පසුගිය සතියේ අපි කතා කළේ අවුරුදු මිලියන ගණනාවකට එපිටින් සිදු වූ භූ විද්‍යාත්මක වෙනස්කම් නිසා සුවිශේෂී භූමියක් බවට පත් වූ මෙන්ම මින් වසර පන්දහසකටත් වැඩි ඈත ඉතිහාසයකට දිවෙන මානව ජනාවාස හා ශිෂ්ටාචාරයන්ට සම්බන්ධ සාධක ඇති මධ්‍යම තුර්කියේ කැපඩෝකියා ප්‍රදේශය ගැනය. සංචාරකයෙකු ලෙස නොදන්නා ප්‍රදේශය කරා මේ ගිය ගමනේ මා ලද අත්දැකීම් ගැන තව දුරටත් ලිවීමට තීරණය කළෙමි. වර්ග කිලෝමීටර් දහස් ගණනක් පුරා විසිරී ඇති කැපඩෝකියා ප්‍රදේශයේ වැදගත් ස්ථාන තෝරා බේරාගෙන නැරඹීමට යම් මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒ නිසා මගේ මිතුරෙකු විසින් නිර්දේශ කරන ලද සංචාරක සමාගමක සේවය ලබා ගැනීමට අපි තීරණය කළෙමු.
එය දින දෙකක සංචාරක පැකේජයකි. ගමන් සංවිධානය කරන කුඩා හා විශාල සමාගම් බොහෝ සංඛ්‍යාවක් තිබේ. ඔවුන් අතර ඉතා හොඳ සහයෝගිතාවයක් පවතින බවද අපට පෙනී ගිය කරුණකි. මාත් බිරියටත් ගමනේ අසුන් වෙන් කරගත් පසු මුළින්ම අප රැගෙන යාමට එන බස්රිය ගැන දැනුම්වත් වුණි. නියමිත වේලාවට අපි මජිදියකොයි මෙට්‍රෝ දුම්රියපොළ අසලට ගියෙමු.
අප අසල නතර කළ මුල්ම සංචාරක බසය අපගේ බසය නොවන බව අපට දැනගන්නට ලැබුණේ එහි ගමන් කරන මඟීන්ගේ නම් ලැයිස්තුව පරීක්ෂා කරන විටය. ඒ ආකාරයට බස් රථ තුනක් පමණ යනතුරු අපට එහි රැඳී සිටීමට සිදු වුණි. අවසානයේ නියමිත වේලාවට විනාඩි දහයක් පමණ පසුව අපගේ බසය පැමිණෙන ලදී. අප දෙස සිනාමුසුව බලා සිටි මඟපෙන්වන්නා අපගේ නම්වලින්ම ආසියාතික අප දෙදෙනා හඳුනා ගන්නා ලදී. ඔහුට ඉංග්‍රීසි භාෂාව තරමක් දුරට කතා කිරීමට හැකියාව තිබුණි. ඔහු දුටු පමණින්ම ඔහු ඉතා සුහදශීලී පුද්ගලයෙකු බව අපට වැටහුණ නිසා සතුටින් බසයට ගොඩ වුණි. ඒ වන විට බසයේ ආසන රැසක්ම හිස්ව තිබුණි.
ඉන්පසු අපි නගරය පසුකර ඉදිරියට ගමන් කරද්දී විවිධ ස්ථානවලින් තවත් බොහෝ පිරිස් බසයට ගොඩ වුණි. ඉස්තාන්බුල් දිස්ත්‍රික්ක සීමාව පසුකර යනවිට බසයේ සෑම ආසනයක්ම පිරී ගොස් තිබුණි. බස්රියේ විදේශිකයන් සිටියේ ඉතා සුළු පිරිසක් පමණි. ඇත්තෙන්ම මීට පෙර කිසි දිනක අසා හෝ නොතිබුණු මිනිසුන් හැට දෙනෙකුත්, රියදුරා සහ මඟපෙන්වන්නාත් සමඟ නොදන්නා භාෂාවක් කනට ඇසෙද්දී, නොදන්නා මංමාවත් ඔස්සේ දන්නා කියන පළාතකට යන ගමනක් එසේ ගමන් කරමින් තිබුණි. දන්නා පළාතක් එසේ පවසන ලද්දේ පෙර එහි ගොස් තිබූ නිසා නොවේ. ඒ ගැන අසා දැනගෙන සොයා බලා තිබූ නිසාය. බසයේ සිටි දේශීය මගීන් පවා එකිනෙකා කලින් දැන හඳුනාගෙන නොතිබුණි. එහි බොහෝ තරුණ ජෝඩු රැසක් සිටිති. අලුත විවාහ වූ තරුණ තරුණියන් හෝ අලුත් පෙම්වතුන් කැපඩෝකියා වෙත ගොස් පරෙවි නිම්නය ආසන්නයේ පිහිටි විශේෂිත කඳු මුදුනක කුඩා ඉබ්බෙකු තබා හෝ සංකේතාත්මක රූපයක් එල්ලා ඒම ජනප්‍රිය සිරිතක් බව පෙනුණි.
