Home » පාලකයා අසමත් නම් විරුද්ධව කැරලි ගහන්න ජනතාවට ශුද්ධ වූ අයිතියක් තියෙනවා

පාලකයා අසමත් නම් විරුද්ධව කැරලි ගහන්න ජනතාවට ශුද්ධ වූ අයිතියක් තියෙනවා

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment
උදෙනි සමන් කුමාර

1971 මාර්තු මාසයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රෝහණ විජේවීර විශේෂ රැඳවුම් නියෝග යටතේ යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියේය. 1971 ජූනි මස 6 වැනිදා කොළඹ සිට යාපනය බන්ධනාගාරය වෙත ගිය රහස් පොලීසියේ නිලධාරීහු රෝහණ විජේවීරගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළහ. එහිදී පොලීසිය විසින් අසන ලද ප්‍රශ්න සහ විජේවීර ඒවාට දුන් පිළිතුරු ඇතුළත් දුර්ලභ ලේඛනයක් සිළුමිණ පාඨකයන් වෙත මෙසේ ඉදිරිපත් කරමු.

විජේවීර ඇයි අලුතෙන් දේශපාලන පක්ෂයක් හදන්න තීරණය කළේ?

1965 ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ ඉන්දැද්දිමයි අපි පක්ෂය හදන තීරණයට ආවේ.

අලුත් පක්ෂයක් ගොඩනඟන්න ඕනෙයි කියලා, ඔය පන්ති පහක් පිළියෙල කරලා සම්පූර්ණ වෙන කොට කොයි කාලේ විතර වෙන්න ඇද්ද?

පන්ති පහ හදන්නත් පරිණාමයක් තියෙනවා. එවලූෂන් එකක්. ඉස්සරලාම අදහස් පිළිඅරගෙන කවුරුත් එකට එකතු වෙලා සාකච්ඡා කරලා මෙන්න මේ විදිහට මේක කරන්න ඕනෑ කියලා තීරණය කළා.

මුලදී පන්ති පහක් හදන්න තීරණයක් තිබුණේ නැද්ද?

චීන පිලත් එක්ක අපට තිබුණු එක් ප්‍රශ්නයක් තමයි ජනතාවට තේරෙන භාෂාවෙන් මාක්ස්වාදය ඉදිරිපත් කරන්නෙ නෑ කියන එක. ඊළඟට ගොවි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව වැරදි ආකල්ප දැරීම, ඉන්දියානු වතු කම්කරුවන් පිළිබඳ ප්‍රශ්නයේදී ඒගොල්ලෝ වැරදි ස්ථාවර ගැනීම. ඊළඟට කම්කරු පන්තිය පිළිබඳව ට්‍රේඩ් යූනියන් පොලිටික්ස් වගේ කාරණා.

දේශපාලන පන්ති පටන් ගත්තෙ හැට හතේදීද?

මෙහෙමයි: මාක්ස් ලෙනින්වාදි පක්ෂයක් හදන්න නම් මාක්ස් ලෙනින්වාදීන් ඉන්න ඕනෑ. එහෙනම් ඉස්සරලාම මාක්ස්වාදීන් හදන්න ඕනෑ. ධනේශ්වර ප්‍රතිසංස්කරණවාදී මතවලට විරුද්ධව මාක්ස්වාදී මතය තහවුරු කරන්න ඕනෑ. ඒ කියන්නේ අයිඩියලොජිකල් ස්ට්‍රගල් එකක් කරන්න ඕනෑ. නැත්නම් අපිටත් තිබුණා ෂන්ගෙන් එළියට ඇවිල්ලා තරුණ සමිති හදන්න; පක්ෂ කණ්ඩායමක් හදන්න. හැබැයි හදන මිනිහා මාක්ස්වාදය දන්නේ නෑ; දේශපාලන පක්ෂයක් කියන්නේ මොකක්ද කියලා අඳුනන්නේ නෑ. මාක්ස්වාදය පිළිබඳ අවබෝධයක් දුන්නහම තමයි මාක්ස් පැහැදිලි කරපු විදිහට මැටීරියල් ෆෝස් එකක් වෙන්නේ.

