ජාතික ජන බලවේගයට එරෙහි මතවාද පරාජය කිරීමට ඔබ දැවැන්ත ප්‍රචාරකයෙක් වුණා. දැන් නිහඬ ඇයි?
අපට විශාල වැඩ ප්‍රමාණයක් තිබුණේ පසුගිය මහමැතිවරණ කාලයේදී. ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය නිසා අවුරුදු 76ක් විනාශ වුණු, වැටුණු, බංකොලොත් වූ රටකටයි අපි අත තිබ්බෙ. රුපියල ශක්තිමත් කිරීම, සංචිත ප්‍රමාණය, කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනය කර ගැනීම වැනි විශාල වැඩ කොටසක් කිරීමට තිබුණා. ඉතා කෙටි කාලයක් තුළ රට ස්ථාවරත්වයකට ගේන්න අපට හැකියාව ලැබුණා. ලෝකයේ ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ඒකක දෙකකින් අපේ රට ඉහළට දැමීමෙන් බංකොලොත්භාවය නැති වුණා. නිල නිවාස ගන්නේ නැතිව, විශ්‍රාම වැටුප් වාහන අවභාවිත නොකර, වරදාන වරප්‍රසාද ගන්නෙ නැති මැති ඇමැතිවරු විශාල ප්‍රමාණයක් අපි ගෙනාවා. ඒ වෙනස්කම් කරන්න පසුගිය මාස 4දී විශාල වෙහෙසක් දැරීමට සිදු වුණා. එළියට නොපෙනෙන අභ්‍යන්තරිකව විශාල වැඩ කොටසක් තිබුණා. ඒ වෙනුවෙන් අපි නිහඬව නමුත් වේගයෙන් වැඩ කළා.
මහ මැතිවරණයෙන් පසුව සැඟවී සිටි විපක්ෂයේ පිරිස දැන් පාළුගෙයි වළං බිඳිනවා කියලා ඔබ හිතන්නේ නැද්ද?
ඡන්දයකින් විපක්ෂය කවදාවත් මේ වගේ අසරණ වුණේ නැහැ. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ විපක්ෂය දැන් පක්ෂ අභ්‍යන්තර ගැටුම් නිසා කෑලි කැඩිලා. සජිත් මහත්තයාගේ පිලේ සභාපති පවා ඉල්ලා අස්වෙන්න ලියුම් දීලා තියෙනවා. අපි වරප්‍රසාද කප්පාදු කරන කොට ඒ අය කියනවා වෛද්‍ය රක්ෂණය, ගුවනින් යන්න අවශ්‍යයි කියලා. ඒ අය තවමත් රටේ ජනතාවගේ හදවත් සහ මේ අර්බුදය තේරුම් අරගෙන නැහැ; සිස්ටම් චේන්ජ් කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැහැ. මේ අයට ස්ථාන දෙකක් ඉතිරි වෙලා තියෙනවා. එකක් පාර්ලිමේන්තුවේ කෑගහන එක සහ මයික් ඇල්ලුවොත් පුරසාරම් දොඬවන එක. විපක්ෂයට දේශපාලනය කරන්න තවදුරටත් දෙයක් ඉතුරු වෙලා නැහැ.
බටලන්ද ගැන කතා කරන එජාප හිටපු මන්ත්‍රීවරයෙක් කියනවා, ආරක්ෂාව සඳහා මිනී මරන්න අයිතියක් තියනවා කියලා?
කිතුලට ගිය මිනිහටත් උත්තර තිබුණත් මේ අයට නම් දැන් දෙන්න උත්තර නැති වෙලා. ඒ නිසා මේ වගේ බොරු කියනවා. රනිල් වික්‍රමසිංහ මේ රටේ ඝාතනාගාර හදමින් ඒවා බලමින් ස්වයංවින්දනයක් ලැබූ බව බටලන්දෙන් පැහැදිලි වෙනවා. 1977දී බලය අරගෙන සති දෙකක් පොලීසියට නිවාඩු දීලා, විරුද්ධ පාක්ෂිකයන්ගේ ගෙවල් කඩන්න බිඳින්න, ගිනි තියන්න ඒ අය කටයුතු කළා. 80 වැඩ වර්ජනයෙන් එක්ලක්ෂ හැටදහසක් එළියට දැම්මා. සෝමපාල සහෝදරයා මරන්නේ ආණ්ඩුවට විරුද්ධව දෙයක් කරලා නොවෙයි. අපි මේ දකින්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මන්දබුද්ධික භාවයේ ප්‍රදර්ශනයක්. ඒ වගේ සුළු සිදුවීම්වලින් මේ අපරාධය වහන්න පුළුවන් වෙයි කියලා හිතන්න බැහැ.
