Home » මට අභියෝගයක් වගේම වාසනාවත් තියෙනවා

මට අභියෝගයක් වගේම වාසනාවත් තියෙනවා

දුමී වන්නිආරච්චි

by thanushika
April 6, 2025 12:30 am 0 comment
 නාමලී ගමගේ

සංගීතේ ටෙලි නිර්මාණයේ තුෂාරී ලෙසින් ඔබේ ආදරය දිනාගත් ඇය 4චූන් RESIDENCYහි තාරා මෙන්ම තත්පරයක් දෙන්න ටෙලි නිර්මාණයේ බන්ටි ලෙසින් ද ඔබ හමුවට ආවාය. ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටිද්දීම හිටිහැටියේ නොපෙනී ගිය ඇය ගැන ප්‍රේක්ෂක ඔබට ද ගැටලුවක් වූ බව සැබෑවකි. තුෂාරි ලෙසින් ඔබේ ආදරය දිනූ ඇය නමින් දුමී වන්නිආරච්චිය. නුදුරේදී තිරගත වීමට නියමිත කුළුඳුල් සිනමා රංගන අත්දැකීම විඳගැනීමේ නොඉවසිල්ලෙන් පසුවන ඇය අද අප හා කතාබහට එක්වූවාය.

තුෂාරි කියන්නේ ඔබේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. හිටිහැටියේම තුෂාරි පේන්න නැතුව ගියේ ඇයි?

හැමදාම මං මුල්තැන දුන්නේ අධ්‍යාපනයට. උපාධියේ ෆයිනල් එක්සෑම් නිසා මට රංගනයෙන් පොඩ්ඩක් ඈත්වෙන්න වුණා. තුෂාරි තමයි මාව ප්‍රේක්ෂකයින් අතරට අරන් ගියේ. අදටත් මඟතොටේදී ඔයා තුෂාරි නේද කියල අහන පිරිසක් ඉන්නවා. මාව තුෂාරිට තෝරගත්ත සාරංග මෙන්ඩිස් අයියට ස්තුතිවන්ත වෙන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා. ඊට පස්සේ ධනුෂ්ක රේමන්ගේ ‘ද ලේක්’ ටෙලි නිර්මාණයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ලබන මාසයේ සිට මිනි සීරිස් එකක් විදිහට විකාශය වීමට නියමිත ‘ද ලේක්’ රසික සුරවීරගේ තිර රචනයක්. සේමිනී ඉද්දමල්ගොඩගේ නිෂ්පාදනයක්. ඊට අමතරව ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ දේවි කුසුමාසන චිත්‍රපටයත් ඉදිරියේ දී තිරගත වීමට නියමිතයි. මගේ කුළුඳුල් සිනමා අත්දැකීම රිදි තිරයේ දැකගන්න ආසාවෙන් ඉන්නවා.

ජයන්ත චන්ද්‍රසිරි වගේ ප්‍රවීණයෙක් යටතේ සිනමාවට පිවිසෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒක ලොකු සතුටක්. ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ එහි සහාය අධ්‍යක්ෂවරයාගෙන්. කොස්ටියුම් ඩේ එක දවසේ ජයන්ත සර්ව හමුවුණාට පස්සේ කුසුමාසන දේවියගේ හොඳම යෙහෙළිය පත්මාගේ චරිතයට මාව තෝරගත්තා. දෙසැම්බර්වල කාස්ට් වෙලා, ජනවාරි ඉඳන් මාර්තු 10 දක්වා ෂූට් කළා. ඔහු වගේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු යටතේ මගේ කුළුඳුල් රංගන අත්දැකීම ලබන්න හැකිවීම මගේ වාසනාවක්. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇසුරේ අත්දැකීම් බෙදාගන්න ලැබීමත් මට ලොකු පන්නරයක් වුණා. මහේන්ද්‍ර පෙරේරා, උදාරි වර්ණකුලසූරිය, හේමාල් රණසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, මේඝ සුරියආරච්චි, වසන්ත විට්ටච්චි වගේ ප්‍රවීණයන් ආධුනික මට ලොකු සහායක් දුන්නා.

ඒ අත්දැකීම ගැන කතා කළොත්?

කුසුමාසන දේවියගේ චරිතයට රංගන දායකත්වය ලබා දුන්නේ උදාරි අක්කා. පත්මාගේ චරිතයත් ආරම්භයේ සිට අවසානය දක්වාම දිවෙන චරිතයක්. උදාරි අක්කා මට නිතරම සපෝට් කළා. විශේෂයෙන්ම මහේන්ද්‍ර පෙරේරා අයියාව මතක් කරන්නම ඕන. ඔහුත් සමඟ සීන් එකක් තිබුණොත් ඒක කොහොමද ගොඩනඟා ගන්නේ, මොනවිදිහට ද ඒ ඒ අවස්ථාවට මූඩ් වෙනස් කරගන්නේ කියලා ඔහු මට නිතරම උපදෙස් දුන්නා. හරියට මට රංගන පාසලකට ගියා වගේ අත්දැකීමක් ලැබුණා.