විජේවීර කියන්නේ ඔය සංවිධානය පක්ෂයක් නෙමෙයිද?

ඒ කාලේ පක්ෂයක් තිබුණේ නෑ; කණ්ඩායමක් හැටියට වැඩ කළේ: අදහස් ව්‍යාප්ත කරන කණ්ඩායමක්. අපි අතරේ හුඟක් තර්ක තිබුණා. අපි ජාත්‍යන්තර කරුණු අධ්‍යයනය කළා. දෙවැනි ලෝක යුද්ධයෙදි පැසිස්ට්වාදීන් ඇල්බේනියාවට පහර දෙන කොට ඇල්බේනියාවේ කොමියුනිස්ට් පක්ෂයක් තිබුණේ නෑ. හරියට අපේ රටේ වගේ. අන්වර් හෝජා ප්‍රංශයේ ඉඳන් ඇල්බේනියාවට ඇවිත් හිටියා ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් හැටියට. එයා කුඩා මාක්ස්වාදී කණ්ඩායමක් ගොඩනඟලා තිබුණා. පැසිස්ට්වාදින් රට ආක්‍රමණය කළාම කොමියුනිස්ට් පක්ෂ නායකයෝ එංගලන්තයට පැනලා ගියා. රට අතරමං වුණා. අන්වර් හෝජා අර කුඩා කණ්ඩායම එකතු කරලා මාක්ස්වාදී පක්ෂයක් හදලා, ජනතාව සංවිධානය කරලා, පැසිස්ට්වාදයට විරුද්ධ සටනට නායකත්වය දුන්නා. ඔහු ඇල්බේනියානු කොමියුනිස්ට් පක්ෂය නොහැදුවා නම් ඇල්බේනියාව නිදහස් රාජ්‍යයක් වන්නේ නෑ.

අපට දැනගන්න අවශ්‍ය තමුන් පක්ෂය හැදුවේ කවද්ද කියලා?

අපි දිගින් දිගටම වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කළා. යූඇන්පී ආණ්ඩුව තිබුණු අවුරුදු පහේ දේශපාලනය ගැන වගේම වාමාංශික ව්‍යාපාරයේ වැරදි ගැනත් කතා කළා. වෘත්තීය සමිති දේශපාලනය ගැන කතා කළා. ඊළඟට නිදහස පිළිබඳ අපි දරන මතය මොකක්ද කියන ප්‍රශ්නය ආවා. ලංකාවේ තියෙන්නේ අර්ධ යටත්විජිත අර්ධ රදල සමාජයක් බවයි චීන පිල කියමින් හිටියේ. ලංකාවේ පවතින්නේ යටත්විජිත සමාජයක්ද කියන එක පිළිබඳව අපි දිගට කතා කළා. අපට නිදහසක් තියෙනවද, තවමත් තියෙන්නේ රැජිනගේ ආණ්ඩුවක්, ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තාම, නීති පද්ධතිය ගත්තාම, යටත්විජිත ඒ කියන්නේ ප්ලාන්ටේෂන් එකොනොමිකල්, කොලෝනියල් එකොනොමිකල්, අධ්‍යාපන ක්‍රමය යටත්විජිත, නිදහසක් නෑ. නිදහස කියන්නේ යටත්විජිත උපක්‍රමයක් බව අපි තීරණය කළා. ඉන්දියානු වතු කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කළා. බ්‍රිතාන්‍ය ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම්වලට අමතරව. තවත් ජාත්‍යන්තර බලපෑම්වලට අපට මුහුණ දෙන්න සිදුව තිබුණා.

බලය අල්ලන්න වැඩපිළිවෙළක් ගැන කතා කළාද?

අපි පැහැදිලි අදහසක හිටියා. විප්ලවය ගතයුතු මාර්ගය තීරණය කරන්නේ මාක්ස්වාදීන් නොවෙයි, පාලක පන්තියයි. ලෙනින් ඉස්සර වෙලාම ඩූමා එකට, පාර්ලිමේන්තුවට තරග කරලා ඡන්ද දිනාගත්තා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම ගත්තා. ඊට පස්සේ සාර් ආණ්ඩුවේ මර්දනීය ක්‍රියාකාරිත්වය උඩ ලෙනින්ට සිද්ධ වුණා සන්නද්ධ අරගලයකට යන්න. ඒ වගේ ලෝකයේ විවිධ කොමියුනිස්ට් පක්ෂ විවිධ මාවත් අරන් තියෙනවා.

