Home » මම සතුටු වෙන්නේ ගිණුමට වැටෙන මුදල නිසා නෙවෙයි

මම සතුටු වෙන්නේ ගිණුමට වැටෙන මුදල නිසා නෙවෙයි

කසුන් ඕපාත

by thanushika
April 6, 2025 12:30 am 0 comment
නාමලී ගමගේ

හිතන දේවල් හිතන විදිහට
නොවෙන එක දිවියේ සොබාව
අඳුරු මතකය වසා දමනවා
කාලයාගේ වැලි තලාව

හිතට හුරු කරවා හිනාවෙන්
රිදෙන වග සඟවන කලාව
තමන්ටම මිස ග්‍රහයෙකුට බෑ
හොඳ කරන්නට කල දසාව……

ඔහුගේ හඬින් මෙලෙස සමාජගත වන්නේ ඔහුගේම සිතුවිලිය. තම ජීවිතය නන්නාඳුනන ග්‍රහයෙකුට භාරදී බලා සිටින අය අප සමාජයේ ද ඕනෑ තරම් සිටී. ඔවුන්ට හරිගිය බවක් ද අසා නැත. තම තමන්ගේ උනන්දුවේ හා කැපවීමේ තරමට ප්‍රතිඵල ලැබෙන බව පමණක් අපි අසා ඇත්තෙමු. කසුන් ඕපාත වඩාත්ම ජනප්‍රිය වන්නේ අමු සින්දු ඔස්සේය. ‘කල දසාව’ සහ ‘හාල් මිටකට’ ඔහු අතින් නිමවුණු අතිශයින්ම ජනප්‍රිය ගීත ද්විත්වයකි. ඔහු ගීත ගයන්නට පටන් ගන්නේ කුඩා වියේ පටන්ය. අමු සින්දු ඔහු රහට ගයන්නේය. දිවයිනේ නන් දෙසින් ලැබෙන ප්‍රතිචාර ද ඔහුගේ ගමනට දිරියකි. මෙලෙසින් ගීත බවට පත්වන්නේ ඔහුගේම අත්දැකීම් බව පවසමින්ම ඔහු අප හා කතාබහට එක්වීය.

කසුන් මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය වෙලා ඉන්නෙ අමු සින්දු නිසා. කොහොමද ඒ පැත්තට යොමුවෙන්නේ?

මම ගීත ගොඩක් ගායනා කරලා තියෙනවා. ඒ අතර මගේම නිර්මාණත් තියෙනවා. සමහර ගීතවල පද රචනයත් මගේමයි. මෙලඩි දාලා සංගිතවත් කරන්නෙත් මම. පොඩි කාලෙ ඉඳන්ම මම සංගිතය හැදෑරුවා. පාසල් කාලෙ බෑන්ඩ් එකක් හදාගෙන ගීත ගායනා කළා. සමහර ගීත ලියද්දි මටම හිතෙනවා මේකට සංගීතය වැඩිය යොදන්න ඕන නෑ කියලා. ‘හාල් මිටකට’ ගීතය ලියද්දිම මට දැනුණා මේකට සංගීත භාණ්ඩ ගොඩක් ඕන නෑ කියලා. ගීතයේ තියෙන වචනවල බර අනුව ඒක මට දැනෙනවා. ඒ විදිහට හිතුණම මං ඒවා අමු විදිහට ගයනවා. හාල් මිටකට වගේම කල දසාව කියන්නෙත් ගොඩක්ම ජනප්‍රිය වුණු අමු සින්දු දෙකක්.

කසුන් වඩාත්ම කැමැති මොන ගීතවලට ද කියලා ඇහුවොත්?

සංගීතය වැඩිපුර යොදලා ගායනා කරන ඒවත් තියෙනවා. ඒත් මං ගොඩක්ම කැමැති අමු සින්දුවලට. නියම සංගීතය කියන්නේ මනුස්සයකුගේ අධ්‍යාත්මයටම කතා කරන දෙයක්. මම ඒක විඳින්නේ හදවතින්මයි. ඒ නිසා මට ඕන වුණේ ප්‍රේක්ෂකයින්ටත් මං කැමැති දේ දෙන්න. මගේ සින්දුවල පළමු රසිකයා මම. ගීතයේ අර්ථය, පදවල ගුණාත්මක බව වගේම ඒ තුළින් සමාජයට යම්කිසි දෙයක් දෙන්න පුළුවන්ද කියන එකත් මං බලනවා. අමු සින්දුව ඕනෙම කෙනෙකුගේ හදවතට දැනෙනවා.

