Home » ආණ්ඩුව රනිල්ගේ කලිසම හොඳටම ඇඳගෙන

ආණ්ඩුව රනිල්ගේ කලිසම හොඳටම ඇඳගෙන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

ඔබ මේ අවස්ථාවේදී දේශපාලනිකව කොතැනද ස්ථානගත වෙලා ඉන්නේ?

දැනට මම පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. පසුගිය මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණින් ඡන්දයට ඉදිරිපත් වුණා. ඒ පක්ෂයෙන් ඡන්දය ඉල්ලපු සියලු පිරිස් ඒකරාශි වෙලා නව පක්ෂයක් සහ අලුත් සන්ධානයක් ගොඩනැඟීමේ ස්ථාවරයක ඉන්නවා. විපක්ෂය ලෙස අපි සියලු ජාතිකවාදී බලවේග එකතු වෙලා රටට ආදරය කරන සියලු බලවේග එකට එකතු කර එකම දේශපාලන බලකඳවුරක් ගොඩනැඟීමේ අරමුණින් ඉන්නේ. මේ වෙලාවේ මම සියලු දේශපාලන පක්ෂ සම්බන්ධීකරණය කිරීමයි කරන්නේ.

මේ වන විට ඔබ ගෑස් සිලින්ඩරයේ සහ පොහොට්ටුවේ දෙකේම නැහැ කියලාද කියන්නේ?

ගෑස් සිලින්ඩරයේ සිටින කට්ටිය පොහොට්ටුවේ ඉන්න කට්ටිය සමඟි ජන බලවේගය සර්ව ජන බලය නිදහස් පක්ෂය සාකච්ඡාවක ඉන්නවා. සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් පුළුල් වැඩපිළිවෙළක් ගොඩනැඟීමට කටයුතු කරනවා. රට වෙනුවෙන් හිටගන්න පුළුවන් ජාතිකවාදි කඳවුරක අවශ්‍යතාවක් තියෙනවා. මැයි 9 වැනිදා වූ දේශපාලන පෙරළියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට යෝජනා කළේ රාජපක්ෂවරුන්මයි. ගෝඨාභය මහතා ජනපති ධුරයෙන් ඉවත් වුණාට පස්සේ රාජපක්ෂවරුන් රනිල් මහත්තයාව ඒ කෙටි කාලයට ජනාධිපතිවරයා ලෙස පත් කරන්න යෝජනා කළේ. ඒ වැඩපිළිවෙළට අපි සහය දුන්නා. අපි කුමන වෙලාවකවත් එජාපයට ගියේ නැහැ. පොජපෙ සාමාජිකයන් ලෙස හිඳිමින් 2024 සැප්තැම්බර් වෙන කල් එතුමාට උදවු කළා. රනිල් වික්‍රමසිංහ මහතා මේ රට විශාල අර්බුදයකින් ගොඩගත්තා. ඒ නිසා අපි එතුමා වෙනුවෙන් පෙනී හිටියා පමණයි. එදා එතුමා විශාල කාර්යභාරයක් මේ රටට කළා. ඒ ක්‍රමවේදය දිගටම ගෙනයනවා නම් තමයි මේ රටේ දියුණුව තියෙන්නේ. අපි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලෙස එතුමාට සහය දුන්නේ රට වෙනුවෙන්. ඒ හැර අපි කුමන අවස්ථාවකවත් එජාපයට ගියේ නෑ. රනිල් වික්‍රමසිංහගේ පරාජයත් සමඟ පොජපෙ පක්ෂයේ පරාජයත් සහ අනෙකුත් සියලු කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් ජන්ද ඒ ප්‍රතිඵලත් සමඟ අපි දැන් ඉවත් වෙලා ඉන්නවා. ජනතා හිතවාදී තැන අපි නැවත ගොඩනැඟෙනවා.

මේ දේවලින් ඔබේ දේශපාලන ගමන අඩාළ කරගත්තා කියලා හිතන්නේ නැද්ද?

