Home » ආර්ථික අපරාධ කරන ජනතා නියෝජිතයන්ට ලිහිල් දඬුවම් නියම කරන්න බෑ

ආර්ථික අපරාධ කරන ජනතා නියෝජිතයන්ට ලිහිල් දඬුවම් නියම කරන්න බෑ

උතුරුමැද හිටපු මහඇමැති 16 වසකට දඟගෙට යවමින් කොළඹ මහාධිකරණ විනිසුරුගෙන් ප්‍රකාශයක්

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment
නිමන්ති රණසිංහ

තුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්ෂ 26කට අධික වටිනාකමකින් යුත් ඉන්ධන ලබාගත් බවට චෝදනා ලැබූ උතුරුමැද පළාත් සභාවේ හිටපු මහඇමැති එස්.එම්. රංජිත් මහතාට සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මියට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණයෙන් නියම වූයේ ඉකුත් 2 වැනිදාය. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නිකුත් කළ නියෝගයකට අනුවය.

එසේම විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 2 බැගින් වූ දඩ මුදලක්ද ගෙවීමට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරිණි. ඒ දඩය නොගෙවන්නේ නම්, අමතර බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවමක්ද නියම කළේය.

එස්.එම්. රංජිත් මහතා උතුරුමැද පළා‌තේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිය වන ශාන්ති චන්ද්‍රසේන යන අයගේ වැටුපට ඉන්ධන දීමනාවක් එක් කර තිබියදී එය අබිබවා රුපියල් ලක්ෂ 26ක ඉන්ධන දීමනාවක් ගෙන අල්ලස් හෝ දූෂණ පනතේ දූෂණය නම් වරද සිදු කර ඇතැයි ඒ කොමිසම මහාධිකරණය හමුවේ අධිචෝදනා 6ක් ගොනු කර තිබිණි. ‍

මේ සිද්ධියට අදාළව කැකිරාව පාරේ, ගලෙන්බිඳුණවැව පදිංචි කේ. නිමල් විජේතිලක නමැත්තා විසින් ඉකුත් 2015 වසරේ දූෂණ මර්දන කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව චුදිතයන්ට එරෙහිව මේ නඩුව පවරා තිබූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලය ඇතුළත උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමරකෝන් මුදියන්සේලාගේ රංජිත් සමරකෝන් යන අය රජයේ සේවකයකු ලෙස කටයුතු කරමින් තම තනතුරට නීත්‍යනුකූලව හිමි වූ ඉන්ධන දීමනාවක් වැටුප සමඟ තිබියදී ඉන්ධන දීමනාව ලෙස රුපියල් 2,880,528.10ක මුදලක් වංචනිකව ගැනීමෙන් අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදු කර ඇතැයි අල්ලස් කොමිසම චුදිතට එරෙහිව නඟා තිබූ පළමු චෝදනාව විය. එමෙන්ම, දෙවැනි විත්තිකාරිය මේ වරද කිරීමට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම චුදිතයන්ට එරෙහිව නඟා තිබූ තවත් චෝදනාවක් වෙයි.

විත්තිකරුවන්ට එරෙහි නඩුව ඔප්පු කිරීම සඳහා අල්ලස් කොමිසම සාක්ෂිකරුවන් 9ක් සහ ලේඛන 17ක් මහාධිකරණ නඩු ගොනුවට ඉදිරිපත් කර තිබිණි. මේ චුදිතයන් අවභාවිත කර ඇති ඉන්ධන ප්‍රමාණය ලීටර් 16,784ක් බවද නඩු විභාගයේදී කරුණු හෙළි විණි. මේ නඩුව කොළඹ මහාධිකරණයේදී දීර්ඝ කාලයක් විභාග වූ අතර, එහි තීන්දුව සඳහා නඩුව කැඳවනු ලැබූ ඉකුත් 2 වැනිදා විත්තිකරුවෝ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අල්ලස් පනත යටතේ විත්තිකරුවට එරෙහිව ගොනු කර තිබූ අධි චෝදනා 6න් චෝදනා 3ක් පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි. එබැවින් විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරුවන් බවට මහාධිකණ විනිසුරුවරයා තීරණය කළේය.

මේ නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, මේ නඩුවේ පළමුවැනි විත්තිකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මහජන ඡන්දයෙන් උතුරුමැද පළාත් සභාවට තේරී පත් වූ පුද්ගලයකු බවයි. මොහු මහජන ඡන්දයෙන් තේරී පත් වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, ඒ දිස්ත්‍රික්කය තරමක් දුෂ්කර ඒකක් බවත්, එහි වැඩි වශයෙන් වාසය කරන්නේ ගොවීන් බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවාය.

“ස්වාමීනි, මේ ආකාරයෙන් දුෂ්කර ජීවිතයක් ගෙවන ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක මහජන නියෝජිතයන් වශයෙන් තේරී පත් වී මහජන මුදල් අවභාවිත කරමින් විත්තිකරුවන් මේ දූෂණ ක්‍රියාවේ නිරතව තිබෙනවා. 2012 වසරේදී ඔහු විසින් අවභාවිත කළ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 26කට අධිකයි. එය සරල කාරණක් නොවෙයි. ඒ මුදල්වල වර්තමාන වටිනාකම ඊටත් වඩා වැඩියි. විත්තිකරුවන්ට රජයෙන් ලැබෙන වැටුප් හා දීමනාවලට අමතරව ඔවුන් බලය අයුතු ලෙස යොදවා මේ මුදල් වංචා කර තිබෙනවා. එහෙත් මෙය වසර දෙකකදී ලබාගෙන ඇති අමතර දීමනාව පමණයි. අවුරුදු 13කට පෙර මේ මුදලේ වටිනාකම සිතා බලන්න. මේ වරදට 1994 අංක 20 දරන සංශෝධිත අල්ලස් පනත අනුව විත්තිකරුවන්ට වසර 10ක සිරදඬුවමක් සමඟ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමේ හැකියාව තිබෙනවා. වරදේ බරපතළකම සලකා චුදිතයන්ට උපරිම දඬුවමක් දෙන්න කියා ඉල්ලා සිටිනවා,” යැයි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයට කරුණු පැහැදිලි කරමින් ඉල්ලා සිටියාය.