මේ වෙද්දි ඔබ ගීත ගීයක් විතර නිර්මාණය කරලා තියෙනවද?

මේ වෙද්දි මගේම කියලා ගීත 9ක් එළිදක්වලා තියෙනවා. ගීත දෙකක් මගේ පද රචනා. ගීත නවයෙම මෙලඩි මගේ. හතක්ම සංගීතවත් කළෙත් මං. මේ වෙද්දි තවත් ගීත දෙකක් නිර්මාණය කරමින් ඉන්නවා. ඒ ගීත දෙකත් සංගීතවත් කරන්නේ මම.

ඔබේ ගීතවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්?

මට ගොඩක්ම ලැබෙන්නේ ආදරණීය ප්‍රතිචාර. මේ ගීත අහලා මානසික සහනයක් ලැබෙනවා කියන අයත් ඉන්නවා. මානසිකව කඩා වැටිලා ඉන්න අය මගේ ගීත මෝටිවේෂන් එකක් විදිහට ගනිපු අවස්ථාත් තිබුණා. ඒ වචන ටික අහලා මං මගේ ජීවිතය ආයෙ පටන් ගත්තා කියපු අයත් හිටියා. මාවම ආදර්ශයට ගනිපු කොටසකුත් ඉන්නවා. මට හරිම සතුටුයි. මගේ ජීවිතයෙන් එයාලා දෙයක් ඉගෙන ගනිපු එක ගැන මං සතුටු වෙනවා. හාල් මිටකට ගීතය වගේම කල දසාව ගීතයත් මගේ ජීවිතේට ගොඩක් දුරට සමානයි.‍

ඒ කියන්නේ ඔබේ ජීවිතෙන් කෙනෙකුට ආදර්ශයක් ගන්න පුළුවන්?

ඔව්. මගේ ගම බෙන්තර. මං මුලින්ම මහඉඳුරුව ගුරුකන්ද මහා විද්‍යාලයට ගියේ. ශිෂ්‍යත්වය පාස් වෙලා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වුණා. මං මගේ සින්දුවලින් සමාජයට දෙන්න උත්සාහ කරන්නේ ජීවිතේ මොන තරම් ප්‍රශ්න ආවත් අගහිඟකම් ආවත් උත්සාහය අතාරින්න එපා කියන එක. අපේ උත්සාහයෙන්ම තමයි අපි අපේ ජීවිත ගොඩනඟාගන්න ඕන. කඩාවැටුණු තැන් වැරදුණු තැන් පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන යහපත් විදිහට ජීවත් වුණොත් ඕනෙම කෙනෙකුට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියන එක තමයි මම කල දසාව ගීතයෙනුත් කියන්නේ. ඒ වගේම හාල් මිටකට ගීතයෙන් මං දෙන්නෙත් මෝටිවේෂන් එකක්. අම්මා තාත්තා නැති වුණාට පස්සේ පවුලේ වැඩිමහල් දුව, පුතා ඒ බර කරට අරගෙන ජීවිතය දිනනවා. ඉදිරි ගීතවලිනුත් මං ඒ වගේ දේවල් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ටෙලි නාට්‍ය ගීත ගයන්නත් කැමැත්තක් තියෙනවා.

ප්‍රේක්ෂකයින්ගෙන් මේ තරම් ආදරණීය ප්‍රතිචාර ලැබෙද්දී මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම සතුටුවෙන්නේ එකවුන්ට් එකට වැටෙන මුදල බලලා නෙවෙයි. මගේ ගීතවලට වැටෙන කමෙන්ට් දිහා බලලා. මං හැම එකක්ම කියවනවා. ඔවුන්ගේ හදවතටම මාව දැනිච්ච එක ගැන මට මාර සතුටුයි. මං ඒක අත්විඳිනවා. පුදුමාකාර ආදරයක් ලැබෙනවා. ඒ දේ සල්ලිවලට ගන්න බෑ. හාල් මිටකට සින්දුව මගේ චැනල් එකට දාපු මුල් දවස්වල එක මල්ලි කෙනෙක් “සින්දුව වදින තැනක් හිතා ගන්නවත් බෑ. පුදුමාකාර සින්දුවක්. අයියේ උඹ මේක අතාරින්න එපා. උඹ ලංකාවේ ඉහළටම යන එක කාටවත්ම නවත්තන්න බෑ. දිගටම කරගෙන යමු අයියේ, අපි අහනවා උඹේ සින්දු “ කියලා කමෙන්ට් එකක් දාලා තිබුණා. ඒක මං කිහිප සැරයක්ම කියෙව්වා. ඒක තමයි මාව මෝටිවේට් කළ කමෙන්ට් එක.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division