රට වැටුණ වෙලාවක අපට අපේ පෞද්ගලික දේශපාලන ගමන අඩාළ වෙනවාද යන පටු අරමුණක් තිබුණේ නැහැ. සද්භාවයෙන් රට වෙනුවෙන් ඒ දේ කළේ. ජනතාව වුණත් ඒ ගැන දන්නවා කියලා මම හිතනවා. එදා පොහොටුවේ ඒ මන්ත්‍රී ඇමැති කණ්ඩායම ගත්තේ අවදානමක්. මේ මාලිමා ආණ්ඩුව එන්න කලින් සමාජගත කරලා තිබුණ බොරු විශ්වාස කරලා ජනතාව ඡන්දය දීලා ජයග්‍රහණය කළත් අපි එදා ජනතාව වෙනුවෙන් අවංකව පෙනී සිටියා. අපි ගත්ත තීන්දුව සහ මාර්ග නිවැරැදියි. අපට පෞද්ගලිකව අපේ දේශපාලනයට කැළලක් වුණා යන කාරණාවෙන් ඔබ්බට ගිහිල්ලා අපි මේ තීන්දුව ගත්තේ. අපි විශ්වාස කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නයි අවශ්‍ය වුණේ. ආර්ථික පරිවර්තන පනත, මුදල් කළමනාකරණ පනත, එලෙසින්ම ක්‍රියාත්මක කරනවා. වත්කම් අත්පත්කර ගැනීමේ කෙටුම්පත වැනි කරුණු මේ ආණ්ඩුව ඉදිරි සතිවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ ආණ්ඩුවත් ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන එක හොඳයි. රනිල්ගේ කලිසම මේ ආණ්ඩුව හොඳටම ඇඳගෙන ඉන්නේ මේ ආණ්ඩුව කරන්නේ ඒ දේවල්ම තමයි අපි පසුතැවිලි වෙන්නේ නැහැ. අපි ඒ වෙලාවේ ගත්ත ක්‍රියාමාර්ග තමයි හරිම ක්‍රියා මාර්ග. මේ ආණ්ඩුවත් අද රනිල් මහත්තයාගේ පින්තූරය බෙල්ලේ පිටුපස ඉල්ලගෙන අනුර මහත්තයාගෙ පින්තූරය ඉස්සරහා එල්ලගත්තාට වැඩක් නැහැ. ඇත්තටම රනිල් මහත්තයාගේ පද මාලාව සංගීත තැටිය තමයි තාම වැයෙන්නේ.

කොහොම වුණත් ඔබ පසු පසුන් සිටි ජනතාව අතරමං වෙලා කියලා හිතන්නේ නැද්ද?

අපි එක්ක සිටිය ජනතාවට අපි නිදහස දුන්නා කැමැති කෙනෙක් තෝරාගන්න. අපි මේ ඡන්දයට කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් කළා. එහිදී කෝට්ටේ බහුතරයක් සර්ව ජන බලයට යා යුතු බව කිවුවා. ඒ අනුව බහුතරයක් ඒ සමඟ සම්බන්ධ වුණා. පොහොට්ටුව සමඟ තවත් පිරිසක්ද ස්වාධීන කණ්ඩායම් සමඟ තව පිරිසක් සම්බන්ධ වුණා. මේ සියල්ල මැතිවරණයෙන් පසුව එක් තැනකට එයි කියලා අපි හිතනවා. අපි ඒ ගැන විශ්වාසයෙන් ඉන්නවා.

ආණ්ඩුව ස්ථාවර ගමනක් යනවා කියලා ඔබ පිළිගන්නවානේ. එසේ නම් මාලිමාවට ගමත් ගොඩනැඟිය හැකියි කියන තැන ඔබ ඉන්නවාද?

