Home » නීතියට හිස නැමූ මහා දාර්ශනිකයා
විෂ බඳුන මධු බඳුනක් සේ ගෙන 

නීතියට හිස නැමූ මහා දාර්ශනිකයා

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

දා මානව ඉතිහාසයේ අතිශය අඳුරු දවසක්. සේපියන්ස් ගොයියාද ඒ ඉරණම්කාර ඉසවුවට සේන්දු වී, තත්කාලීන, ඈත-මෑත සිදුවීම් සිසාරා සැරි සරමින්, හේතු විමසන්න වුණා.

අනේ… ඔහු මරාදමාවිද? මොකක්ද ඔහු කළ වරද? ඔහු බේරාගන්න විදියක් ඇත්තෙම නැද්ද? ඒ නීතිය එහෙම ක්‍රියාත්මක කරවන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදි සමාජයේ අදාළ පුදගලයන් එතරම් මනසින් පිරිහේවිද? ජනතාවගේ කැමැත්ත මත සියල්ල ඉටු කිරීම හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් සාධාරණද? ජනතාව වැරදි මතවාදයක, යල්පිනූ පසුගාමි ආකල්පවල සිර වී නම්; ලබා දෙන තීන්දුව සාධාරණ ද? ආදි දහසක් ප්‍රශ්න සේපියන්ස් ගොයියාගේ පපුතුරෙහි බුර බුරා ඇවිළෙන්න වුණා.

එදා ක්‍රි.පූ. 399දී පුරාණ ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී සොක්‍රටීස්ට එරෙහි අධිකරණයේ නඩුව විභාග වෙමින් තිබිණි. දාර්ශනිකයාට එරෙහිව ප්‍රධාන අධිචෝදනා දෙකක් යටතේ නඩු ගොනු කොට පැවතිණි. එනම්: ග්‍රීක බසින් අසේබියාව (Asebeia) හෙවත් අධර්මිෂ්ඨකම සහ නගරයේ තරුණයන් දූෂණය කිරීම යන චෝදනාය. අධර්මිෂ්ඨකම වූකලි රාජ්‍යය විසින් පිළිගන්නා දෙවිවරුන් පිළිගැනීමට අපොහොසත් වීමත්, සොක්‍රටීස්ගේ දාර්ශනික ප්‍රශ්න කිරීම් හරහා අමුතු ආලෝකයක් ලැබූ තරුණයන්, ඒ පන්නයට සිය වැඩිහිටියන් ප්‍රශ්න කර කටඋත්තර නැති කිරීම නිසා, සිය තරුණ ළමයින්ගේ මනස දූෂණය කළේය යන චෝදනාවය.

පුරාණ ග්‍රීසියේ තිබුණේ හතර ආකාරයක රාජ්‍ය පාලන ක්‍රමයන්ය. එනම්, 1. ප්‍රජාතන්ත්‍රවාදය (Democracy) – නගරයක පිරිමි පුරවැසියන් විසින් පාලනය කිරීම. 2. රාජාණ්ඩුව (Monarchy) – බලය උරුම වූ පුද්ගලයකු විසින් පාලනය කිරීම. 3. කතිපයාධිකාරය (Oligarchy) – තෝරාගත් බලගතු හෝ ධනවත් පුද්ගලයන් පිරිසක් විසින් පාලනය කිරීම. 4. කුරිරු පාලනය (Tyranny) – බලහත්කාරයෙන් බලය අල්ලා ගත් පුද්ගලයකු විසින් පාලනය කිරීම යනුවෙනි.

එහෙත් මේ කියන අවස්ථාව වන විට ස්ථාපිතව තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ අනුව, සොක්‍රටීස්ට නැඟුණු චෝදනාවලට ඔහු දෙන පිළිතුරු සලකා බලා, අදාළ ජනතා පාලනයේ පොදු මතය පරිදි තීන්දුව දීම සිදු වේ.

නඩු විභාගයේදී සොක්‍රටීස්ගේ පැත්තට සිටින්ගේ ඔහුගේ ප්‍රබුද්ධ ගෝලයකු වූ ප්ලේටෝත්, ක්සෙනොෆොන් ඇතුළු පිරිසකි. කෙසේ වෙතත්, සොක්‍රටීස්ගේ දාර්ශනික චින්තා කිසිවක් ඔහු විසින් ලේඛනගත කර නැති අතර, සොක්‍රටීස්ගේ මරණයෙන් පසු ඒවා ලේඛනගත කෙරුණේ ප්ලේටෝ, ක්සෙනොෆෝන් වැනි ඔහුගේ ගෝලයන් සහ හිතමිතුරන් විසිනි. ඉන් පසු, සොක්‍රටීස් මිය ගොස් තවත් දශක ගණනාවකට හෝ සියවස් ගණනාවකට පසු ඇරිස්ටෝටල්, ඩයොජිනීස් ලාර්ටියස් සහ ප්ලූටාර්ක් වැනි පැරණි විද්වතුන් විසින්ද ඒවා ලියන ලදි.