චීනයේ අපේ රටේ වගේ පාර්ලිමේන්තුවක් තිබුණේ නෑ. බ්‍රිතාන්‍ය, ප්‍රංශ අධිරාජ්‍යවාදීන් යුද්ධ කරලා රටේ කෑලි බෙදාගෙන අල්ලගෙන තිබුණා. ඒ තත්ත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂයට කරන්න සිදු වෙලා තිබුණේ චීන ජනතාව අධිරාජ්‍යවාදීන්ගේ මුදාගැනීම සඳහා සටන් කිරීම පමණයි.

ඉන්දුනීසියාවේ අයිඩිෂ් සුකර්නෝ එක්ක එකතු වෙලා සාමකාමී මාවතේ ඉදිරියට ගියා. ඒගොල්ලෝ මැතිවරණ ජයග්‍රහණ ගැන තමයි විශ්වාසය තැබුවේ. අන්තිමට යුද හමුදාව කුමන්ත්‍රණය කළා. අපි දැක්කා අවුරුදු සීයක් ඇතුළත යුද්ධ හමුදා කුමන්ත්‍රණ 537ක්. ඒ හැම එකක්ම ඇමරිකන් මඟපෙන්වීම යටතේ සිදු වී තිබුණා. ලතින් අමෙරිකාවේ රටවල් 22ක හමුදාව කුමන්ත්‍රණ මඟින් හමුදා ආණ්ඩු පිහිටවලා.

කීයක්?

537ක්. ලතින් ඇමරිකාවේ කයිසිවල යුද්ධ හමුදා ආණ්ඩුවක්, ඩොමිනිකන්වල යුද්ධ ආණ්ඩුවක්, ගෝතමාලාවේ යුද්ධ ඒකාධිපති ආණ්ඩුවක්, කොලොම්බියාවේ යුද්ධ ඒකාධිපති ආණ්ඩුවක්, නිකරගුවාවේ මිලිටරි ආණ්ඩුවක්. ඒ රටවල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. අලෙම්බිච්චිවල දැන් මාක්ස්වාදියෙක් ජනාධිපති වෙලා ඉන්නේ එයාට විරුද්ධවත් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

අප්‍රිකාවේ තත්ත්වය මොකක්ද?

මාලිවල මොබියෝටා මිලිටරි ආණ්ඩුවක් ගැහුවා. නයිජීරියාවේ මිලිටරි ආණ්ඩුවක්, බුරුන්ඩිවලත් එහෙමයි. රුවන්ඩාවලත් එහෙමයි. කැමරුන්වලත් එහෙමයි. ගිනියාවල, ෆෝචුගීස් ගායනාවල යුද හමුදා ආණ්ඩු.

ඊළඟට අපි ජීවත් වන ආසියාව ගන්න: මලයාසියාවේ තුන්කු අබ්දුල් රාමාන්ගේ නායකත්වයෙන් ඒකාධිපති ආණ්ඩුවක්. ඉන්දුනීසියාවේ ‍ෙජනරාල් සුහර්තෝගේ නායකත්වයෙන් මිලිටරි ඩික්ටේටර්ශිප් එකක්. කාම්බෝජයේ ජෙනරාල් ලොන්නොල්ගේ නායකත්වයෙන් මිලිටරි ආණ්ඩුවක්. දකුණු වියට්නාමයේ කාඕකීගේ මිලටරි ආණ්ඩුව. සවුත් කොරියාවේ කාබුදුල්හිල් ජෙනරාල්ගේ යුද හමුදා ආණ්ඩුව. කොටින්ම දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හැටියට ඉතුරු වෙලා තියෙන්නේ ලංකාවයි, ඉන්දියාවයි, ජපානයයි විතරයි. ලංකාවෙත් හමුදා අණ්ඩුවක් ගහන්න හැටදෙක, හැටහය අවුරුදුවලදී උත්සාහයන් තිබුණා. අපි පක්ෂය හදනවා නම් හැදිය යුත්තේ, ඒ ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන්න බව අපි තේරුම් ගෙන හිටියා.

