කලාවක් අපූර්ව වන්නේ අලුත් මුහුණු එකී ක්‍ෂේත්‍රයට එක්වීමෙනුයි. ඇසිපිය හෙලන තප්පරේට නව ප්‍රවණතාවයන්, නව සංකල්පවලින් හැඩවෙන කලාවේ නව ආර්යයන් සොයා යන සොඳුරු තරුවලින් රසඳුන පුවත්පත අප සරසන්නේද එබැවිනි. අද අපගේ කතාබහ, ප්‍රවීණ ගායන තරු අතරේ දීප්තිමත්ව බැබෙළන නවක තරුවක් වන නිලූ කාරියපෙරුම සමඟයි.
කොහොමද මේ දවස්වල ජීවිතේ..
ජීවිතය හරිම කාර්යබහුලව ගෙවනවා. එකී කාලය තුළ ව්‍යාපාර කටයුතු හා කලා කටයුතු සමබරව කරගෙන යෑමට උත්සාහ කරනවා.
අලුත් කලා කටයුතු ගැන කතා කළොත්. …
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා සමග යුගළ ගායනයක් කළා. එය නුදුරේදීම එළිදැක්වීමට නියමිතයි. එහි පද රචනය අමිල තේනුවරයන් හා එහි සංගීතය රෝහණ වීරසිංහයන් සිදු කළා. ඒ වගේම අයි. ටී. එන් නාළිකාවේ විකාශනය වන සසංකාර ටෙලිනාට්‍යයේ මගේ ගීත දෙකක් විකාශනය වුණා.
ඔබ මෙතෙක් ආ කලා ගමන දෙස ආපසු හැරී බැලුවොත්….
කිරිල්ලවල මහා විද්‍යාලයේ මුලින් අධ්‍යාපනය ලබා, ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබුවා. ගම්පහ සිරිකුරුස විද්‍යාලයේදී ගායන තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ බොහොමයක් හිමි කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වාගේම නන්දා මාලනියන්ගේ ඇසුරේ ඩිප්ලෝමාවක් ලැබුවා. පියාගේ අභාවයෙන් පසුව කලා ක්ෂේත්‍රයෙන් බැහැර වී ව්‍යාපාර කටයුතුවල නියුතු වුවත් 2017දී ධම්මික බණ්ඩාරයන් මුණගැසී ගීතාලංකාර වැඩසටහනට ගායනයෙන් සම්බන්ධ වුණා. අනතුරුව” කඩා ඉහිරුණා”නමින් වූ මගේම ගීතයක් ප්‍රථම වතාවට එළිදැක්වූවා. එය ශමිලා හුසේන් හා දර්ශන වික්‍රමතුංගයන්ගේ පද රචනයෙන් හැඩවුණා. එතැන් පටන් මේ වනතෙක් මගේම නිර්මාණ 12ක් පමණ එළි දක්වා තිබෙනවා. නව රත්න ගමගේ, සමන්ත පෙරේරා, රෝහණ ධර්මකීර්ති, ජයංග දැඩිගම, රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් ආර් ගමගේ, ශමිලා හුසේන්, අසංක රුවන් සාගර, අමිල තේනුවර, උමා අසේනි, අරුණ ගුණවර්ධන වැනි ප්‍රවීණයන් ඇසුරේ නිර්මාණ කිරීමට තරම් මම වාසනාවන්ත වුණා. ‘ගිහින් එන්නම්‘ ගීතය සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යයේ විකාශන වුණා. ඒ වගේම ඒකාංගික ටෙලිනාට්‍ය දෙකකටත් ගායනයෙන් දායක වුණා. අප්‍රේල් මාසේ 11 වැනිද දෝහා කටාර්හී මගේ හා කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ ප්‍රසංගයක් කිරීමට නියමිතයි. එයට මහින්ද බණ්ඩාර ඇතුළු ප්‍රවීණයෙන් රැසක් එක්වීමට නියමිතයි ඊට අමතරව. එයට මහින්ද බණ්ඩාර ඇතුළු ප්‍රවීණයන් රැසක් එක්වීමට නියමිතයි. ඊට අමතරව ගීත කිහිපයකට මගේ හඬ දායකත්වය ලබාදීමටත් සූදානමින් සිටිනවා.
ඔබ යළිත් ගායන කාර්යයට පිවිසෙන්නේ යම් නිහඬියාවකින් පසුව නේද?
ඇත්තෙන්ම ඔව්. පියාගේ අභාවයෙන් පස්සේ කලා කටයුතුවලින් තරමක් ඈත් වුණා. ඔය අතර කාලයේදී ගම්පහ සිරිකුරුස විදුහලේ විදුහල්පති කන්‍යා සොයුරියගේ ජුබිලි උත්සවයේදී මම ගීතයක් ගායනා කළා. ඒ ගීතයට පාසලෙන් ලොකු ඇගැයීමක් ලැබුණා. එයත් සමඟ නැවතත් ගායන කාර්යයට පිවිසෙන්න මට ලොකු උනන්දුවක් ඇති වුණා.
ඔබට ලැබෙන සෑම ගීතයක්ම ඔබ ගායනා කරනවද? නැත්නම් යම් වාරණයක් යටතේ තෝරා බේරා ගැනීමක් කරනවද?
අනිවාර්යයෙන්ම තෝරා බේරා ගැනීමක් සිදු කරනවා. මම කිසිම විටෙකත් මගේ ගීත ගොන්න වැඩි කිරීමට නිර්මාණ කරන්නේ නැහැ. යම් නිර්මාණයක වචනවලින් මගේ හැඟීම් මට දැනෙන්නෙ නැත්නම් මම එය ගායනා කරන්නේ නැහැ. මට දැනෙන්නෙ නැති නිර්මාණ සහෘදයාට දනවන්න මට අපහසුයි.
ප්‍රවීණයන්ගේ ඇසුර ඔබගේ සංගීත ගමන උඩු යටිකුරු කළා නේද?
ඇත්තෙන්ම ඔව්. මට කුඩා කාලයේ පටන්ම පවුල් පරිසරය තුළ ප්‍රවීණයන් ඇසුරු කිරීමට අවකාශය ලැබුණා. ඒ නිසා මගේ රසවින්දන පරාසයත් සංගීත ශාස්ත්‍රයට වඩාත් ලැබැඳි වුණා. ඒ වගේම උසස් නිර්මාණ රස විඳින්නටත් මම පෙලඹුණා. වර්තමානයේදීත් මගේ නිර්මාණ තුළින් එකී ඇසුර නිරන්තරයෙන්ම මට ලැබෙනවා.
ජනප්‍රිය ගීත රැලිවලට නොයා ඔබ ඔබේම ආරයට ගීත ගායනා කරන්නේ ඇයි?
මම කුඩා කාලේ පටන්ම වඩාත් නැඹුරු වුණේ ශාස්ත්‍රීය සංගීතය රසවිඳින්නයි. මම රස විඳින්නෙ නැති ගීතයක් මම ගායනා කළොත් එයින් ආත්ම තෘප්තියක් ලැබෙන්නේ නැහැ. පළමු වෙන්ම නිර්මාණයක් කරන්නේ මාව පිනවන්නයි. ඒ පිනවීම තුළ මට සීයට සීයක්ම සහෘදයාව සංස්පර්ශ කරන්න පුළුවන් වෙනවා.
කොහොමත් රැලිවලට යන්නෙ නැතුව ගුණාත්මක නිර්මාණ තුළින් සහෘද සිත් සතන් පිනවීමයි මගේ එකම බලාපොරොත්තුව.