Home » 21 වැනි රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රියේ සිරි අසිරිය

21 වැනි රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රියේ සිරි අසිරිය

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

ද කිංඩම් ඔෆ් රයිගම් සභාපති ආචාර්ය රවී ලියනගේගේ මූලිකත්වයෙන් 2004දී ඇරඹි රයිගම් ටෙලීස් සම්මාන උලෙළ සුවිශේෂී කඩඉමක් පසුකරමින් පසුගිය 29 වැනිදා කොළඹ ෂැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේ දී සිය 21 වැනි සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. එයට ජාත්‍යන්තර සම්මාන උලෙළ සම්ප්‍රදායේ මුහුණුවර ගෙන එමින් පළමුව නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කරන ලද්දේ පසුගිය පෙබරවාරි 28 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදීය. විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන කලා ශිල්පීන් සහ මාධ්‍ය ආයතන අගයමින් වසරක් පාසා මෙම සම්මාන රාත්‍රිය පවත්වන්නේ වගකීම් සහගත යහපත් රූපවාහිනී මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අදිටනිනි.

ජනප්‍රිය සම්මාන, ජනගත සම්මාන, ප්‍රණාම සම්මාන, ඇගැයීම් සම්මාන සහ සහතිකපත් ආදී සම්මාන කුලකයන්ට යටත්ව මෙවර සම්මාන ලැබූවන් මෙසේය.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය ලෙස ජාතික රූපවාහිනී නාළිකාවේ විකාශය වූ වියළි ටෙලි නිර්මාණය වෙනුවෙන් දිලූපා නිරෝෂණී ද අල්විස් සම්මානය හිමිකර ගත් අතර, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය චන්දන ඉරුගල්බණ්ඩාරට හිමිවිය. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය සම්මානය එහි රංගනය වෙනුවෙන් තරින්දි ප්‍රනාන්දුට හිමිවූ අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වුණු බැක්සයිඩ් ටෙලි නිර්මාණයේ ප්‍රියන්ත සිරිකුමාර සම්මානයට පාත්‍ර විය. පාට කුරුල්ලෝ නැවතත් ජනප්‍රියතම ටෙලි නාට්‍යය බවට පත්වූ අතර ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා ලෙස උද්දික ප්‍රේමරත්න, ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය ලෙස දිනක්ෂි ප්‍රියසාද් සම්මානිත වූහ.

