සේ අඩපණව තිබුණු අපනයන සංවර්ධන අමාත්‍ය සභාව මේ වන විට යළි පණගන්වා ආරම්භ කර ඇත. එය 1992 වසරේ ආරම්භ කළද අපනයන කටයුතු ගැන කථිකා කිරීම උදෙසා එය රැස්ව නොතිබිණි. පසුව 2020 වසරේ යළිත් එය ආරම්භ කළද එහිදී එය කිසිදු ආකාරයකින් නිසි ලෙස පණ ගන්වා නැත.
ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යාංශ 10ක පමණ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක මේ සභාව හරහා අපනයන කටයුතු සම්බන්ධ පූර්ණ අධීක්ෂණය කළ යුතුය. එනිසා ඉදිරියේදී වැට් බද්ද ආපසු ගෙවිය හැකි කාර්යාල ගුවන්තොටුපොළ ස්ථාපිත කිරීමද සිදු කෙරෙනු ඇත. ඒ හරහා අපනයනකරුවන්ටත් විදේශිකයන්ටත් සහන සැලසෙනු ඇත.
අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන අනුමැති ගැනීමට ආයතන රැසකට ගොස් දින ගණනාවක් රස්තියාදු වීමට සිදුවීම වෙනුවට මාර්ගගත ක්‍රමය ඔස්සේ කඩිනමින් එක් ස්ථානයකින් අනුමැතිය ගැනීමට කටයුතු සකස් කෙරෙනු ඇත. එබැවින් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව වසරකට තුන් වතාවක් රැස් වී අදාළ විසඳුම් දීමට කටයුතු කරනු ඇත. ඒ අනුව පසුගිය ජනවාරි මස එම සභාව රැස් වූ අතර, මීළඟ හමුව මැයි මාසයේදීත් පසුව ඔක්තෝබර් මාසයේදීත් හමුවනු ඇත.
මේ වන විට රටේ ඇතිව තිබෙන දේශපාලන ස්ථාවරත්වය ගැන බොහෝ ආයෝජකයන් තෘප්තිමත් වී ඇති බවක්ද පෙනේ. ආයෝජකයකු අපනයනය පිණිස ආයෝජනය කරන්නේ ඒ ආයෝජනයට සුරක්ෂාවක් ඇත් නම් පමණි. විශේෂයෙන්ම, මෙරට දූෂණ විරෝධි පනත ක්‍රියාත්මක වීම මෙන්ම මෙරට ආර්ථික කටයුතු ඇතුළු සමස්ත රාජ්‍ය කටයුතු විනිවිද භාවයෙන් යුතුව සිදු වීම ගැන සතුටට පත් වන බව ආයෝජකයන් විසින් මේ වන විට පසක් කර ඇත. එය ඇත්තෙන්ම අප රටට විශාල පිටිවහලක් වනු ඇත.
පසුගිය මාස දෙකක කාලය තුළ අපනයන ආදායම ලෙස ඩොලර් මිලියන 1,500ක් ලැබී ඇත්තා සේම විදේශ ප්‍රේෂණද ඩොලර් මිලියන 550ක් හිමිව තිබේ. එමෙන්ම සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 350ක ආදායමක් හිමිව ඇත. ඒ අනුව ඩොලර් මිලියන 2,350ක පමණ ආර්ථිකයක් එසේ රට තුළ සැරිසැරීම සිදු වන අතර, එය මාසිකව කාර්තු වශයෙන් වාර්ෂික වශයෙන් ඉහළ නඟිමින් අපට ආදායම් හිමිව ඇත. එසේම අමෙරිකන් ඩොලරය මේ වන විට රුපියල් 290ත් 299ත් අතර ස්ථාවර ලෙස පැවතීමත් අපනයනකරුවන් දිරිමත් කිරීමට හේතු වී තිබේ.
