දහස් ගණනකගේ රැකියා පවා අවදානමකට ලක් වනවා
– වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
ග්‍රැෆයිට්, ඖෂධ වැනි අපනයන වැඩි කළ යුතුයි
– රදැල්ල හෝල්ඩින්ස් සභාපති තුෂිර රදැල්ල
කියන තරම් බලපෑමක් ඇති වෙන්නේ නෑ
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා
අන්තර්ජාතික වෙළෙඳාමේ හැටි ඔහොම තමයි
-කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්
දැනටමත් ඇණවුම් අවලංගු කරලා
– නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු
දේශීයත්වයට හුරු නොවීමේ විපාකයට මුහුණ දෙන්න වෙලා
– දේශීය ව්‍යාපාරික ආරියසීල වික්‍රමනායක
මෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව බදු අනුපාතයක් හඳුන්වා දීමත් සමඟ සමස්ත ලෝකයේම අවධානය ට්‍රම්ප් වෙත එල්ල වී ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට ට්‍රම්ප් විසින් සැලකිය යුතු බදු අනුපාතයක් පනවා ඇති අතර, එසේ වැඩිම බද්දක් පනවා ඇත්තේ ලෙසතෝ රාජ්‍යයටය. එය 50%කි. එමෙන්ම කාම්භෝජයට 49%ක්, ලාඕසයට 48%ක්, මැඩගස්කරයට 47%ක්, වියට්නාමයට 46%ක් හා ශ්‍රී ලංකාව සහ මියන්මාරයට 44%ක් බැගින් බදු පනවා තිබේ.
මියන්මාරය මේ වන විට දරුණු භූමිකම්පාවක් නිසා ආහාර අර්බුදයකට පවා මුහුණ දී ඇති රටක් වන අතර, ශ්‍රී ලංකාවද ආර්ථික අර්බුද හමුවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුව කටයුතු කළ යුතු රටකි. ආර්ථික අර්බුදයට පෙර ශ්‍රී ලංකාවේ රු. 170ත් 175ත් අතර උච්චාවචනය වූ ඩොලරයක වත්මන් වටිනාකම රු. 295ක් පමණ වේ. එවන් තත්ත්වයක් පවතිද්දී ට්‍රම්ප් විසින් පනවන ලද නව බද්ද හේතුවෙන් මෙරට ආර්ථිකයට හා අපනයන කෙරෙහි විශාල බලපෑමක් එල්ල වනු ඇති බවට මේ වන විටත් සමාජයේ දැඩි කතාබහක් හටගෙන තිබේ.
මේ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය 2 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද අතර, එය ක්‍රියාත්මක කිරීම 5 වැනිදා සිට කළ යුතු බවට දන්වා තිබිණි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එසේ රටවල් කිහිපයකට තීරුබදු ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ජනතාවටද දැකබලාගත හැකි පරිදි සජීව අන්දමිනි. එහිදී රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් නව තීරු බදු අනුපාත ලැයිස්තුවක් එළිදක්වන ලදි. ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේ අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාව පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යවත් කිරීමේ අරමුණින් මෙලෙස නව බදු පැනවූ බවයි.
නව බදු ප්‍රතිපත්තියට අනුව අවම වශයෙන් සියලු රටවල ආනයන සඳහා 10%ක බද්දක් පැනවේ. ඒ අනුව ඉහත දැක්වූ පරිදි ශ්‍රී ලංකාවට 44%ක තීරු බදු පැනවීමක් සිදු කර ඇති අතර, එය ලොව වැඩිම තීරුබදු පැනවූ රටවල් 5 අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා මේ දක්වා පනවා තිබුණු බදු ප්‍රතිශතය 12.2%ක් වූ අතර, මේ නව බදු පැනවීමත් සමඟ මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇඟලුම් අපනයනයන් සිදු කරනුයේ අමෙරිකාවට වන අතර, මේ බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට විශ්වාස කෙරේ.
මේ අතර, නව බදු අනුපාතය හේතුවෙන් පැනනැඟිය හැකි ගැටලු පිළිබඳ අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කමිටුවක්ද පසුගියදා පත් කරන ලදි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද ඊට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයාද මේ කමිටුවට පත් කර තිබේ.