විජේවීර කල්පනා කළාද කවද හරි මර්දනය ඇවිත් විජේවීරව අත්අඩංගුවට ගනියි කියලා?

මම මෙහෙමයි කල්පනා කරන්නේ: විප්ලවවාදියකු වශයෙන්, මාක්ස්වාදියකු වශයෙන් මම බලාපොරොත්තු වුණා, ඒ කියන්නේ මුළු පක්ෂ සාමාජිකයෝ සියලු දෙනාම දන්න දෙයක්. අපි හැම දෙනාම පන්ති අවබෝධය තියෙන මිනිස්සු. කවුරුත් මෝඩයෝ නෙවෙයි. බලෙන් තුවක්කුව එල්ල කරලා පක්ෂයට ගත්තත් නොවෙයි. 70 අප්‍රියෙල්වල ඉඳලම අපේ සහෝදරවරු අත්අඩංගුවට ගත්තා. කවුරුත් ඒකට පුදුම වුණේ නෑ. කවුරුත් ඒකට බය වුණු බවක් පෙන්නුවෙත් නෑ. ධනේශ්වර සමාජයක විප්ලවවාදියෙක්, මාක්ස්-ලෙනින්වාදියෙක් කියන්නේ ඉතාමත් අන්තරායදායක රක්ෂාවක් කියලා අපි හැමෝම දැනගෙන හිටියා. ඩේන්ජරස් ජොබ් එකක් තමයි අපි කරන්නේ.

තමා අත්අඩංගුවට ගත්තොත් මේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න වෙන කවුරුහරි ලෑස්ති කරලා හිටියද?

නැහැ. ආවට ගියාට එහෙම කෙනෙක් පත් කරන්න බැහැ. ඊළඟට පවතින තත්ත්වය උඩයි අපි වැඩ කළේ. ඒ කියන්නේ ඉතුරු වෙන අයගෙන් පක්ෂයේ හිදැස පුරවන්න ඕනෑ. එක මිනිහද ඉතුරු වෙන්නේ, එයා පක්ෂයක් හැටියට පක්ෂය ගොඩනැඟීමේ වැඩ පටන්ගන්න ඕන. අපි කාගේත් මතය වුණේ ඒක. ප්‍රතිවිප්ලවය දියත් වුණාම ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවම මැරුවා. මැරුවට පස්සේ අනිත් පක්ෂ සාමාජිකයෝ දැනගන්න ඕනෑ ඊළඟට තෝරගන්න ඕනේ කවුද කියලා. කිසිම සාමාජිකයෙකුට පක්ෂය ඔප්පුවකින් ලියා දීලා නෑ.

දේශපාලන පක්ෂයක් අවශ්‍යමද?

ධනේශ්වර පන්තිය දැනටමත් සංවිධානය වී සිටිනවා. ඊට සාපේක්ෂකව නිර්ධන පන්තියට තමන්ගෙම වෙච්ච දේශපාලන පක්ෂයක් අවශ්‍ය වෙනවා. විධිමත් පක්ෂයක මඟපෙන්වීමෙන් තොරව රටත් ජනතාවත් මුහුණ දී සිටින කිසිදු ප්‍රශ්නයක් විසඳන්න බැහැ. මහත්තුරු කල්පනා කරලා බලනවාද මේ ලෝකෙට ඉපදෙන දරුවෝ, කොල්ලො, කෙල්ලො අපි හැම දෙනාම සම අයිතිවාසිකම් ඇතිව හෙළුවෙන් ලෝකෙට උපදින්නේ. රටේ සංවර්ධනයට ශ්‍රමදායකත්වය නොදෙන කොටස හොඳ සැපවත් ජීවිතගත කරනවා. ශ්‍රමය වගුරන කම්කරු පන්තිය දුක්ඛිත ජීවන තත්ත්වයක් ගතකරනවා. සමාජවාදි ආණ්ඩුවක් යටතේ ඒවා කරන්න බෑ.