ආණ්ඩුවට දැනට ඉටු කර ඇති වැඩ කොටසේ ප්‍රචාරක වාසිය ගන්නවත් වැඩපිළිවෙළක් නැහැ කියලා ජනතාව කියනවා?
ආණ්ඩුවේ වැඩපිළිවෙළ මේ රටේ මිනිස්සු හොඳින් දන්නවා. ඒවායේ ප්‍රතිලාභ අතට ලැබෙන, ඇඟට දැනෙන ප්‍රතිලාභ බවට පත් වෙලා තියෙනවා. ශිෂ්‍යයන්ට රුපියල් 6,000ක් දෙන කොට, අස්වැසුම විශාල ප්‍රමාණයක් වැඩි කළාම, ළමා නිවාසයේ ජීවත් වන දරුවාට පවා විවාහ වෙනකොට දස ලක්ෂයක් දෙන්න කටයුතු කරනකොට ඒ දේවල් රටේ ජනතාවගේ හදවතට දැනෙනවා. අපි භාර ගත්තේ සියලු දේවල් තිබුණු රටක් නොවෙන බව මතක තබාගත යුතුයි. ඉතිහාසයේ කවදාවත් නොගත් පියවර අපි ගත්තා. ඉන්දියාවේ අගමැති ලංකාවට එද්දි එය ඇහෙන ප්‍රවෘත්තියක්, ඇහැට දකින ප්‍රවෘත්තියක්. ඒ වගේම අපි දන්නවා ඇඟට දැනෙන දැවැන්ත දේවල් වෙලා තියෙනවා. එහෙත් මේ රටේ ඇතැම් මාධ්‍ය එකක් දෙකක් ඒ දේවල් දකින්නෙ නැහැ.
විපක්ෂයේ අඬන කිහිප දෙනෙකුත් ඉන්නවා. අපි කිසිදු වරප්‍රසාදයක් භුක්ති නොවිඳ මේ දේවල් කරන බව දන්න මිනිසුන් අතිශය බහුතරයක් මේ රටේ ඉන්නවා. ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවකට නොවූ මනුෂ්‍යත්වයේ හදවතක් මේ ආණ්ඩුවට තියෙනවා. ආර්ථික නිදහස අවශ්‍ය අයට ආර්ථික නිදහස වගේම ප්‍රජාතන්ත්‍රවාදය අවැසි අයට ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව තියෙන රටක් අපි නිර්මාණය කරලා තියෙනවා. සහනාධාර අවශ්‍ය අයට සහනාධාර තියෙනවා. අපේ ආණ්ඩුව ඇතුළෙ සියලු දේවල් මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම කියන්න කැමැතියි. අපි කරන දේවල් අපි ජනතාවට කියනවා. රැස්වීම්වලට ගිහිල්ලා විශේෂයෙන් ගමට ගිහිල්ලා මේ සියලු දේවල් කියනවා. ඉතිහාසයේ තිබුණු ආණ්ඩු සුළු වැඩක් ගැන පවා රටේ එහා කෙළවරටම පෝස්ටර් ගැහුවට අපට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය ජනතා හදවත්වල ජීවත් වෙන්න මිසක් තාප්ප පුවරු, ටීවීවල ජීවත් වෙන්න නෙවෙයි. අපේ දේශපාලනය තියෙන්නේ ජනතාවගේ බුද්ධිය ඇතුළෙයි.
ඒත් ඇතැමුන් කියන්නෙ ජනාධිපතිවරයා ආණ්ඩුව තනියම ගෙනියනවා කියලයි?
