මේ හිරුගෙ වාරයයි – ගී ඇසෙන කාලයයි
රැයේ සිහින සැබෑ කරන සොඳුරු යාමයයි
ගයන වයන රඟන නටන සතුටු ලෝකයයි…
අඳුරු තිර වසා හිරු ලොව නැඟේවි
සොඳුරු ලොවට එන්නට අඬගසාවි
හද ප්‍රාර්ථනා – සුබ ප්‍රාර්ථනා
නිසසල සිත සසලව ඉකිබිඳීවි
සොම්නස් මෙන් දුක් දොම්නස් නැඟේවි
සිත් නඟාලා – හැම දරාලා
ජය ගන්නට කාලය බව කියාවි
ගායනය සහ සංගීතය – ඉන්ද්‍රජිත් දොළමුල්ල
පද රචනය – පසිඳු මිහිරාන් රැටියල
මං හැමදාමත් කැමැති මගේ පාඩුවේ ඉන්න. පුංචිම කාලෙත් එහෙමයි. අපේ ගෙදර තිබුණේ හරිම නිහඬ පරිසරයක්. පොතපතට වැඩි ඇල්මක් දක්වපු මගෙ අක්කා අයියා ගෙදර ඉන්න වෙලාවට කාලය ගත කළේ පොත් එක්ක. අම්මා තාත්තා වුණත් අපේ නිදහසට බාධා කළේ නැහැ. පවුලේ බාලයා වෙච්ච මමත් ඒ ක්‍රමයට හුරු වුණේ නිතැතින්මයි. අපි යෞවන වියට එළඹුණාට පස්සේ ප්‍රේමය ගැන මුල්ම හැඟීම දැනුණේ කොහොමද කියලා මට මතක නෑ. ඒත් ඇය තමයි මගෙ හිතට හුඟක් ළං වුණේ. ඇය අම්මගෙ යෙහෙළියකගෙ දුවක්. ආදරයක් පටන් ගත්ත ගමන් අපි බොහෝම බැඳීමෙන් හිටියා.
දවස දවස ගෙවන කොට තමයි මට ඒ ආදරේ වදයක් වෙන්න ගත්තේ. මං යන්නෙ කොහෙද, මොනවද කරන්නේ, ගමනක් ගියාම ඒ ගිය තැන ඉඳගෙන එයාට කෝල් කරන්න ආදි හුඟක් දේ මට කරන්න වුණා. දවස දවස ගෙවන කොට මට හිතුණා ඇයි මම මේ තරම් පීඩනයකින් ඉන්නේ… මෙහෙම ආදරයක් මොකටද… කියලා. එහෙම හිතලා, මම එයාගෙන් වෙන් වුණා. මට දැන් දැනෙනවා මගෙ හිත දැන් හරි නිදහස් කියලා.”
මගෙ පාසල් මිතුරිය මේ කතාව කිවුවේ හුඟක් ඉස්සර. මේ වන විට විදෙස්ගතව සිටින ඇය අදටත් ගෙවන්නේ තනිකඩ ජීවිතයක්. එහෙත් ඒ ජීවිතයේ සැහැල්ලුව ගැන ඇය අද කතා කරන්නේ හරිම සැනසීමකින්. ආදරයක් ලැබීමෙන් හිතට දැනෙන්න ඕනෑ සැනසීමක්. ඒ සැනසීමත් එක්කයි අප ජීවිත කාලයම ගෙවන්න ඕනෑ. නමුදු හිතට වද දෙන ආදරයකින් ඇති ඵලය කුමක්ද?
එහෙම ප්‍රශ්නයකට උත්තර හොයන මොහොතක තමයි නවපරපුරේ ගී පද රචකයකු වන පසිඳු මිහිරාන් රැටියල ලියූ මේ ගීතය අහන්න ලැබුණේ. ගීතය ගයන්නේ ඉන්ද්‍රජිත් දොළමුල්ල. මේ ගීතයේ වටපිටාව ගැන ඇහුවාම මිහිරාන් අපට කිවුවේ මේ වගේ කතාවක්:
“ප්‍රේමය හැමදාමත් එකම විදිහට වුණාට අපේ සමාජයේ කාලයෙන් කාලයට ඒ ප්‍රේමය විඳින දකින විදිහ හරි වෙනස්. ඒක පරම්පරා වෙනසත් එක්ක වෙන දෙයක් ලෙසයි මම දකින්නේ. ඒත් ආදරය කියන ඒ මානුෂීය හැඟීම හරිම ආදරණීයයි. මේ ගීතය ලියන්න මට මගේ මිතුරන් කිහිප දෙනකුගේ අත්දැකීම් හේතු වුණා.