දරුවන්ගේ අධ්‍යාපනය, වෛද්‍ය පහසුකම්, අනිවාර්යයෙන් දෙන්න ඕන. ඒ කියන්නේ නොමිලේ, අය කිරීමක් නෑ. ඒ සඳහා ආදායමෙන් කොටසක් වෙන් කරන්න අවශ්‍යයි. අවශ්‍යතා සහිත පුරවැසියන්ගේ නඩත්තුවට, රටේ අනෙකුත් පරිපාලන වැඩවලට, රටේ ආරක්ෂාවට අවශ්‍ය වියදම් රජය මඟින් අය කරගෙන පොදුවේ බෙදෙන්න ඕනෑ. අත කොච්චර ලොකු ද, හැන්ද එච්චරට ලොකුයි කියන ප්‍රතිපත්තියෙ නෙමෙයි, වැඩ කළ තරමට පඩි. හැබැයි කම්කරුවන්ට හොඳ පහසුකම් සලසන්න ඕනෑ. දැන් කම්කරුවන්ගේ ජීවිතවල සුරක්ෂිතභාවයක් නෑ.

හිතනවද ලංකාව වගේ රටකට රටේ ආරක්ෂාව සඳහා දැන් තියෙන යුද ගුවන් නාවික හමුදාවලට දෙන පුහුණුව ප්‍රමාණවත් කියලා?

මම ස්ථිරවම කියනවා කිසිම බලසම්පන්න ජාතියකට තවත් ජාතියක් යට කරගන්න බෑ. ඉතිහාසයේ කවදාවත් ඒක කරන්න බැහැ. ඇයි බැරි? මුළු ජාතියක් නැඟී සිටිනවා නම් ඒක වළක්වන්න කාටවත් බෑ. ආයුධ නොවේ මෙතන තියෙන සාධකය. පරමාණු බෝම්බය හදන්නෙත් මිනිස්සු. නැඟී සිටි ජාතියම විනාශ කරලා… අල්ලනවා නම් අල්ලන්න වෙන්නේ රටක් නෙවෙයි කාන්තාරයක්.

North Korean Friendship League එකෙන් ඕගොල්ලොන්ට සහයෝගයක් ලැබුණාද?

මෙහෙමයි: අර පොත් දීලා ප්‍රචාරක කටයුතු කිරීමෙන් ඒ ගොල්ලො බලාපොරොත්තු වෙන්න ඇත්තේ ඒ ගොල්ලන්ට පක්ෂ ගෲප් එකක් මේ රටේ හදාගැනීම වෙන්න ඇති. එහෙත් ඒකට අපේ කිසිම අනුකූලතාවක් තිබුණේ නෑ. ඒ ගොල්ලෝ අපේ රැස්වීම්වලත් කොරියන් පොත්පත් විකිණුවා.

ඔය මිත්‍ර සංගම්වලින් චිත්‍රපට මොකුත් පෙන්නුවාද ඔයගොල්ලන්ගේ කට්ටියට – The Tricks of Garillas වගේ?

මම චීන පිලේ ඉන්න කාලේ එහෙම චිත්‍රපට බලලා තියනවා. ‘ඩියන් බියන් පූ ස්ට්‍රගල්’, ‘ජංගල් වෝර් පෙයාර්’ වගේ ඒවා. චියැංකායිෂෙක්ලගෙ හමුදාවයි මාවෝ සේතුංලගෙ රතු හමුදාවයි කඳුකර පෙදෙසක ගහගන්නවා. තවත් ලස්සන චිත්‍රපටයක් දැක්කා මැයි දිනේක. ඒක පෙන්නුවේ විශාල ක්‍රීඩාංගණයක. සන්දර්ශනයක්. මුළු ක්‍රීඩාංගණයම තනි රූප රාමුවකට ගන්නවා. සරඹ සන්දර්ශනය ඇතුළත අපි දකින්නේ විශාල පොතක්. පොතේ පිටු එකින් එක පෙරළෙන කොට මා ඕ සේතුං සහෝදරයගෙ පින්තූරය එනවා. තව ‘සමාජවාදී සමාජ විප්ලවය දිනේවා!’ වගේ සටන් පාඨ දර්ශනය වෙනවා.