එමෙන්ම මේ වන විට බැංකු පොලිය 10%කට වඩා අඩු අනුපාතයකට තිබීමද සුභවාදි කරුණක් බවට පත්ව ඇත. අපනයනකරුවන් මෙන්ම ව්‍යවසායකයන් නිරතුරුවම බලාපොරොත්තු වන කරුණක් වන්නේ කඩිනමින් තම කාර්යයන් සිදු කර ගැනීමයි. එමෙන්ම ඒ සඳහා අන්තර්ජාලයෙන් සිදු කරන්නා වූ වූ කාර්යයන් ඔවුන්ට අවශ්‍ය වන්නේය. ඒ උදෙසා ඩිජිටල්කරණය මෙහිලා ඉතා වැදගත් වේ. රජය විසින් එහි ආරම්භයක් ලෙස gov.pay හඳුන්වා දීමද මෙහිලා පැසසුම් කටයුතුය. විශේෂයෙන්ම මෙහිලා කඩිනමින්ම ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා රේගුව යන ආයතන 3 හෝ ඉතා ඉක්මනින් මාර්ගගත ක්‍රමයට සම්බන්ධිකරණය කිරීමට සැලසුම් කෙරනු ඇත.
එසේම අපනයනකරුවන්ට කිසිදු අපහසුතාවකින් තොරව තම අපනයන ගුවන්තොටුපොළ හරහා යැවීමටද මේ වන විට සැලැස්ම සකස් කර ඇත. විශේෂයෙන්ම පසුගිය කාලයේ අපනයන මිනිස් ශ්‍රමයෙන් පරීක්ෂා කිරීම වෙනුවට අන්තර්ජාතිකව පිළිගත් ස්කෑන් පරීක්ෂණ හරහා සිදු කිරීම මේ වන විට සිදු කෙරේ.
අපනයන සංවර්ධන මණ්ඩලය ඉලක්ක කරගෙන ඇත්තේ ඉදිරි වසර 5ක පමණ කාලයේදී අපනයන ආදායම අමෙරිකන් ඩොලර් බිලියන 36 දක්වා නංවාගැනීමටය. ඒ උදෙසා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය නොඩුව ලැබිය යුතුය. එමෙන්ම මේ වන විට විදේශ තානාපතිවරුන් හමු වී මෙරට අපනයන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද කටයුතු යොදා ඇත. එහි විශේෂ සාකච්ඡාවක් හෙට (7) සඳුදා සිදු කෙරේ.
අපනයනකරුවන් නිරතුරුවම අභියෝග භාර ගැනීමට කැමති අය වුවත් ඒ උදෙසා අවශ්‍ය ආයතනවල සහාය කඩිනමින් හිමි විය යුතුය. ඒ උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුත කරමින් සිටී. එහිදී ඇතැම් අලස නිලධාරීන්ට යම් යම් ගැටලුවලට පවා මුහුණ දේනනට සිදුවනු ඇත. එහෙත් සමස්ත රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පෙනී සිටී.
අපනයන සංවර්ධන මණ්ඩලයේ අපේක්ෂාව වන්නේ වසර 2028 වන විට අපනයන ආදායම මෙරට ජාතික ආදායමෙන් 25%ක් සපුරාගත යුතු බවයි.
අපනයනකරුවන් වැඩියෙන් බිහි කිරීම උදෙසා මෙරට අධ්‍යාපනයද සැකසිය යුතු වන්නේය. මේ වන විට පෞද්ගලික විශ්වවිදයාලවලින් නම් අපනයන ව්‍යවසායකත්වට සිසු මනස යොමු කර ඇතත්, රාජ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවමත් දක්නට ඇත්තේ පැරණි රජයේ රැකියාවක් ඉලක්ක කර ගත් සංකල්පයන්ය. එබැවින් මෙරට අධ්‍යාපනය ක්ෂේත්‍රයද ඉදිරි පරපුරට සුදුසු ලෙස සැකසිය යුතුය. විදෙස්ගත වනවාට වඩා මෙරට සිටම විදෙස්
ගනුදෙනු හැසිරවීමට කටයුතු කරන්නේ නම්, එය රටටද මහත් සේවාවක් වන්නේය. එහිදී මෙරට කොස් කොළය, පොල් කටුව පවා විදේශයන්ට අලෙවි කිරීමට අපට හැකියාව ඇති බව අප අමතක නොකළ යුතුය.
සේයාරුව – සුදත් නිශාන්ත