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන මුළු භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 360ක් වන අතර, ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට වාර්ෂිකව අපනයනය කරන මුළු භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 3,000ක් පමණ වේ. එවිට අමෙරිකාවට ඇති ඍණාත්මක වෙළෙඳ ශේෂය (trade deficit) හෙවත් අගයන් දෙකේ පරතරය ඩොලර් මිලියන 2,640ක් පමණ වේ. මේ වෙළෙඳ පරතරය වන ඩොලර් මිලියන 2,640 අප විසින් අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවල වටිනාකම වන 3,000න් බෙදූ විට ලැබෙන අගය ප්‍රතිශතයක් ලෙස සැලකූ විට 88%ක් වනු ඇත [(2640÷3000)×100 = 88%].
අමෙරිකා රජය මේ වෙළෙඳ ශේෂය ඔවුන්ගේ රටට ආනයනය කරන භාණ්ඩවල වටිනාකමට දරන අනුපාතය ඔවුන්ගේ රටට අප රට විසින් පනවා ඇති බද්දක් ලෙස සලකා ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් අවසන් ගැනුම්කරුට මේ බදු වැඩි කිරීම නිසා භාණ්ඩයේ මිල වැඩි වීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි.
මේ නව බදු ප්‍රතිශතය හේතුවෙන් අපේ වෙළෙඳපොළට කුමක් වේද? අපි ඒ සම්බන්ධයෙන් මෙරට ආර්ථික විශේෂඥයන්ගෙන් හා මෙරට ආනයනයට සම්බන්ධ, ආර්ථිකයට දායකත්වය දක්වන කිහිප දෙනකුගේ අදහස් විමසුවෙමු.
* වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ අමෙරිකාවේ බදු ප්‍රතිපත්තිය මෙරට අපනයන කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
“අමෙරිකාව ලෝකයේ බලවත්ම ආර්ථිකයක් හිමි රටක්. ඩොලර් ට්‍රිලියන 29ක පමණ ආර්ථිකයකට හිමිකම් කියන අමෙරිකාව ලෝක ආර්ථිකයෙන් 26%ක් විතර සම්පාදනය කරනවා. අමෙරිකානු ආර්ථිකයේ තිබුණු දුර්වලතා නිසා 2024 වෙළෙඳ ශේෂය ඩොලර් ට්‍රිලියන 1.2ක් වුණා. එහි හිඟයක් ඇති වෙලා තියෙනවා. ඔවුන් ඩොලර් ට්‍රිලියන 36ක් ණය වෙලා. ඒ කියන්නෙ එක් පුරවැසියෙක් ඩොලර් 107,000ක් විතර ණයයි. අපේ සමස්ත අපනයනයෙන් 25%ක් විතර අපි අමෙරිකාවටයි යොමු කරන්නේ. ඉන් බහුතරය ඇඟලුම්. අමෙරිකන් අපනයනකරුවෙක් අපට ඩොලර් මිලියන 100ක අපනයන කළොත් ඔහුට හිමි වන්නේ ඩොලර් මිලියන 12යි.
“අපි අපනයනය කරන භාණ්ඩවල බද්ද 44%ක් වැඩි කිරීමෙන් අනිවාර්යයෙන්ම අපට ලොකු ආර්ථික හානියක් සිදු වේවි. භාණ්ඩ මිල වැඩි වුණොත් ගැනුම්කරුවන් ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙම වුණොත් දහස් ගණනකගේ රැකීරක්ෂා පවා අවදානමකට ලක් වෙනවා.
“දැනටමත් අපේ ඇඟලුම් අප්‍රිකානු රටවල් හා බංග්ලාදේශව වැනි රටවල් කරා යොමු වෙලා තියෙනවා. මේ නිසා අපට ඉදිරියේදී ඩොලර් අර්බුදයකට පවා මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුණ දුන් රටක් නිසා අමෙරිකාවෙන් අපට සහනයක් ලබා ගැනීමට කටයුතු කිරීම වැදගත්. අමෙරිකාවට අපේ මේ සුළු ගණන එතරම් විශාල ආර්ථික ගැටලුවක් වන්නේ නැහැ.”
* කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පෙන්වා දෙන්නේ අන්තර්ජාතික වෙළෙඳාම මත යැපෙන රටවල් මෙවන් අර්බුදවලට මුහුණ පාන බවයි.
“දේශීය ආර්ථිකයක් නැති වූ විට මෙවන් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වනවා. අපේ දේවල් අපි හදාගෙන ඉන්නවා නම් මෙවන් තත්ත්වයක් උදා වන්නේ නැහැ. එහෙත් තරගකාරි වෙළෙඳපොළ කියන්නෙ අනිවාර්යෙන්ම අපට අවශ්‍ය ලෙසින් හැසිරවිය හැකි තැනක් නෙමෙයි. අමෙරිකාව අපට ඒ සහනය දෙන්නෙ නැත් නම් අපට සිදු වන්නේ වෙනත් වෙළෙඳපොළක් කරා යන්න.
“මෙතනදි වෙලා තියෙන්නෙ අපි අමෙරිකාවට එක බද්දක්, ඉන්දියාවට අඩු බද්දක්, සිංගප්පූරුවට බදු නැතිව මේ වගේ එක එක බදු ක්‍රම භාවිත කිරීමයි. එකම ක්‍රමයක් අනුගමනය කළා නම් කිසිවෙක් ප්‍රශ්න කරන්න එන්නේ නැහැ.
“අපේ රටේ ආර්ථිකය අනුව අපට දේශීයත්වයට මුල් තැන දෙන ආර්ථිකයක් සකස් කරගැනීම අසීරු නැහැ. අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර සියල්ල තියෙනවා. ඉතා සුළු ආනයන ටිකක් විතරයි අවශ්‍ය වෙන්නෙ. ඒත් අපනයන කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට: තමන්ගෙ වත්තෙ කන්න බොන්න ඕන කරන එළවළු පලතුරු සේරම තියෙනවා නම් අල්ලපු වත්තෙ කෙනා අපෙන් ගන්න දේට බදු ගැහුව කියල අපට ඒක ඒතරම් ප්‍රශ්නයක් නෙමෙයිනෙ.”
* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා පෙන්වා දෙන්නේ මේ බදු අය කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ සමස්ත අපනයන වෙළෙඳාම කෙරෙහි දැඩි බලපෑමක් ඇති නොකරන බවයි.
“අමෙරිකානු ආනයනික භාණ්ඩ වෙනුවෙන් ශ්‍රී ලංකාව අය කරන 88% බද්ද වෙනුවට අමෙරිකාව ඉන් අඩක් එනම් 44%ක බද්දක් අය කරනවා කියන පෙනෙන සරල තර්කයක් තියෙන්නෙ. මෙහිදී සාමාන්‍යයෙන් අන්‍යොන්‍ය බදු අය කිරීමක් තමයි සිදු වෙන්නේ. එහෙම නැතුව, එක්වරම අපි 88%ක් ගන්න නිසා ඒකෙන් බාගයක් හරියටම ගන්නවා කියන තර්කයක් නෙමෙයි.
“අපි මෙහිදී සැලකිය යුතු වන්නේ අපෙන් අමෙරිකාවට අපනයන කරන භාණ්ඩ මොනවාද කියන එකයි. වෙනත් භාණ්ඩ සුළු ප්‍රමාණයක් හැරුණාම අපි අපනයනය කරන්නෙ ඇඟලුම්. ඒ ඇගලුම් සාමාන්‍ය තත්ත්වයේ ඒවා නෙමෙයි. ඉතා ඉහළ ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුක්ත ඇඟලුම්. ඒ නිසා අමෙරිකානු වෙළෙඳපොළේ ඒ සඳහා ඉතා ඉහළ පිළිගැනීමක් තියෙනවා. අපෙන් ඒ සඳහා 44%ක බද්දක් අය කරනවා කියන එකෙන් ඒ භාණ්ඩවල මිල සාමාන්‍ය පරිදි වැඩි වීමක් වෙයි. එය යම් ආකාරයකට අපේ අපනයන කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඒක අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඒත් අපේ ඇඟලුම්වලට තියෙන ඉල්ලුම ඒ ප්‍රමිතිය ඒ අයගේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මෙතනදි බොහෝ දුරට මට නම් පෙනී යන්නේ අපිට විශාල වෙළෙඳ කඩාවැටීමක් සිදු නොවන බවයි: මත්පැන් මිල කොයි තරම් ඉහළ ගියත් ඉල්ලුමේ අඩුවක් වෙන්නේ නැහැ වගේ.
