Home » ගමෙන් ලෝකයට යන මඟ හෙළි කරන්නට පාසල් මලල ක්‍රීඩාවට උර දුන් ශ්‍රීමත් ජෝන් ටාබට්

ගමෙන් ලෝකයට යන මඟ හෙළි කරන්නට පාසල් මලල ක්‍රීඩාවට උර දුන් ශ්‍රීමත් ජෝන් ටාබට්

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment
සිරිනාම රාජපක්ෂ

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ හෙට දවසේ ක්‍රීඩක අස්වැන්න නෙළාගන්නට නම් අද දවසේ ඊට අවශ්‍ය බීජ වැපිරිය යුත්තේ පාසලෙනි. තවත් විදිහකින් කිවහොත්: අනාගතයේ රට වෙනුවෙන් බිහි කරන ක්‍රීඩා මානවයා සැබැවින්ම උපත ලබන්නේ පාසල් අවධියේදීය. මෙය සෑම ක්‍රීඩාවකටම පොදුය. ඒ නිසා රටකට අවශ්‍ය ක්‍රීඩක සම්පත නිසි පල ලබාගන්නට නම් පාසල් භූමියෙහි හරිහැටි ඒ බීජ තවාන් කොට හොඳින් පෝෂණය කළ යුතුය.

අනාගතයේදී අපේ රටට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් යුත් සරු අස්වැන්නක් ලැබෙන්නේ ළදරු වියේදී ඔවුන් හොඳින් රැකබලා ගතහොත් පමණි. එබැවින් පාසැල් මට්ටමෙන් ක්‍රීඩාව දියුණු කළහොත් පාසලෙන් ජාතික මට්ටමටත් ඉන් එහාට ලෝකයටත් යන්නට ක්‍රීඩාව කරන අයට අවශ්‍ය පසුබිම සකස් වනු ඇත.

ඒ අනුව මෙරට පාසල් මලල ක්‍රීඩාව පැත්තෙන් ගත් කල වාර්ෂිකව පවත්වනු ලබන තරගාවලි රැසක් ඇතත් ඒ අතරින් පාසල් අතර පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. අප ඉහත කී අර්ථකථනයන්ට අනුව නිසි ඵලදායිතාවක් අත් කරගැනීමට හැකි වන ආකෘතියකින් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශ දෙකටම අදාළව එම ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමත් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විශාල පාසල් සංඛ්‍යාවක් සහභාගි කරවාගැනීමත් විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව ‘සිලෝන්’ නමින් පැවැති 1947-1952 සමයේ ශ්‍රී ලංකා පළමු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු මෙන්ම 1928 සිට 1930 දක්වා ‘සිලෝන් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා’ (President of Ceylon Athletic Association) ලෙස කටයුතු කළ ස්කොට්ලන්ත ජාතික ශ්‍රීමත් ජෝන් ඇලන් ටාබට් මහතාගේ සංකල්පයක් අනුව මේ තරගාවලිය ආරම්භ කර ඇත. ඔහු සුදු ජාතිකයකු වුවත් ක්‍රිකට් තරගාවලියක් ගැන නොසිතා රට පුරා පිහිටි පාසල් ආවරණය වන පරිදි ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක් මෙරටට දායාද කරන්නට ඇත්තේ සෑම ක්‍රීඩාවකටම පාදක වූ මලල ක්‍රීඩාව පිළිබඳ ඇති වටිනාකම හඳුනාගත් නිසා වන්නට පුළුවන. ඒ අනුව යමින් ගෙවී ගිය වසර 93ක් පුරා ඔහුගේ නමින් මේ තරගාවලිය ඉදිරියට කරගෙන ආ මෙරට ක්‍රීඩා බලධාරීන්ටත් එහි බරපැන දැරූ අනුග්‍රාහකයන්ටත් අපේ ප්‍රණාමය හිමි විය යුතුය.

එසේම අඛණ්ඩව 14 වැනි වරටත් ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ අන්තර්ජාතික සමාගමක (CBL Foods International (Pvt) Ltd) ප්‍රමුඛතම සන්නාමය වන රිට්ස්බරි (Ritzbury) ඉදිරිපත් වී සිටියි. මෙවර පාසල් 1,300කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,000කට අධික පිරිසක් මේ තරගාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය මෙරට පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් රිට්ස්බරි සමඟ එක්ව මේ තරගාවලිය සංවිධානය කරනු ලබයි.

තරගාවලියේ ආරම්භය සටහන් කරමින්, පසුගිය වසරවලදීත් දැවැන්ත සාර්ථකත්වයක් අත් කරගත් රිට්ස්බරි සහාය දිවීමේ සැණකෙළිය (Ritzbury Relay Carnival) පෙරටත් වඩා පුළුල් මට්ටමින් අප්‍රේල් 09, 10 සහ 11 යන දිනවල මෙවර දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

54 වැනි රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය වයස අවුරුදු 12න් පහළ, 13න් පහළ, 14න් පහළ සහ 15න් පහළ යන කාණ්ඩ යටතේ පැවැත්වේ. මෙහි පළමු අදියර යටතේ දකුණු හා සබරගමු පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා වන තරග මැයි 17 සහ 18 දිනවල බෙලිඅත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.මෙවර කනිෂ්ඨ තරගාවලියට ගම්පහ ප්‍රදේශයේ තරග වටයක්ද ඇතුළත් කර ඇති අතර එම තරග ජූනි 19 සහ 20 දිනවල වතුපිටිවල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරගකරුවන් විශාල පිරිසක් මෙම තරගාවලියට සහභාගී වන බැවින් මෙම තීරණය ගන්නා ලදි.

මධ්‍යම හා වයඹ පළාත් සහ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා වන තරග ජූනි 4 සිට ජූනි 6 දක්වා දිගන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා වන තරග ජූලි 2 සිට ජූලි 4 දක්වා බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා වන තරග ජූලි 16 සහ 17 යන දිනවල යාපනයේ දුරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, නැඟෙනහිර පළාත සහ පොලොන්නරු දිස්ත්‍රික්කය සඳහා වන තරග ජූලි 19, 20 දෙදිනදී මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මේ අදියරවලදී විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹදී පැවැත්වෙන අවසන් වටයේ තරගවලට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

93 වැනි වරටත් පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2025 අගෝස්තු 21 දින සිට 24 දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. වයස අවුරුදු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ යන වයස් කාණ්ඩ යටතේ මේ තරග පැවැත්වෙනු ඇත. මීට අමතරව ජ්‍යෙෂ්ඨ ශූරතා මැරතන් තරග ඉසව්වක්ද මීට එක් කර ඇති අතර, එම තරග 2025 ඔක්තෝබර් 10 සිට 13 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීම සඳහා රිට්ස්බරි විසින් ‘මවුබිමට වීරයෙක්’ නමින් සුවිශේෂ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදී. මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ඇතුළු අන්තර්ජාතික තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට අත්වැලක් වීමයි. මේ වැඩසටහන යටතේ අනුග්‍රහය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 28 සිට 65 දක්වා වැඩි කිරීමට රිට්ස්බරි සැලසුම් කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division