Home » මම රඟපාන්න එක් වුණේ වයස අවුරුදු දහයෙදී

මම රඟපාන්න එක් වුණේ වයස අවුරුදු දහයෙදී

 කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

by thanushika
April 6, 2025 12:30 am 0 comment
නෙතුකි නෙතුම්ලි

රංගනය, නිවේදනය සහ හඬ කැවීම් යන කලා හැකියාවන් ත්‍රිත්වයෙන්ම සිය හැකියාවන් පෙන්වන දක්ෂ ළමා රංඟන ශිල්පිනියක් මෙවර රසඳුනට ගොඩ වැදුණි. මේ දිනවල දෙරණ නාළිකාවේ සති අන්තයේ සවස 5 සිට 6 දක්වා විකාශය වන “අම්මා වගේ” ටෙලි නාට්‍යයේ පාරමීගේ චරිතය රඟ දක්වන ළමා රංඟන ශිල්පිනී නෙතුකි නෙතුම්ලි සමඟ කතා බහ මෙසේ අරඹමු.

විභාගෙත් ඉවරයි නේද නෙතුකි ?

ඔව්නේ… මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මම මුහුණ දුන්නා. කලා කටයුතුවලට කෙටි විරාමයක් තියලා අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානයක් දුන්නා. දැන් නම් ආයෙත් කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට පුළුවන්.

කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු ගමන ගැන අපි මුලින්ම කතා කරමු?

නිවේදනය සහ හඬ කැවීම් කටයුතු හරහා තමයි මුලින්ම මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. එතකොට මං පාසලේ දෙක වසරේ හිටියේ. නිවේදන කටයුතු ආරම්භ වෙන්නේ FM දෙරණේ ‘පුංචි තරුත් එක්ක ආයුබෝවන්‘ වැඩසටහනෙන්. ඊට පස්සේ මං හඬ කැවීම් කටයුතුවලට සම්බන්ධ වුණා.

මං රඟපාන්න පටන් ගත්තේ අවුරුදු 10 දි. මේ වෙනකොට ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. සිනමා නිර්මාණවල රඟපාන්න තවම මට අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් මම සිනමා නිර්මාණ කිහිපයක හඬ කැවීම් කරලා තියෙනවා. මම සම්බන්ධ වුණු පළවෙනි ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ප්‍රභාත් දුෂ්‍යන්ත මාමගේ ‘B report‘ ටෙලි නාට්‍ය. නාට්‍යයේ අචිනි කුලරත්න කියන චරිතයට තමයි මම රඟපෑවේ. ඉන් අනතුරුව ඒ නාළිකාවෙම විකාශය වුණු සුමිත් රත්නායක මාමාගේ ‘මහපොළොව‘ ටෙලි නාට්‍යයේ සිංගිගේ චරිතයටත්, සුදත්ත තිලක­්සිරි මාමාගේ ‘ටීචර් අම්මා‘ නාට්‍යයේ අහිංසාගේ චරිතයත් රඟපෑවා. ‘පංචායුධ, සති නැත්තෝ, නොදුටු අවුරුදු, කෝපි කඩේ‘ කියන ඒකාංගික ටෙලි නාට්‍යවලටත් දායක වුණා. වෙළඳ දැන්වීම් වලට රංගනයෙන් සම්බන්ධ නොවුණත් Eltoro, Lifeboy, nestle වෙ‍ෙළඳ දැන්වීම්වල හඬ කැවීම්වලට මම එක් වෙලා තියෙනවා.

රූගත කිරීම්වලදී මුහුණ දෙන්න සිදු වුණු අමතක නොවෙන සිද්ධි එහෙම ඇති නේද?

රඟපාන කොට වුණු අමතක නොවෙන සිද්ධි නම් ගොඩක් තියෙනවා. ටීචර් අම්මා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තිබුණේ බෙලිහුල් ඔය ගමේ. එහෙ ගොඩක් කූඩැල්ලෝ ඉන්නවා. උදේම රූගත කිරීමක් කරන්න තිබුණු දවසක මමයි මගෙ නංගිගෙ චරිතය කරන අනගි නංගියි ඉන්න තැන කූඩැල්ලෝ පිරිලා හිටියා. උන් අපි දෙන්නගෙ කකුල්වල එල්ලිලා. එවෙලෙ අපි දෙන්නම කෑගැහුවා කූඩැල්ලෝ කියලා. අනගි නංගි බය වුණු පාර ගයාන් මාමත් එක්කම වෙලට වැටුණා. ඒක නම් මට අමතක වෙන්නෑ. තව සිද්ධියක් තමයි මහ පොළොව නාට්‍යයේ දර්ශනයක මට උදේම නාන්න තියෙනවා. ගීතා කාන්ති නැන්දා තමයි මාව නෑව්වේ. ළිං වතුර නිසා ගොඩක් සීතලයි. මහ පාන්දරක සීතල ළිං වතුර නාපු පළවෙනි වතාව ඒක. ඒ අත්දැකීමත් මට අමතක වෙන්නේ නැහැ.

රංගනය, හඬ කැවීම, නිවේදනයට අමතරව ඔයා තව දක්ෂ මොනවටද?

ම්ම්.. ඊට අමතරව නම් මට ක්‍රීඩා කරන්න පුළුවන්.

නෙතුකිට ප්‍රවීණ කලාකරුවන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ ?

මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ නැන්දලා මාමලා හැමෝම නිර්මාණ කටයුතුවලදී මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. සමහර රූගත කිරීම් අවස්ථාවලදී මට ඒ සීන් එක තේරුණේ නැති වුණාම එයාලා ඒක හරි පැහැදිලිව තේරුම් කරලා දෙනවා. ඒ සීන් රඟපාන්න ඕන කොහොමද කියලා ඒකෙන් මට හොඳ අවබෝධයක් ලැබෙනවා.

ඉදිරියට එන්න නියමිත නිර්මාණ මොනවත් තියෙනවද ?

මට ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒත් සාමාන්‍ය පෙළ විභාගයට මුල් තැන දෙන්න ඕන නිසා ඒ නිර්මාණ මොනවත් භාර ගත්තේ නැහැ. දැන් විභාගේ ඉවර නිසා ඉදිරියට ලැබෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

කොහොමද අනාගතය සැලසුම් කරලා තියෙන්නේ ?

අනාගත බලාපොරොත්තුව අධ්‍යාපන කටයුතු හරියට කරගෙන හොඳ රැකියාවක් කරන ගමන් මේ කරන රංගන, හඬ කැවීම් කටයුතු ඉදිරියට කරගෙන යන එක.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මේ හැමදේටම මගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම අම්මා තමයි මගෙ ලොකුම ශක්තිය. මගෙ අම්මාගේ උනන්දුව නිසයි මම රඟපාන්න ආවේ. තනුජාවී විජේවික්‍රම අක්කා, ශානි තරංගනී, දිල්රුක්ෂි සෙනෙවිරත්න නැන්දලා, ප්‍රභාත් දුශ්‍යන්ත, සුමිත් රත්නායක, සුදත්ත තිලක්සිරි, ගයාන් මහගලගේ මාමලා, මදුමාලි, භාග්‍යා, සසන්කා, සැන්ඩ්‍රි අක්කලා, එවන්ස්, මයුර අයියලා සහ කසුන් වික්‍රමසිංහ, වාසල මාමලා දෙන්නවත් මේ වෙලාවෙදි මතක් කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division