ඕන්න අද ඉතිං ෆ්‍රී මෑන් වෙනදාට දාන ටෝන් එක වෙනස් කරලා ස්ටෝරි එකක් කියන්නයි යන්නෙ. මොකද කාරණේ කියන්නෙ: අපේ ආදරණීය පාඨකයෝ හිතයි මේ කොලමෙ හැමදාමත් වැරදිමයි ලියන්නෙ, නෙගටිව් මයින්ඩ් මයි ලියන්නෙ කියල. නැහැ එහෙම නැහැ. හොඳ දේට හොඳයි කියන්නත් මේ මෑන් පැකිළෙන්නෙ නැහැ හොඳේ.
මේක නම් ඉතිං වල්ලපට්ට ගහත් එක්ක සෙට් වෙච්ච පට්ට කතාවක්. මේක අපේ ක්‍රිකට් ෆෑන්ස්ලට වගේම අපේ මුළු රටේම අයටත් වැදගත් නිසා ලියන්නම ඕන කියල හිතුණා. ඔන්න පහුගිය දවසක අපේම රටේ කරපු නිෂ්පාදනයක් එළිදැක්වීමේ උත්සවයක් තිබුණා. මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒ ප්‍රොඩක්ෂන් එක ලෝන්ච් කරපු මොහොතේ කරපු කතාවක කොටසක් මේ:
“අද මගේ ජීවිතේ සුවිශේෂ දවසක්. අපි හැමෝටම සිහින තියෙනවා. අද මගේ එවැනි එක සිහිනයක් සැබෑ වන දවසක්. මොකද: අපේ රටේ සුවඳවත් දේශීය ගහකින් ලබාගන්නා අස්වැන්නේ ප්‍රතිඵලයක් තමයි අද මේ ඔබ ඉදිරියේ තියෙන්නෙ. විශේෂයෙන්ම මේ තමයි මම අවුරුදු 15ක් 16ක් තිස්සේ ඉතාමත් අවංකව ඉතාමත් ආදරයෙන් ලබාගත්ත දේ. මම එතරම් කාලයක් පර්යේෂණ කරලා අපේ රටේ ගහකින් – වල්ලපට්ට ගහෙන් ලබාගත්ත අස්වැන්නෙන් හදපු එකක්. මේක ශ්‍රී ලංකා නිර්මාණයක්. කට ඇරල කියන්න පුළුවන් – මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා.”
මේ කතාව කළේ වෙන කවුරුවත් නොවෙයි; අපේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්, වර්තමානයේ ලොව අංක එකේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේනයි.
තවත් විදිහකින් කිවහොත් අපේ රටේ වල්ලපට්ට ශාකයෙන් අලුත් සුවඳ විලවුනක් වෙළෙඳපොළට හඳුන්වා දුන් එකම ව්‍යවසායකයා ඔහුයි.
මේ නව නිෂ්පාදනය හඳුන්වාදීම සඳහා පැවැති උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය හඳුන්නෙත්ති මහතායි. දශක තුනකට එහා දිවයන කුමාර් සමඟ පවතින පවුලේ ඥාතිත්වයත් සිහිපත් කරමින් තම කතාව ආරම්භ කළ හඳුන් කියා සිටියේ මේ මහඟු අවස්ථාවට දායක වීමට ලැබීමත් දෛවෝපගත සිදුවීමක් බවයි. සුවඳ විලවුන් හඳුන්වා දුන් තැනකට ඇවිල්ලා කරපු හඳුන්ගෙ කතාවත් සුවඳවත් එකක් වූ බවත් කිව යුතුමයි:
“වෙළෙඳාම වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න ව්‍යවසායකයෙක්. ඔහු හැම තිස්සෙම චැලෙන්ජ් එකක් භාරගත්තු කෙනෙක්, තියෙන දේ වෙනස් කරන කෙනෙක්.
කුමාර් ධර්මසේන කියන්නෙ ක්‍රිකටර් කෙනෙක්, ක්‍රීඩකයෙක්. ඔහු එදත් ඒ තියෙන දේ වෙනස් කළා. හැබැයි අනන්‍යතාවක් සහිතව. ඒ අනන්‍යතාවට කුමාර් කවදාවත් බය වුණේ නැහැ. අපි කුමාර්ට ‘උනන්දුවා’ කියන්නෙ ආදරේට. ඔහුගේ අනන්‍යතාවට.
“දැන් ඔහු අනන්‍යතාව ක්‍රීඩාවෙන් ගෙනල්ලා පර්ෆියුම් එකට. මේ පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එක ඒක කොහොම භාරගනීද කියන එක ගැන තියෙන්නෙ චැලෙන්ජ් එකක්. මං හිතන්නෙ ඒ චැලෙන්ජ් එකත් කුමාර් භාරගත්තා. ලංකාවෙන් අලුත් දෙයක් ලෝකෙට ගෙනියන්න. ඒක තමන්ගෙ අනන්‍යතාවක් එක්ක ඉදිරිපත් කරන්න කුමාර් අද සමත් වෙලා තියෙනවා.
ක්‍රීඩාවෙදිත් ඔබ ඒ දේ කළා. හැමෝටම ක්‍රිකට් ගහන්න පුළුවන්. හැබැයි හැමෝටම ක්‍රිකට්වල අනන්‍යතාවක් ඉදිරිපත් කරන්න බැහැ. එහෙම කරපු ක්‍රීඩකයන් කිහිප දෙනයි ඉන්නෙ. ඔබත් ඉන් කෙනෙක්. ලෝකෙ පිළිගත්ත ක්‍රිකට් අම්පයර් කෙනෙක් හැටියට පත් වෙන්න ඔබට පුළුවන් වුණා. ඒකත් ඔබේ අනන්‍යතාවක්. ඒ විදිහටම ඔබේ මේ නිෂ්පාදනයටත් ලොව පුරා නමක් දිනාගන්න හැකියාව ලැබේවි. ඒක අපට, අපේ පරම්පරාවට, ලංකාවට කරපු ලොකු දෙයක්. මම හදවතින්ම ඔබට සුබ පතනවා.”
ක්‍රීඩාවෙන් උකහාගත් කැප වීම, අධිෂ්ඨානය හා දරාගැනීම යන පාඩම් ව්‍යවසායකත්වයටත් යොදාගත් කුමාර්, ඔබ සැබවින්ම උනන්දුවෙක්. ඔබට අපෙනුත් ඩබල් සැලියුට්!