Home » බක් මහ උලෙළට කාන්දු වන තුප්පහි ක්‍රීඩා

බක් මහ උලෙළට කාන්දු වන තුප්පහි ක්‍රීඩා

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment

‘බක් මහ උලෙළ’ නමින් හඳුන්වනු ලබන අලුත් අවුරුද්ද පිළිබඳ අප හැම දෙනාට ම ඇති මතකය සුන්දර ය. රට සමෘද්ධිමත් නම්, බත බුලතින් සරු නම් අලුත් අවුරුද්දේ සතුට දෝරෙ ගලන්නේ ය.

අලුත් අවුරුද්ද සැලකෙන්නේ මහා සංස්කෘතික මංගල්‍යයක් වශයෙනි. එය එසේ වන්නේ වියැකී යන සිරිත් විරිත්වලට ජීවය දී, ඒවා ඊළඟ පරම්පරාවට ප්‍රක්ෂේපණය කරන නිසා ය. මෙහිදී සමාජයේ ඉදිරි ගමන උදෙසා අවුරුදු කෙළි සෙල්ලම් ඉටු කරනුයේ අත්හළ නොහැකි වගකීමකි. ගතින් මහලු වූ ගොවියාට ද සිතින් තාරුණ්‍යයක් ගෙන දීමට මේ ජාතික කෙළි සෙල්ලම් අතීතයේ සිට ම ඉවහල් විය. සිංහල ජාතික ක්‍රීඩාවලින් වැඩි කොටසක් ගත වෙහෙසකර නොවන පරිදි සන්සුන් ලීලාවකින් හැඩගැසී තිබිණි.

එහෙත් වර්තමානයේ රටේ විවිධ පළාත්වල සංවිධානය කෙරෙන අවුරුදු උත්සවවල දකින්නට ලැබෙන ක්‍රීඩා අම්මා මුත්තා කාලේ වත් අපි නෑසූ ඒවා ය! අපේ පැරැණියන් ‘තුප්පහි ක්‍රීඩා’ වශයෙන් හඳුන්වා, ගම හතර මායිමට වැද්ද නොගත් ඇතැම් ක්‍රීඩා වර්තමානයේ රාජ්‍ය අවුරුදු උත්සවවලදී ද දකින්න ලැබේ. අරුමය වන්නේ මෙවැනි ඇතැම් ක්‍රීඩා තරග පවත්වන්නේ පන්සල් හා පුරාණ විහාරාරාමවලදී වීම ය.

මෙලෙස පසුගිය දිනක මාධ්‍ය මඟින් අප දුටුවේ කුඩා දරුවන්ගේ කිරි බෝතලයක් කිහිල්ලේ රඳවාගෙන සිටින තරුණියන්ගෙන් තරගයට කිරි උරා බොන තරුණයෝ ය. තවත් තැනක ඉණේ ලණුවකින් එල්ලන ලද වම්බටු ගෙඩියක් පද්දමින් එයින් පහර දී, බිම ඇති දෙහි ගෙඩියක් තල්ලු කරමින් තරග අන්තයට ගෙන යන ආකාරය මුහුණු පොතේ සංසරණය විය. අප කුඩා අවධියේ තරුණයන් හා තරුණියන් එක්ව කරන ක්‍රීඩා ලෙස දකින්න ලැබුණේ ඉදිකටුවට නූල දැමීම වැනි මනා සංයමයකින් යුතු ක්‍රීඩා තරගය. ඒ වෙනුවට හිරිඔතප් බිඳින, ලජ්ජා බිය නැති ක්‍රීඩා ගම්බද කරළියට පැමිණියේ කෙසේ දැයි අපි නොදනිමු.

පැරණියන් ‘තුප්පහියන්’ ලෙස හැඳින්වූයේ විදේශිකයන්ගේ ගති-සිරිත් අනුගමනය කරමින්, ඒ ඌරුවට ජීවත් වීමට උත්සාහ දරන කොම්ප්‍රදෝරු ප්‍රජාව ය. ලංකාවේ ගැමි සමාජයට එවැනි විසූක දස්සන ක්‍රීඩා ගෙන ආවේ තුප්පහියන් විසිනි. ගෝණියේ බැස දිවීම, බනිස් කෑම, කණා මුට්ටිය බිඳීම, අලියාට ඇස තැබීම ආදිය එසේ මෙරට පැළපදියම් වූ ක්‍රීඩා ලෙස සැලකිය හැකිය. ඒවා දැනටමත් දේශීය ක්‍රීඩා ලෙස මෙරට සංස්කෘතිය ආක්‍රමණය කර හමාර ය.

පාරම්පරික දේශීය ක්‍රීඩා පුද්ගලයන්ගේ වයස හෝ තත්ත්වය අනුව වෙන් කළ නොහැකි ය. එහෙත් ගෘහ ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා, ගත වෙහෙසවන ක්‍රීඩා සහ ත්‍රාසය දනවන ක්‍රීඩා වශයෙන් වෙන් කළ හැකි ය. පංච කෙළිය, ඔළිඳ කෙළිය, නෙරිංචි ඇදීම, දාම් ඇදීම, පොල් නෙළීම, ඉදි කැඩීම, සත් දිවියන් කෙළිය ආදි ක්‍රීඩා ගෘහ ක්‍රීඩා අතරෙහි ප්‍රධාන තැනක් ගන්නා ඒවා ය. මේවර කෙළිය කාන්තාවන්ගේ ක්‍රීඩාවකි. එළුවන් කෑම ද එසේ ය. කොට්ටපොර, කඹ ඇදීම, ලිස්සන ගහේ නැඟීම ආදි ක්‍රීඩා තරුණයන්ගේ කාය ශක්තිය විදහා පාන ක්‍රීඩා වූ අතර, ඒවා දුරාතීතයේ සිට ම සිංහල අවුරුදු උත්සවවල කැපී පෙනෙන අංග විය.

පැරණි සිංහලයාට ක්‍රීඩා සම්බන්ධ පොදු ආයතන නො වී ය. ඒ සියලු ක්‍රීඩා භාවිතය විසින් පාරම්පරිකව අඛණ්ඩව ඉතිහාසයට එක් වූ ඒවා ය. මේ හේතුවෙන් ජාතික ක්‍රීඩා සම්බන්ධ ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම මිනිය නොහැකි තරම් ය. එහෙයින් මේ පාරම්පරික අවුරුදු කෙළි සෙල්ලම් රැක ගැනීම කිසි සේත් ම හුදු ‘අතීත කාමයක්’ සේ ලඝු කොට සැලකිය නොහැකි ය.

අවසාන වශයෙන් පැවසිය යුත්තේ සමාජයෙන් විතැන් වී යන දේශීය ජන ක්‍රීඩා රැක ගන්නා අතර ම, තුප්පහි ක්‍රීඩා ප්‍රවර්ධනය වැළැක්වීමට සැලකිලිමත් වීම සාරධර්ම ගැන උනන්දුව දක්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහ තරුණ ප්‍රජාවගේ වගකීමක් මිස, සංස්කෘතික පොලීසියක් යොදවා කළ හැක්කක් නොවන බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division