ඒ මුළු රාත්‍රියම අපි බසයේ ගමන් කළත් එය අපහසු ගමනක් නොවුණි. සෑම පැය දෙකකට වරක්ම බස් රථය මඟීන්ගේ වෙහෙස නිවා ගැනීමට නතර කරන ලදී. සුවපහසු නවීන බසය තුළම පානීය ජලය සහ වැසිකිළියක්ද තිබුණි. මඟපෙන්වන්නා හැමෝම ඇමතුවේ ‘හොජාම්’ යන නමිනි. එය ගුරුවරයාට හෝ කණ්ඩායම් නායකයාට කියන නමකි. හොජාම් හෙවත් අපගේ කණ්ඩායමේ නායකයා තිස් වයස් පමණ තරුණයෙකි. ඔහු සියලු දෙනා ගැනම අවධානය යොමු කරමින් ඉතා පරිණතව සහ වගකීම් සහගතව සිය කාර්යය සිදු කරන ලදී. ඒ වගේම ඔහු සෑම විටම සතුටින් සිනාසෙමින් සිටිනු දක්නට ලැබුණි. මේ උද්යෝගය සහ සුහද බව ටිකෙන් ටික සියලු දෙනා අතර පැතිරී යන්නට විය. තේ පානය කිරීමට එක දෙවරක් නතර කළ අවස්ථාවලදී අපි එකිනෙකා හඳුනා ගන්නට පටන් ගත්තේ භාෂාවේ බාධාව පරයා යමිනි.
අලුයම් වෙද්දී බසය කැපඩෝකියා ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ නගරයක් වන නෙව්සේහිර් වෙත ළඟා වුණි. අපි මුලින්ම උදෑසන ආහාරය ගැනීමට ඉතා දර්ශනීය අවන්හලක් වෙත රැගෙන යන ලදී. එය ඉතා සුවපහසු සහ ඉඩකඩ සහිත අවන්හලකි. උදෑසන ආහාරය සම්පූර්ණ තුර්කි උදෑසන ආහාරයකි (Turkish breakfast). ඉන්පසුව අපිව කැටුව ගියේ පරෙවි නිම්නයටය. මේ පරෙවි නිම්නයේ කුඩා කුඩා අළු පැහැති බුරුල් පස් සහිත කඳු ගැට රාශියක් ඇත. ඒවායේ සිරස් බිත්තිවල ලස්සන කුඩා කවුළු සහිත කුටි නිර්මාණය කර තිබුණි. මේවායේ දහස් ගණනක් පරෙවියන් වාසය කර ඇත. අප අසලට පියාඹා ආ පරෙවියන් සංචාරකයන් විසින් විසිකරන ලද ධාන්‍ය ඇට අහුලමින් ඉතා යුහුසුළුව ඔබ මොබ පියාසර කරන ලදී .
මේ පරෙවියන් ඇති කරන්නේ ගොවියන් විසින් පොහොර ලබා ගැනීම සඳහාය. සාපේක්ෂව නිසරු පසක් සහ අඩු වර්ෂාපතනයක් තිබෙන කැපඩෝකියා ප්‍රදේශය කෘෂිකර්මයට ප්‍රසිද්ධය. අවුරුදු දහස් ගණනකට පෙර කාලයේ සිට පරෙවි බෙටි එකතු කර පස සරු කර ගන්නා පුරුද්ද මේ ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ පවත්නකි. අදටත් මේ ප්‍රදේශයේ ගොවීන් ඒ පුරුද්ද වෙනස් නොකර එලෙසින්ම සිදු කරගෙන යනු පෙනේ.