අපේ ආණ්ඩුව කියන්නේ හැමෝටම පේන ජනාධිපති, කැබිනට් ඇමතිවරු 21 සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ 159 දෙනා විතරක්ම නෙවෙයි. ආණ්ඩුව ගෙනයන්නේ ජාතික ජන බලවේගය කියන පක්ෂයයයි. හැම ගමකම, හැම වීදියකම, හැම නිවාස සංකීර්ණයකම, හැම ගොවිපොළකම, පිටරටකම විශාල බලවේග රැසක් අපට තියෙනවා. කාන්තාවන්ගේ, ත්‍රිවිධ හමුදා, කලාකරුවන්, තාක්ෂණික අංශෙය්, විශ්වවිද්‍යාලවල උගතුන් මේ හැම දෙනාගේම කැපවීමෙන් මැදිහත් වීමෙනුයි මේ ආණ්ඩුව ගෙනියන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට මේ රට වෙනස් කරන්න බැහැ. පළාත් සභා, ප්‍රාදේශීය සභාවලට පමණක් මෙය කරන්නත් බැහැ. මේ පුළුල් බහුජන ව්‍යාපාරයට පමණයි මේ රට හදන්න පුළුවන්. චීනය, ජපානය වැනි රටවල්වලින් අපට ගන්න පුළුවන් ආදර්ශය එයයි. ජනාධිපතිවරයාගේ විශේෂ හැකියාවත් සමඟ ඒ කාර්යභාරය කැපීපෙනෙනවා ඇති. එහෙත් අපි ගෙනියන්නේ සාමූහික ප්‍රයත්නයක්.
පුංචි ජන්දයේ බරත් ජනාධිපතිවරයා පිට පැටවිලා, ජනාධිපතිවරයා ගම වටේ දුවනවා කියලා ඇතැම් මන්ත්‍රීවරුන් චෝදනා කරනවා?
අනෙක් දේශපාලනඥයන්ට වඩා ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් ජනාධිපති සහෝදරයාගේ භාවිතාව, ආකර්ෂණය තිබෙන නිසා ඔහු ගමට යෑම ඔවුන්ට මරු පහරක් විදිහටයි දකින්නෙ. ජනාධිපතිවරයා මැතිවරණ ව්‍යාපාරයට යම් මැදිහත් වීමක් තිබෙනවා. මේ මොහොතේ සියලු දෙනාම දේශපාලන ක්‍රියාකාරිත්වයේ ඉන්නවා. ජනාධිපතිවරයාගේ විශේෂ හැකියාව මත එය ප්‍රදර්ශනාත්මක වෙන්න පුළුවන්. විපක්ෂයට එය දැනෙන නිසා එය විවේචනය කරනවා, ඒ ගැන වැඩිපුර කතාබහට ලක් වෙනවා. මේ ප්‍රචාරණ රැලිවලට යන මුදලින් ගමට දෙයක් කරන්න කියලයි ඒ අය කියන්නේ. එහෙත් ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරුන් ගියේ මේ විදිහට නොවෙයි. ඒ අය යනකොට සීටීබී එකට ලක්ෂ එක්දහස් හැත්තෑවක් ණයයි, රැස්වීම්වලට බස් ගෙනියලා. ඒ වගේම රූපවාහිනියට ලක්ෂ ඒක්දහස් හැත්තෑවක් ණයයි, දැන්වීම් දාලා. ඒ විදිහට රාජ්‍ය දේපොළ වියදම් කරමිනුයි ඔවුන් මැතිවරණවලට සම්බන්ධ වුණේ. අපේ ජනාධිපතිවරයා ඒ කිසිවක් නැතුව ජනතාව ඒකරාශි වන තැනට ගිහිල්ලා කතා කරන ඒක විතරයි කළේ. ඒ නිසා ඔහුගේ භාවිතාවට හා හැකියාවට බය අය චෝදනා කිරීම ගැන අපි කනගාටු වෙන්නේ නැහැ.
ට්‍රම්ප්ගේ බදු පැනවීම යටතේ ලංකාවටත් 44%ක බද්දක් පැනවෙනවා කියනවා. එයින් සිදු වන බලපෑම මොකක්ද?