අපි හැමෝගෙම රට නිසා ඊර්ෂ්‍යාවෙන් පාරට බැහැලා කෑගහලා ආණ්ඩුවට බාධා කරලා මේ රට අවුල් කරන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුව වැරදි නම් විවේචනය කරන ක්‍රම තියෙනවා. එසේ නැතිව ග්‍රාම්‍ය විදිහට කඩාකප්පල් කරන්න කිසිම අදහසක් නැහැ. මේ වෙලාවේ විපක්ෂයේ කිසිම පක්ෂයක් මිනිස්සු පාරට බස්සනවා කියන තැන නැහැ. මේ වෙලාවේ රට තිබෙන තත්ත්වයත් සමඟ ඕනම කෙනකුව පාරට බස්ස ගන්න පුළුවන්. ජනතාව පීඩාවෙන් ඉන්න වාතාවරණයක් තිබුණත්, මේ වාතාවරණය තුළ ජවිපෙ පසුගිය ඡන්ද කාලයේ වගේ බොරුව සමාජගත කරන්න කළ දේවල් මේ අවස්ථාවේදී කරන්න බැහැ. ඒවගේ බොරුව සමාජගත කරන අයගේ බාල දේවල් සමාජගත කරන්න අපට අවශ්‍ය නැහැ. ඒ වගේම ආණ්ඩුව කිව්ව දේවල් කරයි කියලා බලාපොරොත්තුවෙන් මේ රටේ මිනිසුන් බලාගෙන හිටියා. ඒත් කළේ නැහැ. ඒ අය වගේ අපි පහළ මට්ටමේ හඩු දේශපාලනයක් කරන්නේ නැහැ. ඒ වගේ ම ඒ අය ඇවිල්ලා මාසෙන් කරන වැඩ තවම කළේ නැහැ. හාල් මාෆියාව එක පෑන් පාරින් ඉවත් කරනවා කිව්වා. පරිප්පුවලට බදු ගහන්න මේවා මොන ආණ්ඩුද කිව්වා. අධ්‍යාපන උපකරණවලට 18% බද්ධ ඉවත් කරනවා කිව්වා. ඖෂධවල වැට් එක ඉවත් කරනවා කිවුවා. මේ රටේ මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉවත් කරනවා කිවුවා. පුනරුද ලියවිල්ලේ තියන දේවල් විවිධාකාරයි. ඒ දේවල් කිසිවක් කරන පාටක්වත් අපිට පේන්න නැහැ. එසේම IMF එකේ තිබෙන ජනතාවට පීඩාකාරි දේවල් ඉවත් කරනවා කිව්වා. රනිල් මහත්තයා ආර්ථික වැඩපිළිවෙළ ගෙන ගියේ එදා හිටපු ආර්ථික විශේෂඥයන් සමඟයි. මේ අයත් කරන්නේ රනිල් මහත්තයා කරපු දේවල්ම තමයි. ඒත් අපි වැඩපිළිවෙළක් දුන්න පළියට ඒක ගෙනයන්නත් දැනුම තියෙන කෙනෙක් වෙන්න අවශ්‍යයි. ඒ අනුව රටේ තියෙන ප්‍රශ්න අමතක කරන්න; එක් එක් සංදර්ශන කරමින් වැඩක් නැහැ. මේ රටේ මිනිසුන් බලාගෙන ඉන්නේ.

මම අහන්නේ පළාත් පාලන ආයතනවල බලය ඉදිරියට ගෙන යන්න මේ ආණ්ඩුවට සහය දිය යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද?

කෝට්ටේ නගර සභාව 1990 දශකයයේදී එජාප පාලනයක් යටතේ තිබුණ අවස්ථාවක කොළඹ හොඳම නගර සභාව බවට පත් වුණේ චන්ද්‍රා ද සිල්වා තිබූ පාලනයයි. ඒ වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය සමයේ කෝට්ටේ නගර සභාව හොඳම නගර සභාවක්. ඒ නිසා ගමේ තිබුණ බදු මුදල් එකතු කරලා ගමත් සමඟ තියන වැඩ ටික මහ ආණ්ඩුවත් සමඟ තිබෙන වැඩපිළවෙළත් එක්ක ලොකුවට සම්බන්ධ කරන්න දෙයක් නැහැ. ගමේ ආණ්ඩුව ප්‍රතිවිරුද්ධ දේශපාලන බලයකින් කරනවා නම් මම හිතන්නේ හොඳ තරගයක් තියෙන්නේ. එවිටයි සංසන්ධනාත්මකව බැලීමක් සිදු වන්නේ. ඒනිසා මේ තත්ත්වය මත විපක්ෂයට බලය එයි කියලා අපි හිතනවා. මේ ජනාධිපතිවරයා රට වටේ ගම වටේ යන්නේ නැතුව පොරොන්දු ඉටු කරන්නයි අවශ්‍යයි. එතුමා සතියෙන් මාසෙන් කරනවා කිවුව දේවල් කළේ නැහැ. කලින් ආණ්ඩුවේ ව්‍යාපෘති ටිකයි, හදපු දේවල් විවෘත කරනවා හැර තවම කිසිවකට අතවත් තිබ්බේ නැහැ. ඒ විදියට කරනවා මිස නව ව්‍යාපෘතියක් කරන්නේ නැහැ. ජනාධිපතිවරයා රට වටේ යන කොට විශාල වියදමක් යනවා. ඒ මුදල්වලින් පාරක් බෝක්කුවක් හදන්න පුළුවන්. ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලනවා රට සහ ගම හරහා දුවන්න එපා. ජනාධිපතිවරයා සැප්තැම්බර් ජනාධිපති වෙන්න දුවපු විදිහට දැන් දුවලා වැඩක් නැහැ. මහින්ද මහත්තයා, රනිල් මහත්තයා විවේචනය කර කර දුවලා වැඩක් නැහැ. වෛරී දේශපාලනය නැවත මේ රටට අවශ්‍ය නැහැ. මිනිසුන් උසිගන්වා වැඩක් නැහැ. මේක ගොඩනඟන්නයි දැන් සියලු දෙනා ඒකරාශි වෙන්න අවශ්‍ය. අපි මිනිසුන්ට කරන්න පුළුවන් උපරිම දේ කළා. තවදුරටත් ගම වටේ බොරු කියලා ප්‍රාදේශීය සභා ටික දිනුවා කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම විවේචනය කළ ඔබ ඒ දෙසට සම්පූර්ණයෙන් හැරුණේ කොහොමද?

