මාර්තු 31 වන විට ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අයතුල්ලාහ් අලි කමෙයිනි අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර ඇත්තේ, ටෙහෙරානය එක්සත් ජනපදය විසින් යෝජිත නව න්‍යෂ්ටික වැඩසටහනට එකඟ නොවන්නේ නම්, පතුරුවනු ලබන බව කියන්නා වූ තර්ජනාත්මක ප්‍රහාරවලට එරෙහිව ඉරානයද ශක්තිමත්ව නැඟී සිටීමට සූදානම් බවයි. ඉරාන ජනපති මසාවුඩ් පෙසෙස්ෂිකාන් මාර්තු 30 දා ප්‍රකාශ කර තිබුණේ කිසිදු ලෙසකින්, කොයියම් ආකාර තර්ජනයන් මැද වුවද ඉරානය එක්සත් ජනපදය සමඟ ඍජු සාකච්ඡාවලට නොයන බවයි.
ජනපති ට්‍රම්ප් මේ සියලු තත්ත්ව මැද කර ඇති ප්‍රකාශයකට අනුව ඉරානයට ඔවුන් සති දෙකක කාලයක් මේ පිළිබඳ තීරණයකට එළඹීමට දෙන අතර, ඒ කාලපරිච්ඡේදයේදී මේ තත්ත්වයේ සාධනීය වර්ධනයක් ඉරානය වෙතින් පෙන්නුම් නොකළ හොත් තමන් විසින් ගනු ලබන ඉදිරි භයානක ක්‍රියාමාර්ග පිළිබඳ දැනටමත් ඉරානය දැනුවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. අවුරුදු 6කට පෙර ඉරානය මුහුණ දුන් ආකාරයේ තත්ත්වයක් නැවතත් එක්සත් ජනපදය වෙතින් සිදු වීමට යෑම තහවුරු කිරීමක් මේ සියලු කරුණු ඔස්සේ ගොනු වී ඇති බව ගෝලීය රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ අදහසයි.
ඉරානයේ න්‍යෂ්ටික ශක්තිය
බටහිර බලවතුන්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ මෙතරම් ත්‍රාසයට පත් වන්නේ ඇයිද යන්න විමසීමේදී පෙනී යන්නේ ඉරානයට න්‍යෂ්ටික අවියක් නිපදවීමට අවශ්‍ය යුරේනියම් ප්‍රමාණය එහි ශක්‍යතාව හා ධාරිතාව උපරිමයෙන්ම තිබීමයි. ඉරානය මේ පිළිබඳව දරන ස්ථාවර ප්‍රකාශය නම් මේ හැකියාව නැති නම් ස්වකීය න්‍යෂ්ටික වැඩසටහන සිවිල් ජනතාව උදෙසා වූ බලශක්ති ප්‍රවර්ධන ප්‍රතිපත්තීන් අරමුණු කොට ගත්තක් පමණක් බවයි. එහෙත් ගෝලීය උපායමාර්ගික විෂයපථය තුළ ඉරානය විදේශ ප්‍රතිපත්තිමය ස්වභාවය හා බටහිරට හිස නොනමන ඍජු ක්‍රියාමාර්ගයන් අබියස මේ තත්ත්වය දෝලනය වන්නේ බෙහෙවින් අනතුරුදායක ඉලක්කයන් වෙතයි යන්න බටහිර බලවතුන් ඉරානයට නඟන චෝදනාවයි. එහෙත් ලෝකයේ බලවත් රාජ්‍ය, සෙසු රාජ්‍යයන් වෙත පතුරුවන ස්වෛරීයත්වයට එරෙහි බාධා කිරීම් අන්තර්ජාතික පර්යාය තුළ බොහෝ විටම මතභේදයට ලක්වීම නිරායාසයෙන්ම සිදු වන්නකි.
එක්සත් ජනපදය 2018දී ඉරානය සමඟ වූ න්‍යෂ්ටික වැඩසටහනින් ඒකපාර්ශ්වීයව ඉවත් වූ අතර, ට්‍රම්ප් පරිපාලනයේ දෙවැනි අදියරේදීද ඉරානයට, එක්සත් ජනපදය පිළිබඳ කිසිදු විශ්වාසදායි ප්‍රවේශයක් නැති බව යථාර්ථයයි. ඉරානය, ඔපෙක් සංවිධානයට දන්වා ඇත්තේ තෙල් අපනයනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය පැනවීමට සූදානම් වන සම්බාධක හමුවේ මේ හා සම්බන්ධ සියලු පාර්ශ්ව ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවයි. ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික මවාපෑම් ඔස්සේ ඉරාන ඉස්ලාමීය ජනරජය අවතක්සේරු කිරීමට හා ඉරානයට බලපෑම් කිරීමට ජනපති ට්‍රම්ප් දරන තැත තමන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ඉරානය වෙතින් ප්‍රකාශ වී ඇති බව සුපැහැදිලි කරුණක් බවට පත්ව ඇත.
පී.ආර්. දුෂාන්ති සිල්වා