පත්මා කියන්නේ ඉතිහාසයේ සෘජුවම නොකියවෙන චරිතයක් නිසා එය ඔබට අභියෝගයක් වෙන්න ඇති?

ඔව්. පත්මා කියන්නේ පැහැදිලිවම කතාබහට ලක්වුණු චරිතයක් නෙවෙයි. අනුමාන කරලා නිර්මාණාත්මකව ගොඩනඟපු චරිතයක්. ඒ නිසා පත්මා මොනවගේ ද කියන එක ගැන මට මූලික අදහසක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් දේවියකගේ ළඟින්ම ඉන්න, හැම දේටම උදව් කරන යෙහෙළියන් ඉන්නවා. පත්මාත් ඒ වගේ චරිතයක් කියන පදනම මත තමයි චරිතය ගොඩනඟලා තිබුණේ. අධ්‍යක්ෂවරයාගෙන් වගේම අනෙක් ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙනුත් ලොකු සහායක් ලැබුණා. ඓතිහාසික කතාවක් ඇසුරින් ගොඩනැඟුණු චරිතයක් කියන්නෙම අභියෝගයක් තමයි.

මෙතෙක් කවුරුත් ප්‍රතිනිර්මාණය නොකළ චරිතයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

එක පැත්තකින් අභියෝගයක් වගේම අනෙක් පැත්තෙන් වාසනාවක් කියලත් හිතෙනවා. ඒ වගේම ඒක මට ලොකු අධ්‍යාපනයක් වුණා කිව්වත් හරි. කැරැක්ටර් එකක් කරද්දි කොතරම් ලොකු අධ්‍යයනයක් කරනවද කියන එක වගේම කොතරම් දුරට ඒ ගැන අවධානය යොමු කරන්න ඕනද කියන එක ගැන මං පළවෙනි සිනමා අත්දැකීමෙන්ම ගොඩක් ලොකු අත්දැකීමක් ලැබුවා.

හැදෑරිමක් එක්ක ක්ෂේත්‍රයට පිවිසීම කොතරම් දුරට වැදගත් කියල ද ඔබ හිතන්නේ?

ඇත්තටම ඒක ගොඩක් වැදගත්. පහුගිය දවස්වල මං රංගනයට පොඩි විරාමයක් දීලා මගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැනක් දුන්නා. රංගනය මං උපාධියටත් හදාරණ නිසා කැරැක්ටර් එකක් ගොඩනඟා ගනිද්දී කොතරම් රිසර්ච් කරනවද කියන එක මං දන්නවා.

බොහෝ දෙනෙකුගේ රංගනය ඒකාකාරී සීමාවකට කොටුවෙනවා. ඔබේ රංගන පරාසය ගැන කිව්වොත්?

ගොඩක් අයට එහෙම වෙනවා. ඒ අතින් මං වාසනාවන්තයි. මට ලැබුණෙම එකිනෙකට වෙනස් චරිත. ‘4චූන් RESIDENCY’හි තාරා කියන්නේ ගමක ඉඳන් සරසවියට ඇවිත් ආදර සබඳතාවක් නිසා පාතාලෙත් එක්ක හැප්පෙන චරිතයක්. ‘තත්පරයක් දෙන්න’ බන්ටි කියන්නෙ ඩ්‍රග්ස්වලට ඇබ්බැහි වුණු තරුණියක්. ‘සංගීතේ’ තුෂාරී වගේම ‘බොනිකර තරු’ ටෙලි නාට්‍යය චරිතය ඊට හාත්පසින්ම වෙනස්. හිතුවටත් වඩා වැඩි පරාසයක මගේ රංගන හැකියාව විහිදුවන්න හැකිවීම මං ලබපු ලොකු ජයග්‍රහණයක්.

ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?

තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒ වගේම ධනුෂ්ක රේමන්ගේ ‘ද ලේක්’ ටෙලි නිර්මාණය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඒක ටිකක් අමුතු වැඩක්. සෞම්‍ය ලියනගේ, සේමිණී ඉද්දමල්ගොඩ, ජගත් චමිල, සේවියර් කණිෂ්ක, චමත්කා ඇතුළු ප්‍රවීණයන් රැසක් හමුවේ ආධුනික මං ගැන විශ්වාසය තියලා ඒ වගේ වැඩකට සම්බන්ධ කරගැනීම ගැන මං ධනුෂ්ක අයියට ස්තුතිවන්ත වෙනවා.

ඡායාරූප – උදිත උමේෂ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division