Home » එකිනෙකට වෙනස් චරිත රඟන්න කැමැති ‘කුකුල් බබා’ හෙවත් මධුශානි පෙරේරා

එකිනෙකට වෙනස් චරිත රඟන්න කැමැති ‘කුකුල් බබා’ හෙවත් මධුශානි පෙරේරා

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment
අනුෂා රණසිංහ

– රඟපෑම් කටයුතු කරන ගමන් ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා
– මම කියන්නේ චරිතවලින් දකින චරිතය නෙවෙයි

නාඩගම්කාරයෝ නාට්‍යයේ ජානු ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් මධුශානි පෙරේරා මේ දිනවල පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ රාග හි නිරාශා ලෙසින්. රාග කියන්නෙත් ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණයක්.

රාග හි නිරාශා ගැන කිවුවොත්?

නිරාශා කියන්නේ හොටෙල් එකක ඉන්න ඩිලිවරි බෝයිට කැමැත්තක් ඇති වෙලා ඒ කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැතුව ඒක දැනෙන්න හරින චරිතයක්. ඒත් එයාගේ ආදරේට ප්‍රතිචාර දක්වන්නේ නැති නිසා පළිගැනීම් කරන චරිතයක්. මේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

කාලෙකට පස්සේ ඔබව දකින්න ලැබෙන්නේ, පසුගිය කාලේ වැඩිය දකින්න නොලැබුණේ ඇයි?

මම නිර්මාණ කිහිපයක් කළා. නමුත් ඒවා කලින් ඒවා තරම් ප්‍රේක්ෂකයින් අතරට ගියේ නැහැ.

බොහෝ දෙනා ඔබ හඳුන්වන්නේ නාඩගම්කාරයෝ හි ජානු, එහෙමත් නැත්නම් කුකුල් බබා කියලා නේද දන්නේ

ඇත්තෙන්ම ඔව්. මම ගොඩක් ජනප්‍රිය වුණේ නාඩගම්කාරයෝ හි ජානු විදිහට. තාමත් ගොඩ දෙනෙක් මගේ ඇත්ත නමට වඩා දන්නේ ජානු කියලා. ඒ එක්කම කුකුල් බබා කියලා අදටත් කතා කරන අය ඉන්නවා. නාඩගම්කාරයෝ නාට්‍යය ඉවර වෙලා අවුරුදු 3කට ළං වෙන්න එනවා. තාමත් ප්‍රේක්ෂකයින් ඒ චරිතෙට සහ ඒ නාට්‍යයට කැමැතියි. එහෙම ආදරයක් ලැබීම ගැන සතුටුයි.

ඔබ චරිත තෝරනවද ?

මෙහෙමයි. නාඩගම්කාරයෝ හි ජානු විදිහට ජනප්‍රිය වුණාට පස්සේ දිගටම ලැබුණෙත් එවැනිම චරිත නිසා මම ටිකක් භාර ගත්තේ නැහැ. මම කැමැති එකිනෙකට වෙනස් චරිත කරන්න.

රංගනය පමණද ඔබේ වෘත්තීය?

මේ වෙද්දී මම මගේ අලුත්ම ව්‍යපාරයක් පටන් ගත්තා. Terlik නමින් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක්. රඟපෑම් කටයුතු කරන ගමන් ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා.

ඔබට රංගනයේ දී සීමාවන් තියෙනවද?

ඔව්. චරිතයක දී සීමා ඇතුළේ උපරිම සාධාරණය ඉටු කරන්න තමයි මගේ උත්සාහය. ගොඩක් වෙලාවට ඇඳුම් තෝරා ගනිද්දී සැලකිලිමත් වෙනවා. ඒ එක්කම ආදර චරිත කරද්දී ඒ චරිතේ ස්වභාවය ගැන හොයලා තමයි භාර ගන්නේ.

රංගනයෙන් සමුගන්න අදහසක් නැහැ නේද?

දැනට මට එහෙම අදහසක් නම් නැහැ. ලැබෙන චරිත අතරේ කරන්න පුළුවන් චරිත භාර ගෙන කරනවා.

රංගන ශිල්පිනියක් නොවුණා නම් කවුරු වෙයි ද?

රංගනයට එන්න කලින් මම කළේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ. නිළියක් නොවුණා නම් දිගටම නිරූපණ ක්ෂේත්‍රයේ ඉඳියි.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

මේ වෙද්දී රාවණ සීසන් 3 කරලා ඉවරයි. තව එක ටෙලි නාට්‍යයක මුල් අදියරේ වැඩ කළා. ඒ එක්කම මගේ පළමු සිනමා නිර්මාණයත් එන්න තියෙනවා.

ඒ සිනමා නිර්මාණය ගැන අපට කියන්නකෝ?

‘එළ ද බ්‍රා‘ කියන හාස්‍ය මුසු වුණු සිනමා නිර්මාණයකට තමයි මට මුලින්ම රංගනයෙන් දායක වෙන්න ලැබුණේ. එය අධ්‍යක්ෂණය කළේ පූජිත ගුණතිලක.

මධුශානි කියන්නේ මොන වගේ චරිතයක් ද?

ඇත්තටම කියනවා නම් මම කරපු චරිතවල වගේ කෑගහගෙන දඟලගෙන ඉන්න චරිතයක් නෙවෙයි. මම මගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙක්. චරිතවලින් දකින චරිතය නෙවෙයි මම. ඒ නිසාම සමහර අය මාව දැකලා කතා කළාම අයියෝ ඔයා අර වගේ නෙවෙයිනේ කිසි සද්දයක් නැහැනේ, පැත්තකට වෙලා ඉන්නවනේ කියනවා. ඒ විදිහ තමයි මගේ සැබෑ විදිහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division