සොක්‍රටීස්ගේ නඩු විභාගය සඳහා නගර වැසියන් 500කගෙන් සමන්විත ජූරි සභාවක් ක්‍රියාත්මක විය. එතරම් පිරිසක් සිටියේ, අල්ලසට එවන් විශාල කණ්ඩායමක් යට කිරීමට නොහැකි වන නිසායැයි කියති. එහෙත් අවසානයේ ජූරි සභාවේ වැඩි ඡන්ද 30ක් වැනි සංඛ්‍යාවකින් සොක්‍රටීස් වැරදිකරු කෙරිණි.

දාර්ශනිකයා යන පුරාණ ග්‍රීක වදන වන ‘පිලෝසොපෝ’ (Philosopho) යන්නෙහි අරුත ‘ප්‍රඥාවට ආදරය කරන්නා’ යන්නයි. සුන්දර චින්තකයකු හා දාර්ශනිකයකු වූ මේ මිනිසාට එරෙහිව, තත්කාලීන සදාචාර සහ ආගමික ළැදියන් තිදෙනකු විසින් චෝදනා ගොනු කෙරුණේ එවකට පැවති නීති සම්ප්‍රදාය අනුවය.

සොක්‍රටීස් සතුව දෙවියන් පිළිබඳ කිසියම් විශ්වාසයක් හෝ සංකල්පයක් තිබුණද, මානව ආධ්‍යාත්මික ඉසවුවේ වූ දේව භක්තිය හා සදාචාරය ගැන සිය අපෝහන න්‍යාය හෙවත් ද්විකෝටික (දෛලෙක්තික) තර්කනය ඔස්සේ සිදු කරන ලද සියුම් පරීක්ෂාව විසින් ඔහුට අත් කර දුන්නේ ඉතා නරක ප්‍රතිවිපාකය.

‘සොක්‍රටීස්ගේ දෙවියන් පිළිබඳ වූ විරුද්ධාභාසය’ නමැති අදහස යූතප්‍රෝ උභතෝකෝටිකය (Euthyphro Delima) ලෙස හැඳින්වේ. මිනිසුන් කරන ක්‍රියා නිවැරදි වන්නේ, එසේ කරන්න කියා දෙවියන් විසින් අණ කරන නිසාද? නැති නම්, දෙවිවරුන් ඒවා කරන්නැයි අණ කරන්නේ ඒවා සහජයෙන්ම නිවැරදි නිසාද? යැයි සොක්‍රටීස් ගවේෂණය කරයි. එනම්: සොක්‍රටීස් ප්‍රශ්න කරන්නේ සදාචාරය පිළිබඳ ආගමික අවබෝධය වූකලි, දිව්‍ය කැමැත්ත මත පදනම් වූවක්ද? නැත හොත් දිව්‍ය කැමැත්තට පෙර පැවති සදාචාර ප්‍රතිපත්තිවල පිළිබිඹුවක්ද? යන්නයි.

ඊළඟට, සොක්‍රටීස් භක්තිය නිර්වචනය පරීක්ෂා කිරීම අරඹයි. භක්තිය නිර්වචනය කරනු ලබන්නේ දිව්‍යමය ආඥාවෙන් පමණක් නම්, සදාචාරය වනාහි, දෙවිවරුන්ගේ කැමැත්ත මත රඳා පවතින අත්තනෝමතික දෙයකි. භක්තිවන්තකමේ අරුත අපට තේරුම් ගත නොහැකි නම්, අප දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුගමනය කරන්නේ කෙසේද? සාරාංශයක් ලෙස: සොක්‍රටීස් සදාචාරයේ ස්වභාවය හෙවත්, හරි වැරැද්ද පිළිබඳ, ‘දිව්‍යමය’ සහ ‘මානව’ අවබෝධය අතර ඇති සම්බන්ධය කවරේදැයි? පිළිබඳ මූලික ප්‍රශ්නයක් මතු කරයි.