විත්තිය වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥවරයා සඳහන් කළේ මෙය 2012 වසරේ සිදු වූ වරදක් බවත්, විත්තිකරුවන් නඩුව කඩිනමින් අවසන් කිරීමට පූර්ණ වශයෙන් සහයෝගය දුන් බවත්ය. ඒ අනුව එය සැලකිල්ලට ගෙන, තම සේවාදායකයන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සිය තීන්දුව ඉදිරිපත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙසේ ප්‍රකාශ කළේය:

“වෙනත් අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය මේ සිද්ධියේ අනුගමනය කිරීමට හැකියාවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ හා භුක්තිවිඳීමේ බලය ආරක්ෂා කිරීම ජනතා නියෝජිතයන්ට පැවරී ඇති වගකීමක්. ඒ විශ්වාසය ආරක්ෂා කිරීම ඔවුන්ගේ කාර්යයක්. මහජන නියෝජිතයන් කියන්නේ මේ සමාජයේ සුවිශේෂ කොටසක් නොවෙයි. රාජ්‍ය සේවකයන් සහ මොවුන්ගෙන් සෙසු පුරවැසියන් අයුතු ලාභ, අනුග්‍රහ හෝ වාසි පිණිස බලය භාවිත කිරීම බලාපොරොත්තු වන්නේ නෑ. රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට අල්ලස හා දූෂණය බෙහෙවින් බලපා තිබෙනවා. මේ නඩුකරය මඟින් අනාවරණය වන්නේ ආර්ථික අපරාධයක්. පළමුවැනි විත්තිකරු මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත් වූ අයකු වන අතර, ඔහු මහජනතාවට වගකිව යුතු ආකාරයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනවා. දූෂණ ක්‍රියා නිසා රටේ ආර්ථිකයටත් අහිතකර බලපෑම් එල්ල වනවා. පසුගිය කාලයේ අපේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ නිසා අපේ රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වුණා. මෙවැනි ආර්ථික අර්බුදවලට රට තුළ සිදු වන දූෂණ ක්‍රියාත් බලපානවා. ඒ නිසා මෙවැනි චෝදනා එල්ල වන මහජන නියෝජිතයන්, රජයේ නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. එබැවින් විත්තිය ඉල්ලා සිටින ආකාරයෙන් ලිහිල් දඬුවමක් හෝ යළි සමාජගත විය හැකි ආකාරයේ දඬුවමක් චුදිතයන්ට නියම කළ නොහැකියි. ඔවුන්ට නීතියෙන් දිය හැකි උපරිම දඬුවම් දීමට සිදු වනවා. මේ තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට හැකියි.”

මේ කොමිසම 2021 වර්ෂයේදී මහාධිකරණය හමුවේ අධිචෝදනා 8ක් යටතේ චුදිතයන්ට එරෙහිව පවරා තිබූ අතර, පසුව චෝදනා පත්‍ර සංශෝධනය කර අධිචෝදනා 6ක් ඉදිරිපත් කර තිබිණී. නඩුවේ තීන්දුව ප්‍රකාශයකට පත් කළ අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරයා ඒ අධිචෝදනා 6න් 3ක් ප්‍රතික්ෂේප කර චෝදනා 3ක් සඳහා දඬුවම් නියම කළේය. මෙහි චෝදනා 2කට වැරදිකරුවන් කළ අධිකරණය එක් චෝදනාවකට වසර 8 බැගින් චෝදනා 2 සඳහා වසර 16ක දඬුවමක් නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය ඉකුත් 2 වැනිදා දුන් මේ තීන්දුවට එරෙහිව උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනා පෙත්සමක් ඉකුත් 3 වැනිදා ගොනු කර තිබිණි. මහාධිකරණය නියම කළ සිර දඬුවමින් තමන් නිදෙස් කොට නිදහස් කරන ලෙස මේ පෙත්සම මඟින් ඔවුන් ඉල්ලා ඇත.

එම පෙත්සම අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා මෙම අභියාචනා පෙත්සම් කොළඹ මහාධිකරණයට ඉකුත් 3 වැනිදා භාරදී තිබිණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා ගොනු කළ අදාළ නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට භාජනය කිරීමකින් තොරව මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇතැයි ඒ පෙත්සමෙහි සඳහන් කර ඇත. එමඟින් තමන්ට දැඩි අගතියක් සිදු වී ඇතැයි ඔවුන් ඒ පෙත්සමෙන් පෙන්වා දී ඇත. එමෙන්ම අදාළ නඩු තීන්දුව ඉවත දමා, අදාළ චෝදනාවලින් තමන් නිදෙස් කොට නිදහස් කරන ලෙස ඔවුන් සිය අභියාචනා පෙත්සම මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division