මෙවර වඩාත් ජනගත ටෙලි නාට්‍යය බවට පත්වූවේ ද පාට කුරුල්ලෝය. වඩාත් ජනගත ටෙලි නාට්‍ය නළුවා සජිත ඇන්තනීය. වඩාත් ජනගත නිළිය මිෂෙල් දිල්හාරාය. වඩාත් ජනගත රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සිරස ලක්ෂපති වන අතර, වඩාත් ජනගත රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය හිරු ටීවී ප්‍රවෘත්ති විකාශයයි. වඩාත් ජනගත රූපවාහිනී නාළිකාව බවට පත්වූවේ දෙරණ ටීවී නාළිකාවයි. වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය ලෙස දෙරණ ටීවී හි විකාශය වුණු ලාවණ්‍යා වෙනුවෙන් අතුල පීරිස් සම්මානිත වද්දී වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය ලෙස දිනුක ප්‍රසාද් ගුණතිලකගේ මොහොතකට පෙර සම්මානයෙන් පිදුම් ලැබීය. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනයට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු මීයා ටෙලි නිර්මාණය වෙනුවෙන් චින්තන ධර්මදාසට හිමිවිය.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා වියළිහි කරුණාපාල වූ සරත් කොතලාවල දිනාගත් අතර, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය ලෙස එහි කාන්තිගේ චරිතයට පණ පෙවූ චන්දිමා කරුණාදාස සම්මාන හිමිකර ගත්තාය. වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා මීයා ටෙලි නාට්‍යයේ මනියා චරිතය වෙනුවෙන් මන්රුචි සිරිවර්ධනට හිමිවූ අතර, වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය සුසුම් රස්තියාදුව ජීවන්තිට පණ දුන් වත්සලා ජයසිංහය.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය සඳහා සුසුම් රස්තියාදුව නාට්‍යයේ ගයාන් ගණකධාර සම්මානයෙන් පිදුම් ලැබුවේය. විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචකයා ලෙස ලක්ෂාන් වත්තුහේවා සම්මානිත වූවේ බැක්සයිඩ් සඳහා ලියූ ‘මල් කැකුළකට විස දෙබරෙක් ඇන්නා’ ගීතය වෙනුවෙනි. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා බවට පත්වූවේ වියළි ටෙලි නාට්‍යයේ ‘දෑස අගට පිනි ඉහිලා’ ගීතය ගායනා කළ තුසිත් සිම්සන්ය. Take Care හි ‘සපත්නිරෝෂයක්’ ගීතය ගායනා කළ අභිෂේකා විමලවීර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව බවට පත්වූවාය.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය මීයා ටෙලි නිර්මාණයේ සමන් ඇල්විටිගල සහ ලක්රුවන් ද සේරම්ට හිමිවූ අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය මනෝජ් වික්‍රමසිංහට හිමිවිය.. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගත කිරීම සුසුම් රස්තියාදුව වෙනුවෙන් එල්. ඩී. ජයසේනට හිමිවිය. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය සහ වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය චන්ඩි කුමාරිහාමි වෙනුවෙන් චරිත් අබේසිංහ සහ බුවනෙක රණවක හිමිකර ගත්හ.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය අද දෙරණ 6.55, වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන Super Heros වෙනුවෙන් ඊ. විරාජ් ජයමාන්න, වසරේ නිර්මාණාත්මකම වරලත් රූපවාහිනී වැඩසටහන Sri Lanka Got Talent වෙනුවෙන් ධනේෂ් උපුල් සහ සුසන්ත සෙනෙවිරත්න, වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක ඉංග්‍රීසි, දමිළ සහ සිංහල වෙනුවෙන් නවේක්ෂා ගුණසේකර, ප්‍රනීතා කෝනේෂ්වරන් සහ සාරංග දිසාසේකර දිනා ගත්හ. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා ඉංග්‍රීසි තෙරුණි ආශ්චර්යා කරුණාරත්න, වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා දමිළ ශක්ති ටීවීහි ක්‍රිස්ටිනා රත්නම් ද වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල) ෆාතිමා නස්රීන් නසාර් සහ නිවේදක ලෙස නජිත් මාතරගේ ද සම්මානිත විය. වසරේ විශිෂ්ටතම රූපවාහිනී කථිකා වැඩසටහන ටීවී දෙරණෙහි විකාශය වූ Rebuild Sri Lanka සඳහා එරන්ත රුක්මාල් බණ්ඩාර මල්ලව හිමිකර ගත් අතර, වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන ජාතික රූපවාහිනියේ විකාශය වූ සංයුග වෙනුවෙන් සුමින්ද තිලකසේනට හිමිවිය. වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම ටීවී දෙර‍‍ණෙහි නිල් කුරුමිට්ටෝ සඳහා හඩකැවූ අනුරාධ සිගේරා/ෂෙහාන් ක්‍රිස්මරින්/ මලිත් දුෂ්‍යන්ත හිමිකර ගත්හ.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන ලෙස ක්‍රිස්මස් with Pereras වෙනුවෙන් විමුක්ති රුද්‍රිගෝ සහ සුදීර ආර්. පීරිස්ට හිමිවිය. වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය ලෙස සියත ටිවීහි ඔවාදෙනු පරහට සියත ටෙලි වැකිය නිර්මාණය කළ ලාල් හේමන්ත මාවලගේ හිමිකරගත් අතර, වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන සඳහා ජාතික රූපවාහිනියේ අසේල බණ්ඩාරනායක දිනාගත්තේ වාරේ උදෙසාය. වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන අද දෙරණ ජීවිතයට විද්‍යාව වැඩසටහන සඳහා කේ.සී. සාරංගට හිමිවිය. ජාතික රූපවාහිනියේ ජයමිණී ඉලේපෙරුමගේ ක්‍රිකට් ගමට වැඩසටහන වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන ලෙස සම්මානිත වද්දී ශ්‍රද්ධා ටීවීහි ඩබ්.ඒ. රොෂාන් මධුසංඛ වන්නිආරච්චිගේ පුංචි අපේ ශ්‍රද්ධා වැඩසටහන වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන ලෙස පිදුම් ලැබීය.

ඉමේෂ් උදයංග (සදර්ලන්ඩ්) The Living Legends, රෙබෙකා දිල්රුක්ෂි (අසේනි) Take Care, සිළිඳු රංවල (කිරිනෝනි) වියළි ඇගැයීම් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, හපන්නු අපි ගමේ රාජ්ජේහි (ගෙම්බා/බරණ) කුසල් දම්සිත්, හිරු CIA-නීතියේ ඇසට වැලි ගැසූ මැජික් පෑන තුෂාර නිරෝෂන් පීරිස් / අමින්ද වීරකෝන් සහ සෙනෙහසේ ළමා දිනය සඳහා අරුණ සොයිසා කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. මනීෂ සත්සර, චමුදි රශ්මිකා සහ හසිත වැන්දබෝනා සඳහා සහතික පත් හිමිවූහ.

රූපවාහිනී ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් තිදෙනකු උදෙසා පිරිනමනු ලබන ප්‍රණාම සම්මාන ත්‍රිත්වය මෙවර සමන්ත යහම්පත්, කේ. ඩී. දයානන්ද සහ පාලිත පෙරේරා හිමිකර ගත් අතර 2007 වර්ෂයේදී හඳුන්වා දුන් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය මෙවර අනෝජා වීරසිංහට හිමිවිය.

ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය, ජනගත ටෙලි නාට්‍ය නළුවා, විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය, ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා, හොඳම ටෙලි නාට්‍ය ගීත ගායිකාව, විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා සහ නිළිය, විශිෂ්ටතම ටෙලි නාට්‍යය සහ අධ්‍යක්ෂ, ජනගත ටෙලි නාට්‍ය නිළිය

ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය, ජනගත ටෙලි නාට්‍ය නළුවා, විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය, ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා, හොඳම ටෙලි නාට්‍ය ගීත ගායිකාව, විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා සහ නිළිය, විශිෂ්ටතම ටෙලි නාට්‍යය සහ අධ්‍යක්ෂ, ජනගත ටෙලි නාට්‍ය නිළිය

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division