ට්‍රම්ප්ගේ දේශපාලන මැදිහත් වීම අපි සියලු දෙනාම ගැඹුරින් අත්හදා බලන්න අවශ්‍යයි. මේ සමාජ ආර්ථික ක්‍රමෙව්දයට තවදුරටත් යන්න බැහැ කියන ඒකයි අමෙරිකාවේ දේශපාලන කාරණාව හැටියට දකින්නේ. ඒ නිසා ගොඩක් රටවල් ආරක්ෂණ වැඩපිළිවෙළක් අනුගමනය කරමින් යනවා. බදු ක්‍රම නැතුව ඕනෑම වෙළෙඳපොළකට ඇතුළත් වෙන්න ඉඩ දෙන්න කියලා කිව්ව ඒ න්‍යායම තමයි අද ඒ රටවලින් ගිලිහිලා තියෙන්නේ. මෙය ලෝක ධාරාව තේරුම් ගත යුතු දැවැන්ත දේශපාලන කථිකාවක්. මෑත යුගයේ සංවර්ධන වූ රටවල් කිහිපයක් නිෂ්පාදන ආර්ථිකයක් ලෙස ඉදිරියට එනවා, අමෙරිකාවට එය අභියෝගයක් වන නිසයි මේ ක්‍රියාමාර්ග ගන්නේ. අපි මේ ගැන විචාරශීලිව බලන්න අවශ්‍යයි. මේ ප්‍රතිපත්ති රටවල් ගණනාවකටම පැනවුණ දෙයක් මිසක්, රටක් ඉලක්ක කර ගත් එකක් නොවෙයි. මෙහි බරපතළ අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන්, වෙනත් මාවත් හොයාගන්න අවස්ථාවක් බවට මෙය පත් කරගන්න පුළුවන් කියන දේශපාලන න්‍යායේ අපි ඉන්නවා.
අධ්‍යාපනයට වෙන් කළ වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කළා. ඒ මඟින් වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට ගන්නා පියවර මොනවාද?
රටක වෘත්තීය අධ්‍යාපනය ඉතා වැදගත්. එසේම විදෙස් විනියම සොයාගැනීම ජාතික නිෂ්පාදිතයට ඍජුව බලපානවා. අඩු ලංසුවක් මෙයට තිබුණේ. මේ වන විට ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 6කට වඩා මුදලක් අයෝජනය කර තියෙනවා. 2026 වන විට අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ගේන්න උත්සාහ කරනවා. ශාස්ත්‍රීය අධ්‍යපනයට මෙන්ම වෘත්තිය අධ්‍යාපනය හදාරන්නටත් අපි අවකාශ හදනවා.
ඔබේ විෂයපථයට අදාළව කතා කළොත්: අතරමඟ පාසල් හැර යන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගනු ලබන පියවර මොනවාද?
අතරමැද පාසල් හැර යන දරුවන් විශාල පිරිසක් ඉන්නවා. ගිය සතියේ ඉදිරිපත් කළ වර්තාවක් අනුව ළමයි 10ට අඩු පාසල් ලංකාවේ 115ක් තියෙනවා. අතරමැද ළමයි පාසල් හැරයාම ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. අද බන්ධනාගාරයේ තිස්දාහක් ඉන්නවා. එයින් 62%ක් 8 පන්තියට පෙර පාසල් හැර ගිය අය. 91%ක් සා/පෙළ අසමත් දරුවෝ. මේ රටේ අපරාධ සහ අධ්‍යාපනය අතරමැද නතර වීම අතර ඥාති සම්බන්ධතාවක් තියෙනවා. ඒ නිසි අධ්‍යපනයක් නොමැති වීම නිසයි. අපි දැන් දැනුම්වත් කිරීම් කරනවා, දරුවෙක් පාසල අතහැර ගිය වහාම රජයට එය දැන්විය යුතුයි කියලා. ඊට මැදිහත් වෙලා එයට උත්තර සැපයීමට රජය සූදානම් වෙලා ඉන්නවා. දරුවෝ අතර මැද පාසල් අධ්‍යාපනය අවසන් නොකිරීම අපේ ප්‍රතිපත්තියයි.
පාසල් අධ්‍යාපනයට සමගාමිව වෘත්තීය අධ්‍යාපනය ඇතුළත් කරන බව කිවුවත්, කිසිදු ආණ්ඩුවක් එය කළේ නෑ. මේ රජය යටතේවත් පාසල් අධ්‍යාපනයට වෘත්තීය අධ්‍යාපනය ඇතුළත් වෙයිද?
අනිවාර්යයෙන්ම. පාසල ඇතුළේදිම දරුවාට වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කිරීම අවශ්‍යයි. දරුවන්ට විභවතාවක් තියෙනවා නම්, රජය ඒ විභවයන් අනුව අවශ්‍ය මාවත නිර්මාණය කළ යුතුයි. රජයේ වගකීම දක්ෂතාව, නිපුණතාව හඳුනාගෙන, එය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් පාසල තුළම නිර්මාණය කිරීමයි.