මම චීන පිලේ ඉන්න දවස්වල ශන්මුගදාසන් වියට්නාමයට ගියා වෘත්තීය සමිති සාකච්ඡාවකට. ඒ ගිහින් එද්දි ගෙනාවා වියට්නාම් යුද්ධය ගැන ප්‍රචාරක චිත්‍රපට ගොඩක්. අපි ඒවා බැලුවා. අපේ පක්ෂයට චිත්‍රපට පෙන්නන්න ප්‍රොජෙක්ටර් තිබුණෙ නැහැ. මම ඔය කිවුවේ ලංකාවේදී බලපු චිත්‍රපට ගැන. ලුමුම්බා යුනිවර්සිටි එකේ ඉන්න කොට නම් නිතරම චිත්‍රපට බලන්න ලැබුණා. ඒවා වැඩි හරියක් රුසියානු චිත්‍රපට.

දැන් විජේවීර පන්ති කළා, කඳවුරු කළා. කවදහරි ඔය පන්තිවල, කඳවුරුවල කිවුවාද ‘අපි මේ විප්ලවය කරන අවස්ථාවේදි පිටරටකින් සහයෝගය ගන්නවා’ කියලා?

අපි එහෙම බලාපොරොත්තුවක හිටියේ නෑ. මම දැනුවත්ව නම් අපේ කිසිම කෙනෙක් කිසිම වෙලාවක ජාත්‍යන්තර ආධාර ගැන කතා කරලා තිබුණේ නෑ. අපේ පත්තරේ ‘ස්වශක්තිය ගැන විශ්වාසය තබමු’ කියලා රතු පාට ලොකු අකුරෙන් ගහලා තිබුණා. මම නිකම් තර්කයක් දමන්නම්: විප්ලවයට ජාත්‍යන්තර ආධාර බලාපොරොත්තු වෙන්න පුළුවන් කොහෙන්ද? ඇමරිකාවෙන්? එංගලන්තෙන්? බටහිර ජර්මනියෙන්? වෙනත් ව්‍යාපාරික රටවලින්? ඒක වෙන්නෙ නෑ නේ. පිළිගන්වා නේද?

ඊළඟට සමාජවාදී රටවල්වලින්, රුසියාව ගත්තහම අපි රුසියාව පට්ට ගැහුවා නේ. රුසියාව නැවත ධනවාදය කරා යනවා කියලා. අපේ වචන වචනවලින්ම කියනවා නම් රුසියාව ප්‍රතිගාමි ලෙස නැවත ධනවාදය කරා පරිවර්තනය වෙනවා කියලා. ඒ කියන්නේ peaceful involution. ඒ කියන්නේ සාමකාමිව ආපසු ධනවාදය කරා යනවා. මම බය නැතුව කියනවා සෝවියට් දේශය ධනවාදය කරා ආපසු යනවා. යනවා විතරක් නොවේ, සමාජ අධිරාජ්‍යවාදය බවට පරිවර්තනය වෙනවා; Socialists Imperiyalisam සමාජ අධිරාජ්‍යයක්.

ආයුධ සන්නද්ධව යුද්ධ කරලා නිදහස දිනාගන්න පුළුවන්ද?

කුඩාපොල හාමුදුරුවෝ 1848දී යටත්විජිත ආණ්ඩුවට විරුද්ධව සටන් කරලා වෙඩි කෑවා. අද අපේ සහෝදරවරු වෙඩි කනවා. එකක් මතක තියාගන්න

කැප්පෙටිපොළලා, මඩුගල්ලේලා, පුරන්අප්පුලා, ගොන්ගාලේගොඩ බණ්ඩලාගේ පැත්තේ අද අපි ඉන්නවා. එමර්සන් ටෙනන්ට්,මේජර් මැක්ඩොනල්ඩ්, ලෙප්ටිනන්ට් කර්නල් කෙලී, ඊළඟට රොබට් බ්‍රවුන්රිග්, වයිකවුන්ට් ටොරින්ටන්ලාගේ පැත්තේ මහත්තුරු ඉන්නවා. එදා කැප්පෙටිපොළලාට පුළුවන් වුණා නම් යටත්විජිත ආණ්ඩුව පලවා හරින්න මේ තත්ත්වය ඇති වෙන්නේ නෑ. දැන් අපට සිද්ධ වෙලා තියෙනවා 1818ට අවුරුදු 150කට පස්සේ නිදහස වෙනුවෙන් අපේ ජීවිත දෙන්න.