සොක්‍රටීස් ඔහුගේ සමාව අයැදීම අවසන් කරන්නේ ඔහුගේ ප්‍රධාන විශ්වාසයන් සාරාංශ කරමිනි: “ජීවිතයේදී හෝ මරණයෙන් පසු යහපත් මිනිසකුට කිසිවකින් හානියක් සිදු කළ නොහැකිය. මක් නිසාද, ඔහුගේ වාසනාව වූකලි, දෙවිවරුන් කෙරෙහි උදාසීනත්වයට අදාළ වූ කාරණාවක් නොවේය. වෙනත් වචනවලින් කිව හොත්, සැලැස්මක් ඇත, දිව්‍ය සැලැස්ම තුළ අපට අපගේ ස්ථානය ඇත, නපුර හමුවේ පවා යහපත්කම ඉතිරිව පවතිනු ඇත,” යැයි සොක්‍රටීස් ප්‍රකාශ කළේය.

“මම දන්නේ එක දෙයක් පමණි. එනම්: මම කිසිවක් නොදන්නා බව පමණය” සොක්‍රටීස් පවසයි. එම, ‘සොක්‍රටිස් නොදැනුවත්කම’ යන අදහස වූකලි, පරස්පර විරෝධි ලෙස, ඉස්මතු කෙරෙන යම් ආකාරයක ප්‍රබල දැනුමකි. එනම්: පුද්ගලයකු තමන් නොදන්නා දේ අවංකව පිළිගැනීමය.

ඇතීනියානු අධිකරණය විසින් වරදකරුවකු වූ අයකුට, තමන් විසින්ම දඬුවමක් යෝජනා කරගත හැකි විය. එය, තමන් කළ වරදට පසුතැවීමක් හා ඒ සඳහා කැප වීමෙන් ගෙවාදැමීමක් ලෙස ජූරි සභාව විසින්ද සලකනු ලබයි. එහෙත්, මේ අවස්ථාව සොක්‍රටීස් විසින් සිය ගෙල සිඳගැනීමක් බවට පත් කරගත් බවක් පෙනෙන්නේ, තමා විසින් වරදක් සිදු කර නැති බැවින්, ස්වෙච්ඡාවෙන් දඬුවමක් විඳීම හරහා තමන් වරදක් කර ඇති බව පිළිගැනීමකැයි හෙතෙම පවසයි.

ඒ අනුව ජූරි සභාව සොක්‍රටීස් වරදකරු කර, ඔහුට මරණ දණ්ඩනය නියම කළේය. ඉන් පසු, දාර්ශනික ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඔහු සිදු කරයි. ජූරි සභාව යෝජනා කරන පරිදි, තමාට සත්‍ය විමසමින් ප්‍රශ්න නොකර, කිසිදා නිශ්ශබ්දව සිටිය නොහැකි බවත්, මක් නිසාද යත්: ‘පරීක්‍ෂා නොකළ ජීවිතය ජීවත් වීමට වටින්නේ නැත’යැයි ඔහු පවසයි.

කෙසේ වෙතත්, නීතියේ ආධිපත්‍යයට පක්ෂපාති ඇතීනියානුවකු ලෙස, ඔහු තීන්දුව සහ ඔහුගේ දඬුවම පිළිගත්තේය. සොක්‍රටීස් ඔහුගේ මරණ දණ්ඩනයට පෙර මාසයක් පමණ සිරගතව සිටි අතර, එය ඉතා දුර්ලභ සිදුවීමක් විය. සාමාන්‍යයෙන් දඬුවම් ක්‍රියාත්මක වන්නේ දිනක් හෝ දෙකක් ඇතුළතය. එහෙත්, සොක්‍රටීස්ගේ නඩු විභාගයට පෙර දින, ඩෙලෝස් දූපතට වාර්ෂික ආගමික වන්දනාව ආරම්භ වීමත්, ඒ වන්දනාවට යන නගර කණ්ඩායම යළි ආපසු පැමිණෙන තුරු වරදකරුවන්ට එරෙහි මරණ දඬුවම් ක්‍රියාත්මක නොකළ යුතු බවට තිබූ පිළිවෙතත් ඊට හේතු විය.

කෙසේ වෙතත්, මරණ දඬුවම දෙන තුරු කිසියම් ස්ථානයක, සොක්‍රටීස්ව රඳවා තබනු ලැබීය. එහෙත් ඔහුගේ දෙවැනි බිරියත්, කුඩා දරුවාත් සොක්‍රටීස්ගේ හිතවතුන් සමඟ වසමින් ඒ මාසය ගත කළහ. සොකට්‍රීස්ගේ පළමු බිරිය වන මිර්ටෝ, මිය ගිය පසු සරණපාවාගත් ක්සන්තිප්පේ නමැති තරුණ බිරිය ඔහු සමඟ ඉතා ආදරයෙන් ගතකළාය.

