ලොව ආශ්චර්යවත් සිදුවීම් කොතරම් සිදු වූවද මිනිසුන් ඒ වෙත පෙළගැසෙන්නේ එහි යම් අපූර්වත්වයක් මෙන්ම හෘදයංගම බවක්ද ඊට සුසංයෝග වූ විටකදී පමණකි. පසුගිය මාර්තු 29 සිකුරාදා තායිලන්ත ජාතික කාන්තාවක වූ 36 හැවිරිදි කන්තොං සේන්මිංෂින්ද ලොව මෑත ඉතිහාසයේ දරුණුතම භූ කම්පනය මැදින් ඉතා නීරෝගි බිලිඳියක බැංකොක් වීදියකදී ප්‍රසූත කිරීමට සමත් වූ ආශ්චර්යවත් මවක වී හමාරය. ඉතා නීරෝගි
බිලිඳිය මේ වන විට සිය ආදරණීය මව හා පියාගේ සෙනෙහස මැද සතුටින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
සේන්මිංෂින්ගේ කුඩා බිලිඳියට තවමත් ස්ථිර නමක් දමා නැති වුවද මවුපිය දෙපළ ඇය ඉතා ආදරයෙන් අමතනු ලබන්නේ ‘මින්ක්’ යන සුරතල් නමිනි. මෙම බිලිඳිය කොතරම් වාසනාවන්තද යත්: ඇය සිය මව වෙත පැමිණෙන මොහොත වන විටත් අවට තිබූ දරුණු භූ කම්පනය නතර වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
බැංකොක් පොලිස් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය යුහුසුලුව රැස් වී එම වීදියේම සේන්මිංෂින්ගේ දරු ප්‍රසූතිය සිදු කිරීමට දක්වන අප්‍රතිහත ධෛර්යය හා උදවුව රැගත් සුන්දර හා හෘදයංගම රූපරාමු සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීමට පටන් ගත්තේ ඇසුරු සැණිනි. බැංකොක් නුවර වැසියන් පමණක් නොව, සමස්ත ලෝකයම මේ අපූරු සිදුවීම වටා පෙළගැසුණේ මේ සා දරුණු, ජීවිත 2,000කට අධික ප්‍රමාණයක් ගිල ගත් සියවසේ දරුණුතම භූ කම්පනය මැදින් ඉතා අපූරුවට මෙලොවට පැමිණි කුඩා මින්ක් මානව ජීවිතයේ යම් අවස්ථාවක නොබිඳෙන හෘදයංගම බැඳීම්වල ස්ථිරත්වය ලොවටම ප්‍රදර්ශනය කිරීමට සමත් වූ බැවිනි.
අනෙක් අතින් සේන්මිංෂින් දිගින් දිගටම පවසා ඇත්තේ, රෝහලේ කාර්ය මණ්ඩලය ඇය වෙත පළ කළ දයාබරත්වය කරුණාව හා මහන්සිය පිළිබඳ දැඩි ගෞරවයකිනි. මේ බව පවසා ඇත්තේ, ඇය සායනික පරීක්ෂාවෙන් පසු නැවත ඇයගේ රැකියා ස්ථානයට යෑමට උත්සාහ කළද වෛද්‍යවරුන් ඇයට ඒ සඳහා යෑමට ඉඩ ප්‍රස්තාව නොදී ඇය දැනුවත් කිරීම තුළ සිය බිලිඳියගේ ජීවිතය බේරා දුන් ඔවුන් මිහිපිට දෙවිවරුන් බඳු පිරිසක් බවයි. දින ගණනාවක් ගත වීද මේ දරුණු භූ කම්පාවෙන් ජීවිත දහස් ගණනක් දැනටමත් අහිමි වී ඇත. මේ භූ කම්පනය මානව වර්ගයා අත්විඳින තවත් එක් ඛේදජනක ස්වරූපයක් නොවේද?
මේ දරුණු භූ කම්පන තත්ත්වය හේතුවෙන් මියන්මාරයට මේ වන විටත් දසතින් ආධාර ගලා එමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව බෙයිජිං නුවරින් ඩොලර් බිලියන 13.9ක හදිසි ආධාර මුදලක් මාර්තු 31 දා මියන්මාරයට පිරිනමා ඇත. ඉන්දියාවද මේ තත්ත්වය හමුවේ ආපදා කණ්ඩායම්, වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායම් හා හමුදා සහාය සමඟ ආහාර ඇතුළු සෙසු අත්‍යවශ්‍ය අංග පිටත් කර හැර ඇති බව වාර්තා වී ඇත.
පී. ආර්. දුෂාන්ති සිල්වා