“පෙම්වතෙක් තම ටොක්සික් ප්‍රේමයෙන් මිදී, පෞද්ගලික ජීවිතයේ අරමුණු දිනාගැනීම ගැන මේ ගීතයෙන් කියවෙනවා. ජීවිතයේ බොහෝ ඉලක්ක සපුරාගනිමින් ඉදිරියට යන තරුණයකුට පෙම් සබඳතාවක් ආරම්භ කරනවා. ඔහුගේ පෙම්වතිය ටොක්සික් පෙම්වතියක්. ඇය ආදරයේ නාමයෙන් ඔහුගේ ජීවිතයේ ඉලක්ක සපුරාගැනීමේ ඉඩ අහුරනවා; ඔහුව හිර කරනවා; හිර කරමින් ඔහුව පීඩනයට පත් කරනවා. ඔහු කැමැති දේ කරන්න දෙන්නේ නෑ. ආදරය නාමයෙන් පෙම්වතා පෙම්වතිය කියන දේට අවනත වුණත් ඔහු එය කරන්නේ කැමැත්තෙන් නොවේ. ඔය විදිහට මේ ආදර කතාව ගලාගෙන ගිහින්, එක්වරම එය බිඳ වැටෙනවා.
“හිරුගේ වාරයට පෙර අඳුරු තිර පිරුණු රාත්‍රිය කියන්නේ ඒ හිතුවක්කාර මුරණ්ඩු සරලවම කිවුවොත් සැකයෙන් පිරුණ ඒ පෙම්වතිය සමඟ ගෙවුණු කාලය. ඇත්තටම මේ පෙම්වතාට හීන ගොඩක් තියෙනවා. ඒත් ඔහු සිය පෙම්වතිය සමඟ ඉන්න කාලේ ඒ හීන හැබෑ කරගන්න ලැබුණේ නැහැ. ඔවුන්ගේ ප්‍රේමය බිඳවැටෙනවා. හිතේ හිර කරගෙන සිටි හීන සැබෑ කරගන්න කටයුතු කරනවා. ඒ ලෝකයට ඔහුගේ ජීවිතයට සතුටු ලෝකයක්. ප්‍රේමය අහිමි වීමත් ඔහුට දුකක්. සැම කෙනකුටම විරහවකදී දැනෙන වේදනාව ඔහුටත් තියෙනවා. ඇය ඔහුගේ පෞද්ගලික ජීවිතයට බාධා කළේ ඔහුගේ පෞද්ගලික දියුණුවට තියෙන ඉරිසියාවකින් නෙවෙයි. ඇය එසේ කළේ ලිංගික ඉරිසියාව නිසායි. ඔහු ඇයටත් තිබූ ප්‍රේමය නිසා ඔහුගේ සිත සසල වෙලා තියෙනවා. ප්‍රේමය අත්හැර පෞද්ගලික දියුණුව සොයා යෑමේ සතුට සොම්නස එක් පැත්තකින් තිබුණත් විරහවේ වේදනාව හෙවත් දොම්නසත් ඔහුට තියෙනවා. ඒත් ඒ දොම්නස දරාගෙන පෞද්ගලික ජීවිතයේ අරමුණු ජය ගන්න හොඳම කාලය මෙය බව කියන්නයි මට ඕනෑ වූණේ. එනිසයි මම ගීතයේ අවසානයට මේ විදිහට ලිවුවේ:
.
“නිසසල සිත සසලව ඉකිබිඳීවි
සොම්නස් මෙන් දුක් දොම්නස් නැඟේවි
සිත් නඟාලා – හැම දරාලා
ජය ගන්නට කාලය බව කියාවි…”