Home » අවුරුදු සමයේ ක්‍රීඩා කරනවා නම් මේ ගැනත් හිතන්න

අවුරුදු සමයේ ක්‍රීඩා කරනවා නම් මේ ගැනත් හිතන්න

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

ළඹෙන අලුත් අවුරුදු සමයේදී උත්සවාකාරයෙන් පැවැත්වෙන ක්‍රීඩා ඉසවු සඳහා සහභාගි වීමට බොහෝ දෙනකු පෙලඹෙන අතර, ඒ සඳහා තමන් සතුව ඇති ශාරීරික යෝග්‍යතාව සහ ක්‍රීඩා තරග අතරතුරදී ඇති විය අනතුරු හෝ ආබාධිත තත්ත්වයන් පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නැති විය හැකිය. විශේෂයෙන්ම අවුරුදු උත්සවවලදී පැවැත්වෙන සාම්ප්‍රදායික දේශීය තරගවලට සහභාගි වන බෙහෝ දෙනා පෙර සැලසුමකින් තොරව හදිසි තීරණ ගෙන, ඒ තරග ඉසවුවලට සහභාගි වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිය හැකි අතර, එනිසාම යම් ශාරීරික ආබාධ හෝ අනතුරුවලට ලක් වූ අය පිළිබඳවද අපට අසන්නට මෙන්ම අත්දැකීම්ද ලැබී ඇත.

තවද තම ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ඇති ගැටලුවක් නිසා මෙන්ම තරග පවත්වන මොහොතේ පවතින ශාරීරික තත්ත්වයන් නිසාද තරගකරුවන්ට හෝ තරගකාරියන්ට ආබාධිත තත්ත්වයක් මතු විය හැකිය. එබැවින් විශේෂයෙන්ම එළිමහන් තරග සංවිධානය කිරීමේදී මෙම බක් මාසයේ පවතින පාරිසරික උෂ්ණත්වය පිළිබඳවද සැලකිලිමත් විය යුතුමය. ඒ අනුව මාර්ග ධාවන තරග සහ පාපැදි තරග වැනි තරග ඉසව් ආරම්භ කොට පවත්වන වේලාවල් ගැනද වැඩි අවධානයක් යොමු කළ යුතුය. ක්‍රීඩාව යනු සමාජයට නීරෝගි පරපුරක් බිහි කරගැනීම සඳහා යොදාගන්නා මෙවලමක් නිසා ක්‍රීඩාවේ නියැළීමට ගොස් රෝගියකුගේ තත්ත්වයට පත් වන්නට අවශ්‍ය නැත.

එබැවින් අප මේ පෙන්වා දුන් කාරණා සේම ගෙවී ගිය වසර ගණනාවක් පුරා මෙවන් උත්සව සමයකදී ඇති වන ආබාධ සහ අනතුරු සම්බන්ධව ලැබූ අත්දැකීම් මත මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේද ඊට දැඩි අවධානය යොමු කර ඇත. ඒ අනුව ‘උත්සව සමයන්හිදී ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසවුවලදී අනතුරු සිදුවීම සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා වන මාර්ගෝපදේශ’ යනුවෙන් නිර්දේශිත ප්‍රකාශනයක් එළිදක්වා ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මේ ප්‍රකාශනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එළිදක්වන ලද්දේ පසුගිය 2024 වසරේ මාර්තු මාසයේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදේශකත්වය යටතේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්වතුන් පිරිසකගේ පූර්ණ දයකත්වය සහිතව සම්පාදනය කරන ලද මෙම මාර්ගෝපදේශයන් සහිත ප්‍රකාශනයේ පූර්විකාව තුළ මෙසේ සඳහන්ව තිබිණි:

“ශ්‍රී ලංකාව තුළ උත්සව සමයේදී සාංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසවු සැමරුම් සහ තරගකාරීත්වය සඳහා ප්‍රජාවන් එකට එක් කරනු ලබයි. ‘කොට්ට ‍පොර ගැසීම’ සහ ‘කණා මුට්ටි බිඳීම’ වැනි සාම්ප්‍රදායික ක්‍රීඩාවල සිට ගම හරහා දිවීම සහ පාපැදි තරග වැනි නූතන ක්‍රීඩා ඉසවු, මලල ක්‍රීඩාවේ ඇති ජවය සහ සංස්කෘතික උරුමය විදහා දක්වයි. කෙසේ වුවද, තරගකාරිත්වයේ උද්වේගයට අමතරව අනතුරු සිදුවීමේ සහ බරපතළ වෛද්‍යමය තත්ත්ව උද්ගත වීමේ හැකියාවක් පවතින බැවින් සහභාගි වන්නන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්පන්නභාවය සුරක්ෂිත කිරීමට පුළුල් මාර්ගෝපදේශ අත්‍යවශ්‍ය වේ.”

ඒ අනුව සඳහන් මාර්ගෝපදේශ පොදු මාර්ගෝපදේශ සහ විශේෂිත මාර්ගෝපදේශ යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර ඇති අතර පොදු මාර්ගෝපදේශ යෝග්‍යතා පරීක්ෂණය, පරිසරයේ ආරක්ෂාව, උපකරණවල ආරක්ෂාව, ප්‍රථමාධාර සහ හදිසි සත්කාර, රෝහල ‍වෙත ප්‍රවාහනය, කාලගුණය පිළිබඳ සලකා බැලීම, සහභාගි වන්නන් දැනුම්වත් කිරීම හා අධීක්ෂණය සහ ඇගයීම යන ප්‍රධාන කරුණු 8ක් යටතේ විස්තර කොට ඇත.