“මෙහිදී මිල නම්‍යතාව න්‍යාය කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඇඟලුම් මිල බොහෝ දුරට අනම්‍ය වීමට පුළුවන්. ඒ කියන්නෙ භාණ්ඩයේ මිල වැඩි වුණාට ඉල්ලුම අඩු වන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල ගුණාත්මක හා ආදේශක අවම වීම අනුව එය අනම්‍ය වනවා.
“ඒ වගේම පෙන්වා දිය යුතුයි ශ්‍රී ලංකාව තුළ තියෙන බොහෝ සමාගම් අමෙරිකානු හා ශ්‍රී ලංකා දෙරටේම ඒකාබද්ධව කටයුතු කරන සමාගම්. ඒ නිසා සමස්තයක් ලෙස ගත් කල මෙහිදී අපට මහා විශාල බලපෑමක් සිදු නොවන බව මගේ හැඟීමයි. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් සිදුවීම නම් වැදගත්.”
* රදැල්ල හෝල්ඩින්ස් ලිමිටඩ් සභාපති තුෂිර රදැල්ල පෙන්වා දෙන්නේ අමෙරිකාව සමඟ සාකච්ඡා කර අප එකඟත්වයකට පැමිණිය යුතු බවයි.
“ඇමරිකාවට අපේ ආර්ථික දායකත්වය 0.0001යි. එවන් තත්ත්වයක ඉඳගෙන අපට එයාලට කේවල් කරන්න බැහැ. ට්‍රම්ප් බලාපොරොත්තු වන්නෙ අමෙරිකාවෙන් අපිට වැඩි පුර ආනයනය කරවන්න. ඒක කරන්න ගියොත් අපිට අධික මිලට ඉන්ධන ගෙන්වීම වැනි සිද්ධාන්තයන්ට තමයි මුහුණ දෙන්න වෙන්නෙ.
“ඒත් අපි කළ යුත්තේ අපට අමෙරිකාවට අපනයන කරන්න පුළුවන් ග්‍රැෆයිට් වැනි දේ වැඩියෙන් අපනයනය කිරීමට ක්‍රමවේද සකස් කිරීමයි. ටෙස්ලා ආයතනයේ බැටරි සෑදීමට ග්‍රැෆයිට් වැනි දේ විශාල පිටිවහලක් වෙනවා.
“මේ බදු පැනවීමෙන් අපේ ඇඟලුම් මෙන්ම රබර් ආශ්‍රිත නිෂ්පාදනවලටත් විශාල පහරක් වදිනවා. අපි බලන්න ඕනෑ දැනට සුළු වශයෙන් අපනයනය කරන ඖෂධ වැනි දේ වැඩි වශයෙන් අපනයනය කරලා අපනයන වෙළෙඳපොළ අමෙරිකාවට තවත් වැඩි කරන්න. කොහොම වුණත් මේ විදිහට නම් අපට ඉස්සරහට යන්න බැරි වෙනවා. අපේ ලොකුම වෙළෙඳපොළක් අමෙරිකාවෙ තියෙන්නෙ. ඇමරිකාව ලෝක බලවතා සංකල්පයත් එක්ක අපිව එයා ළඟට ගෙන්වාගන්න. ජනාධිපතිතුමා මේ වන විට කමිටුවක් හදලා තියෙන්නෙ මේ කරුණ ගැන ඉදිරි කටයුතු කරන්න. ඒ හරහා ඉක්මනින් පිළියමක් ලැබේවි කියල හිතනවා.”
* නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු පවසා සිටියේ අමෙරිකාව මෙරට ඇඟලුම් ආනයනයේ මුල් තැනක සිටින බවත්, ඒ වෙළෙඳපොළ අහිමි වීම මෙරට වෙළෙඳාමට දැඩි බලපෑමක් එල්ල කරන බවත්ය.