වැඩවසම් යුගයේ අපේ රට පාලනය කළේ රජවරු. නමුත් රුසියාවේ වගේ ක්‍රෑර පාලනයක් ගෙනියන්නට ඔවුන්ට හැකියාවක් තිබුණේ නෑ. පොදුවේ පිළිගත් සාම්ප්‍රදායික නීති පද්ධතියක් තිබුණා. එයින් පිට රජු රට පාලනය කරනවා නම් ඊට විරුද්ධව කැරලි ගසන්න ජනතාවට අයිතියක් ඇති බවට පිළිගත් සිද්ධාන්තයක් තිබුණා. මම නෙවෙයි කියන්නේ රැල්ෆ් තෙන්නකෝන්. ප්‍රජාවගේ ගැටලු විසඳන්න පාලකයා අසමත්නම්, පීඩාකාරිනම් පාලකයාට විරුද්ධව කැරලි ගසන්නට රටේ ජනතාවට ශුද්ධ වූ අයිතියක් තිබුණා. මහා පරාක්‍රමබාහු රජුට විරුද්ධවත් පොඩි මිනිස්සු කැරලි ගැහුව නේ.

ඔහෙලා මට කිවුවා කෑගල්ලේ අපේ සහෝදරවරුන් සටන් කළා කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ ක්‍රෑර පාලනයක් ගෙන යනවාට විරුද්ධවත් හතර කෝරලේ මිනිස්සු සටන් කළා. කෑගල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට එවැනි ඓතිහාසික තත්ත්වයක් තියෙනවා. පාලකයෝ ප්‍රජාවගේ සුභසිද්ධිය සඳහා ක්‍රියා නොකරන්නේ නම්, ප්‍රජාවට අයිතියක් තියෙනවා ඊට විරුද්ධව නැඟී සිටින්න. මම කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නීතිය ගැන නොවෙයි. අපේ රටේ පැවතිච්ච නීතිය ගැන.

රයිට් රයිට්…

නීතිය මොකක් වුණත් මට කමක් නෑ. මම එකක් දන්නවා. නීතියයි, යුක්තියයි දෙකක්. මෙතන මම ඒක භාවිතාව තුළින් තේරුම් අරන් තියෙනවා ඔහෙලා නීතිය පැත්තෙ. අපි යුක්තිය පැත්තේ. අපට නීතියේ පිළිසරණ එපා. මොකද: යුක්තියයි නීතියයි එකට සෑහෙන්නේ නෑ. යුක්තිය එකක්. නීතිය එකක්. ඒ කියන්නේ යුක්තියට විරුද්ධව නීතිය යනවා. අපි යුක්තිය පැත්තෙ නීතියට විරුද්ධ වෙලා තියෙනවා. justice කියන්නේ එකක්. law කියන්නේ එකක්.