ඉහත සඳහන් කළ පොදු මාර්ගෝපදේශවලට අමතරව, පහත සඳහන් ඉසවු සංවිධානය කිරීමේදී විශේෂිත මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු යැයිද එකී ප්‍රකාශනයේ වැඩිදුරටත් සඳහන් වේ. කොට්ටපොර, ගම හරහා දිවීම, පිහිනීම, ඔරු පැදීම, දෙහි ගෙඩිය හැන්ද මත ගෙනයෑමේ තරගය, ග්‍රීස් ගහ නැඟීම, කඹ ඇදීම හා ගෝණි රේස් තරගය එම විශේෂිත ඉසව් 8යි.

මැරතන්, ගම හරහා දිවීම සහ පාපැදි තරග වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසවු සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට සති 6කට පෙර පුහුණුවීම් සිදු කළ යුතුය (පුහුණුකරුවකු යටතේ පුහුණුවීම් සිදු කිරීම වඩා යෝග්‍ය වේ) .

මැරතන්, මීටර් 1500ට වැඩි ගම හරහා දිවීම, පාපැදි තරග, මීටර් 800ට වැඩි පිහිනුම් ආදි මධ්‍යස්ථ හෝ ඉහළ තීව්‍රතා මට්ටමේ ක්‍රීඩා ඉසවු සඳහා සහභාගි වන්නන් තරගයට අවම වශයෙන් එක් සතියකට පෙර සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයකු විසින් පවත්වනු ලබන පූර්ව තරග සෞඛ්‍ය ඇගයීමකට භාජනය විය යුතුය. තවද, ශාරීරික ක්‍රියාකාරම් සඳහා සූදානම පිළිබඳ සියලු ‍දෙනා සඳහා අදාළ වන ප්‍රශ්නාවලිය පිරික්සුම් ලැයිස්තුව (2020 PAR-Q+) භාවිත කරමින් හෘදයවාහිනී යෝග්‍යතාව පූර්ව රෝගි තත්ත්වයන් සහ සහභාගි වීම සම්බන්ධයෙන් ඇති වන ප්‍රතිරෝධතා සඳහා පරීක්ෂාවන් සිදු කළ යුතුය යන්න පොදු මාර්ගෝපදේශවලට අදාළව තවත් විස්තර කර ඇත.

ඉසවුව පැවැත්වීමට පෙර, පැවැත්වෙන අතරතුර සහ ඉන් පසුව සජලනය සහ පෝෂණය පවත්වා ගැනීමට සහභාගි වන්නන් දිරිමත් කිරීම, සිදු විය හැකි අනතුරු හඳුනාගැනීම සහ අවම කිරීමට උත්සවය පැවැත්වීමට ‍පෙර එම ස්ථානය හොඳින් පරීක්ෂා කිරීම, පරිසරයේ වායු දූෂණ මට්ටම සලකා බැලීම සහ වායු දූෂණ තත්ත්වයක් පවතින්නේ නම් උත්සවය කල් දැමීම හෝ නැවත සැලසුම් කිරීම හා ක්‍රීඩා ඉසවු සඳහා භාවිත කරන සියලු උපකරණ පරීක්ෂා කර ඒවායෙහි සුරක්ෂිතභාවය සහතික කිරීම යන කරුණු පිළිබඳවද එකී මාර්ගෝපදේශවල අඩංගු වන අතර, එහි ඇතුළත් තවත් සාරාංශගත කරුණු මෙසේය:

හදිසි අවස්ථාවකදී ආසන්නතම ප්‍රාදේශීය රෝහල සමඟ සන්නිවේදන කටයුතු සිදු කිරීම සඳහා යන්ත්‍රණයක් ස්ථාපිත කිරිම, අදාළ අවස්ථාවට පෙර පවතින සහ ඒ අවස්ථාව අතරතුර පවතින කාලගුණික තත්ත්වයන් (තාපය, වැසි, වායු දූෂණය) නිරීක්ෂණය, මැරතන්, ගම හරහා දිවීම, පාපැදි ධාවන තරග යනාදි දිගු වේලාවක් පැවැත්යවන තරඟ ඉසව් අවම වශයෙන් අදාළ දිනයේ උදෑසන 8.00ට පෙර ආරම්භ කළ යුතු වීම, මත්පැන් පානය කර සහභාගි වීම අධෛර්යවත් කිරීම, හිස, ගෙල සහ කොඳු ඇට පෙ‍ළෙහි තුවාල පිළිබඳ මෑතකාලීන රෝග ඉතිහාසයක් සහිත තැනැත්තන් සහ එවැනි තුවාල සඳහා ප්‍රතිකාර ගන්නා තැනැත්තන් තරග සඳහා සහභාගි කරවා නොගැනීම, කොට්ටපොර තරග සඳහා යොදාගන්නා එක් කොට්ටයක උපරිම බර ග්‍රෑම් 650 නොඉක්මවිය යුතු වීම.

ඒ අනුව මේ අවුරුදු සමයේ ක්‍රීඩාවක යෙදීමෙන් විනෝදය මුසු වූ යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට නම්, එකී නිර්දේශිත කාරණා පිළිපැදිය යුතු අතර, මේ අදහස් තම සගයන් සමඟ බෙදාහදා ගැනීමෙන් ඔබගේ අවුරුදු ක්‍රීඩා උත්සව වඩාත් සාර්ථක කරගැනීමට හැකිවනු ඇතැයි අපගේ විශ්වාසයයි.

සෞඛ්‍ය අමාත්‍යායංශය විසින් මේ අරබයා නිකුත් කරන ලද මාර්ගෝපදේශ පිළිබඳ සියලු විස්තර www.ncd.health.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

සටහන – සිරිනාම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division