ගොවීන් ශුෂ්ක කාලගුණයට ඔරොත්තු දෙන පඳුරු සහිත මිදි වර්ගයක් වගා කරනු දැකගත හැකිය. ඒ මිදිවලින් නිපදවන කැපඩෝකියා සුදු සහ රතු වයින් මුළු රට පුරාම ජනප්‍රිය පානයකි. අතීතයේ වයින් නිපදවූ ක්‍රමය සහ වයින් සඳහා මිදි වැවූ ක්‍රමය අදටත් එතරම් වෙනස් වී නොමැත.
පරෙවි නිම්නයේ පරෙවියන් නරඹමින්, පරෙවි පොහොරින් පෝෂණය වූ කෙටි මිදි පඳුරු සහ වයින් ගැන කතා කරමින් සිටි අපි ඊළඟට ගියේ කැපඩෝකියා ප්‍රදේශයේ තවත් වැදගත්ම කර්මාන්තයක් දැක ගන්නටය.
ඒ මැටි සහ සෙරමික් කර්මාන්තය ඉහළින් සිදු කළ පෙදෙසකි. අතීත හිටයිට් පාලකයන් සිටි ක්‍රිස්තු පූර්ව 1600 සිට 1200 දක්වා කාලයේදී පටන් තාමත් මැටි බඳුන් කර්මාන්තය ඉතා උසස් ලෙස සිදු කරන ලදී. පසුව අපි නැරඹීමට ගිය ප්‍රදර්ශනාගාරය අවුරුදු තුන්සිය පනහක් පමණ පැරණි බව එහි හිමිකරු පවසන ලදී.
පැරණි පාෂාණමය කඳු ගැටයක් හාරා පැරණි ලෙන් නිවහනක් තුළ එය ඉදිකර තිබුණි. එහිදී මැටි භාණ්ඩ සම්ප්‍රදායික හා විසිතුරු ලෙස නිර්මාණය කරන ආකාරයද අපට පැහැදිලි කරන ලදී. ඒ අතරතුර කැපඩෝකියා රතු වයින් වීදුරුව බැගින් පානයට අවස්ථාව හිමි විය. ඒවා තරමක් ‘තද‘ රසකින් යුක්ත වුවත් අලුත් මිහිරකින් යුතු විය.
තවත් පැයකින් පමණ අපි කඳුකර කැපඩෝකියා ළෙන් ප්‍රදේශය හරහා ඇදෙන මෝටර් බයිසිකල් සවාරියකට ගමන් කළෙමු. ඒ ගමනින් පසු අපි සංචාරක හෝටලයට පැමිණ වෙහෙස නිවාගෙන කල් ඇතිව රාත්‍රී ආහාරය ගන්නා ලදී. රාත්‍රී හතහමාරට පමණ අප කැඳවාගෙන යාමට නැවතත් බස් රථයක් පැමිණෙන ලදී. ඒ කැපඩෝකියා ප්‍රදේශයට ආවේණික සංස්කෘතික ප්‍රසංගයක් නැරඹීමටය. පුරාණ ග්‍රීක, රෝම සහ ඔටෝමාන් යුගවල සිට විකාශනය වූ යුදකාමී නාට්‍යයන්ද, සැහැල්ලු හොරොන් ජන නැටුම්ද, නාටිකාවන්ගේ අපුරු නර්තනයන්ද, අතරමැද සියලු දෙනාට සහභාගි වීමට සිදු වූ සාමූහික නැටුම්ද එහි අඩංගු විය.
නිර්ලෝභීව වයින් සහ මියුරු සංගීතයද සපයනු ලැබූ ඒ සංස්කෘතික රාත්‍රිය පැවැත්වුණේ කැපඩෝකියා භූගත නිවහනක අභ්‍යන්තරය හා සමානව නිර්මාණය කළ රංග ශාලාවකය.
පසුගිය සටහනේ විස්තර කළ භූගත නගර, එළිමහන් කෞතුකාගාරය, මුල්ම යුගයේ කිතුණු දේවස්ථාන නරඹන්නට මෙන්ම වායු බැලුන් අත්දැකීම් ලබන්නට අප ගියේ ගමනේ දෙවන දිනයේදීය. මේ ආකාරයට කැපඩෝකියා වෙත කළ සංචාරය මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් බවට පත්වුණා. එය නැවත නැවත යන්නට හිතෙන ගමනකි.