අපි වීරයෝ නෙමෙයි. අපට වීරත්වයක් හිමි වන්නේ නෑ. මොකද: අපි මේ අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කළේ නෑ. ඒ නිසා අනාගත පරපුර අපට ස්තුතිවන්ත වන්නේ නෑ. මොකද, අපි ඒ මිනිස්සුන්ට රටේ ප්‍රශ්න එහෙමම ඉතුරු කරලායි එල්ලුම්ගස් යන්නේ. ඊළඟ පරම්පරාවේ උපදින දරුවන්ටත් එල්ලුම්ගස් යන්න පදනම එහෙමම ඉතුරු වෙලා. අද අපව එල්ලුම්ගස් යවනවා වගේ හෙට ඒ අයත් චෝදනා දාලා එල්ලුම් ගස් යවාවි. ඒ සඳහා පදනම අපි ඉතුරු කර යන නිසා අපට වීරයෝ වෙන්න අයිතියක් නෑ. තේරුණාද? කොටින්ම කියනවා නම් අපට මේ රටේ වැළලෙන්න අයිතියක් නෑ. මම මේ දවස්වල කල්පනා කෙරුවේ මේ ආණ්ඩුව මාව එල්ලුම්ගස් ඇරියට පස්සේ මට මේ මහ පොළොවේ වැළලෙන්න අයිතියක් නෑ. මොකද: මේ මහ පොළොව තවමත් තියෙන්නෙ තිබුණ තත්ත්වයේමයි. පවුල් 180කට අක්කර 2ක ජීවත් වෙන්න තියලා තමයි අපි මැරෙන්නේ. ඒ නිසා මගේ මළකඳ මුහුදට දමනවා නම් තමයි වඩා හොඳ. තේරුණාද ?

මේ රටේ අපේ පරම්පරාවේ අවංක මිනිස්සු තමයි ඔය වෙඩි කාලා මැරුණේ. 1948 මේ රටේ මිනිස්සු හිතුවා සුද්දා ගියාම ප්‍රශ්න ඉවරයි, පාලකයෝ මේ රට හදයි කියලා. අවුරුදු ගානක් ගියා, වෙච්ච දෙයක් නෑ. ප්‍රශ්නෙ තිබුණාටත් වඩා නරක තත්ත්වයකට වැටිලා. දැන් අපට සිද්ධ වුණා මේ ක්‍රමයට විරුද්ධව නැඟිටින්න. අපව විනාශ කරලා ඔහෙලා හිතනවද මේ ක්‍රමය දිගටම පවත්වාගෙන යන්න. ඒක නම් කීයටවත් වෙන්නේ නෑ මහත්තයෝ. සමහර විට මේ මහත්තුරුන්ගෙ පුත්තු නැත්නම් මුනුපුරෝ ආයෙත් ආයුධ අතට ගනීවි. අපේ සහෝදරවරු මරාදමා, සිරගත කර, මාව එල්ලුම්ගස් ඇරලා ඒක වළක්වන්න බෑ. අර දකුණු ඉන්දියාවේ දේශපාලකයෙක් කියලා තිබුණා වගේ: මේ රටේ නීතිය ක්‍රියාත්මක වන විදිහ ගැන අමුතුවෙන් කිව යුතු නෑ. කරුවල කාමරයක් තියෙනවා. ලාම්පුවක් පත්තු කළාම ටිකක් එළියයි; වොට් 40ක බල්බ් එකක් දැම්මොත් තව ටිකක් එළියයි. ලයිට් පොල්ලක් දැම්මොත් තවත් ටිකක් එළියයි. මේ රටේ නීතිය වැඩ කරන්නෙත් එහෙම නේ. කෝට් සාක්කුවට වැටෙන සල්ලි ගානට අනුව නීති හැඩ ගැහෙනවා.

ඇත්ත වශයෙන්ම කියනවා නම්: මම මට හිතෙන දේ අවංකව කියන්නේ: මේ දූෂිත සමාජ ක්‍රමය ඒ අයුරින්ම ඉතිරි කරලයි අපට යන්න වෙලා තියෙන්නේ. තේරුණාද? අපිව මරලා වළදමනවා නම්, මේ පොළොවේ ඒක කරන්න එපා. මුහුදට දානවා නම් අපි හුඟක් සතුටුයි. වළ දැම්මත් ඊළඟ පරම්පරාවේ මිනිහකුට අපේ සොහොනට මල්වඩමක් තියන්න අයිතියක් නෑ. ඒ කියන්නේ මේ සමාජයට අපි කරපු දෙයක් නෑ. අපි කළේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරපු එක විතරයි; දේශපාලනය කරපු එක විතරයි. අපි අවංක දේශපාලනයක් කළා, ඒක ඇත්ත. අපි මැරුණට තවත් අවුරුදු ගානකට පස්සේ හරි ධනේශ්වර ක්‍රමයට විරුද්ධව මේ රටේ මිනිස්සු නැඟිටීවි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division