“අපේ වෙළෙඳපොළෙන් 45%ත් 60%ත් අතර ප්‍රමාණයක් යැවෙන්නේ අමෙරිකානු වෙළෙඳපොළටයි. ආයෝජන කලාප හරහා 70%ක් 80%ක් පමණ අමෙරිකාවට අපනයන සැපයෙනවා. එමෙන්ම මැණික් වෙළෙඳාමෙන් පවා අපට මුල් තැනක් ගෙන දෙන රටක් ලෙස අමෙරිකාව හඳුන්වා දෙන්න පුළුවන්. මේ බදු අය කිරීම මඟින් ඇතිව තිබෙන තත්ත්වය ඉතා අවදානමක් හිමි වනවා. මේ වන විටත් අපට අමෙරිකාවෙන් හිමිව තිබුණු ඇණවුම් අවලංගු කරන ලෙස දැනුම් දී තියෙනවා.
“රජය මේ සම්බන්ධව සාකච්ඡා කරලා මේ බදු ප්‍රතිශතය අඩු කරගැනීමට පියවර ගත යුතුයි. මේ වන විට සමස්ත ලෙස 10%ක බද්දක් අය කිරීම අරඹලා තියෙන්නේ. නව වෙනිදා සිට අපට 44% බද්ද අය කරනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් දිය යුතුයි.
“අමෙරිකාව බලන්නෙ ප්‍රතිශතාත්මතව එයාලට සිදු වන පාඩුව අවම කරගැනීමට. අප තේරුම් ගත යුතුයි විශේෂයෙන්ම අඩුආදායම්ලාභී විශාල සේවක පිරිසක් ඇඟලුම් කම්හල්වල සේවය කරන බව. ඒ අයගේ රක්ෂාවලට විශාල ගැටලුවක් වන්න පුළුවන්. මේ තත්ත්වය සුළුවෙන් තකන්න පුළුවන් කරුණක් නෙමෙයි.”
* පැල්වත්ත සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක පවසන්නේ මේ අර්බුදය අපිම ඇති කරගත්තක් බවත් දේශීයත්වයට මුල් තැන නොදීම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි.
“අපි මේ අවස්ථාවේ කළ යුත්තේ දේශීයත්වයට මුල් තැන දීමයි. විශේෂයෙන්ම කොස්, දෙල් වැනි ආහාරපාන ගැන අපි හිතුවා නම් මෙවන් තත්ත්වයක් ඇති වන්නෙ නැහැ. අමෙරිකාවක් අල්ලගෙන දඟලන එක නෙමෙයිනෙ අපට කරන්න තිබුණෙ. වැඩි වන ජනගහනයට අපි වගාවන් කළ යුතුයි. විද්‍යාත්මක තර්ක, ආර්ථික විද්‍යාවක් අමුතුවෙන් ඕනෑ නැහැ. අපේ රටේ සොබාදහමින් මේ තරම් දායාද දීලා තියෙනවා. කොතන පැළයක් වැවුවත් ඵලදාව ලැබෙනවා. එහෙම තත්ත්වයක් තියාගෙන අපි විදේශ රටවලට ගැති වෙලා කරන වෙළෙඳාම නිසා තමයි මේ දේ වෙලා තියෙන්නෙ.
“මෝසම් වැසි කාල දෙකක් තියෙනවා. පැය 12ක් ඉර එළිය තියෙනවා. ඔස්ට්‍රේලියාවෙ වගේ මාස 6ක් සීතලෙන් ඉතුරු මාස 6 රස්නෙන් ඉන්න වෙලා නෑ. අපේ ආච්චිලා සීයලා මේ රටේ ජීවත් වෙච්ච ක්‍රමය අපි වෙනස් කරලා, විදේශ ගැති වෙලා, අපේකම පැත්තක දාල තියෙන්නෙ. අනුන් මත යැපීමේ ආර්ථිකයක් අපි නිර්මාණය කරගෙන තියෙන්නෙ. ඒ තත්ත්වය වළක්වාගන්න දැනුත් ප්‍රමාද නැහැ. අද කොස් ගහක් වැවුවොත් තව අවුරුදු 5කින් ඵලදාව ලැබෙයි.”
කෙසේ වෙතත් අමෙරිකාවේ මේ බදු ප්‍රතිපත්තිය කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇත. ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවට මේ අභියෝගය ජය ගැන්ම කෙසේ කළ හැකි වේද?