සොක්‍රටීස් රැකබලාගත් ජේලර්වරයාද ඔහුට ඉතා ළෙන්ගතු විය. සොක්‍රටීස් සමඟ ගතකළ මිතුරෝද ඇතෑන්ස්හි ප්‍රබල පුද්ගලයෝය. වරෙක ජේලර්වරයා සහ ඒ හිතවතුන්ද සොක්‍රටීස්ට යෝජනා කළේ රහසිගතව පැනයන ලෙසය. එහෙත් අතිශයින්ම නීතිගරුක පුද්ගලයකු වූ මේ සොඳුරු දාර්ශනිකයා එය ප්‍රතික්ෂේප කළේය.

ගල්වඩුවකු වූ සොක්‍රටීස්ගේ පියා සොෆ්‍රොනිස්කස් (Sophroniscus) ගේත්, වින්නඹු මාතාවක වූ සිය මව ෆෙනරයිට් (Fenerite) ගේත් ආභාසය යටතේ වැඩුණු සොක්‍රටීස් පසු කලෙක දාර්ශනිකයකු වීමේ රූපාන්තරණය පසුබිමේ බොහෝ කාරණා සහ සිදුවීම්ද තිබේ. එකල ඇතෑන්ස්හි ඔහු ලත් පාසල් අධ්‍යාපනය, උගත් ගායන වාදන ක්‍රීඩා ආදි විෂයයන්ද පියා යටතේ ගල්වඩුවකු ලෙස කළ සේවා අත්දැකීම්ද, පසුව ඇතෑන්ස්හි හමුදා සෙබළකුව පෙලොපනීසියන් (Peloponnesian) යුද්ධයට සහභාගි වීම, උසස් අධ්‍යාපනය සඳහා ඇසුරු කළ ඇකිලිස් (Achilleus) නමැති දාර්ශනිකයා මෙන්ම, ඔහුගේ උපදේශකයා වූ ස්වභාව දාර්ශනිකයකු වූ ඇනක්සගෝරස් (Anaxagoras) වැනි උගතුන්ගේ ඇසුරද ආදි බොහෝ කාරණා බලපාන්නට ඇත.

තමා විසින්ම මතු කරන කාරණා සියලු දේටම, තමාට පිළිතුරු නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ සොක්‍රටීස් මිනිසුන්ට නිවැරදි දේ පැවසීමට නොගියේ, හුදෙක් දැනුම ලබා ගැනීමෙන් සහ තර්කානුකූලව භාවිත කිරීමෙන්, තමන් ප්‍රඥාවන්ත යැයි සිතන අයගේ වැරදි විශ්වාස හෙළි කළ හැකි බව පෙන්වීමට පමණි.

ඔහුගේ අවසාන පාඩම වූයේ සියල්ල ප්‍රශ්න කිරීමය. එමඟින්, නිරවුල්යැයි කියනු ලබන දැනුම පවා ප්‍රශ්න කරයි. ඒ ඔස්සේ, කෙනකුගේ බුද්ධිමය ජයග්‍රහණ කොතරම් සිත් ඇදගන්නාසුලු වුවද, සෑම විටම, පුද්ගල දැනුමේ නිම් වළලු නැවත වරක් තමා විසින්ම සොයාගන්නා බව පසක් කරවයි.

අවාසනාවකට මෙන් ඔහුගේ සමකාලීන සෙසු ඇතීනියානුවන් බොහෝ දෙනකු, ඔවුන්ගේ විශ්වාස සහ ප්‍රඥාව පිළිබඳ සොක්‍රටීස් කළ ප්‍රකාශ විසින්, ඒ සියල්ල විසංයෝජනය කිරීම ගැන කෝපයට පත් විය. එසේම ඔවුන්ගේ අදහස් සහ එල්බගත් මතවාද, තර්ක අපෝරියා හෙවත් තර්කමය අවුල් ජාලා තත්ත්වයකට පත් කිරීම යන කාරණය, නිසැකයෙන්ම ඔහුට බොහෝ සතුරන් ඇති කළේය.

අවසානයේදී, ජේලර්වරයා අධිකරණ නියෝගය ප්‍රකාරව, විෂ සහිත හෙම්ලොක් (poison hemlock) ශාකයේ යුෂ බඳුන දාර්ශනිකයා අත තැබුයේ දැඩි ආතතියකිනි. එය පානය කර සුළු මොහොතකින් සියලු දෙනාගේ දෑස් කඳුළින් තෙත් කරමින්, මේ සුන්දර මිනිසාගේ සුසුම් පොද අතිශය අකාරුණික ලෙස වාතලයට මුසු වන’යුරු සේපියන්ස් ගොයියාද මනෝමයෙන් බලා උන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division