අපට එතුමාගේ දේශපාලනය සම්බන්ධයෙන් සහ නව ලිබරල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවේචන තියෙනවා. අපි රට බංකොලොත් වූ අවස්ථාවේ ඔහු රට ගොඩනඟයි යන විශ්වාසය අපට තිබුණා. එතුමා කරපු පරිපාලනමය වැඩ කොටසට අපි එකඟයි. එසේ නැතිව පොජපෙට විරුද්ධව කරපු දේවල් නොවෙයි. ඒ වෙලාවේ රට වෙනුවෙන් හිටිය හොඳම කෙනා රනිල් මහත්තයා. ඒ නිසා එතුමා වෙනුවෙන් අපි හිටියා.

විශාල‌ ලෙස දූෂණ, වංචා චෝදනා පසුගිය ආණ්ඩු යටතේ පළාත් සභා ආයතනවල නායකයන්ට තිබුණා නේද? මේ සංස්කෘතිය වෙනස් විය යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද?

මිනිසුන් ඡන්දය දීලා පත් කරන්නේ කැමැත්ත නිසා. ඡන්දය දුන්නම අපේක්ෂකයාට සාධාරණත්වයක් තියනවා ඒ ධුරය භාරගන්න. වැරදි කරන අය විෂමාචාර තියෙනවා කියලා දේශපාලන අයිතිය නැති කරන්න බැහැ බොරු කියලා.

ඔබ ඒසේ කිවුවත් මේ තරම් බලයක් මේ ආණ්ඩුවට දුන්නෙ කලින් අයට විරෝධයක් තියෙන නිසා නේද?

මේ අය කළේ මිනිසුන්ට බොරු කියලා අන්දලා පාර්ලිමේන්තුවට ගිය එකයි. මේ අයගේ ලිස්ට්වල මහාචාර්ය ආචාර්යවරුන් ඉන්නවා කියලා තිබුණා පස්සේ බලන විට ඒ වගේ දේවල් නැහැ. උත්තරීතර පාර්ලිමේන්තුවේ කථානායක තනතුරටත් ඒ වගේ ප්‍රශ්නයක් ආවා. ඇඟිල්ලක් දික් කරන විට ඇඟිලි හතරක් තමන්ට දික් වෙනවා. ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂයෙත් ඉන්නවා. ඒක කොයි පක්ෂයේද කියලා නැහැ. චෝදනා තියන ඕනෑ කෙනකුට නීතිමය පියවර ගන්න පුළුවන්. ගමේ අපෙක්ෂකයා ගැන දැනුම තියෙන්නේ ගමේ මිනිස්සුන්ට. ඒ ගැන ජනතාවට තීන්දුව ගන්න පුළුවන්.

කෝට්ටේ ජනතාව තවමත් ඔබ ගැන විශ්වාසයෙන් ඉන්නවා කියලා හිතනවාද?

අනිවාර්යයෙන්. මම කෝට්ටේට ජනතා බදු මුදලින් කරන්න පුළුවන් සියල්ල කළා. පාරවල් 80ක් විතර සකස් කළා. කොළඹ කෝට්ටේ පාලර් දෙකක් හදලා තියනවා. ගිනි නිවන ඒකකයක් හා මුදාගැනීම් ඒකකයක් සකස් කිරීමට කටයුතු කළා. බහුකාර්ය මධ්‍යස්ථානයක් මිලියන සියයක පමණ මුදලින් ගොඩනඟලා තියෙනවා. ක්‍රීඩා පිටි දියුණු කරලා තියනවා.මාතෘ සායන දියුණු කරලා තියනවා. රටක අගනගරයක් කිවුවාම එය සුවිශේෂයි. ඒ තත්ත්වය ඇති කරන්න මම කැපවෙලා වැඩ කරලා තියෙනවා. එහෙත් සමහර අය මේ නගරය, අගනගරය කියලා හිතන්නේ නැතුව වැඩ කරන්නේ. ඉදිරියට කෝට්ටේ අභිමානය රැකගන්න හැකි විදිහට ක්‍රියා කළ හැකි නායකත්වයක් කෝට්ටේ ඇති වෙයි කියලා අපි හිතනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division