අපේ අවුරුද්ද
අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලාංකිකයන් විසින් අප්‍රේල් මාසයේදී සමරනු ලබන සුවිශේෂ සංස්කෘතික උත්සවයකි. අලුත් අවුරුද්ද හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර රාශියක් හා ජන ක්‍රීඩා රැසක් තිබේ. කිරිබත්, කැවුම්, කොකිස්වලින් අවුරුදු කෑම මේසය හැඩ වෙයි. සියලු දෙනා එක්ව එකම වේලාවට කටයුතු කිරීම අලුත් අවුරුදු නැකැත්වල ඇති විශේෂත්වයයි.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
පිනෙළි මෙත්මා
6 ශ්‍රේණිය, යශෝධරා දේවි බාලිකා විද්‍යාලය,
ගම්පහ.
සුබ නැකත
අලුත් ඇඳුම් තෑගි බෝග
අපට ලැබෙනවා…
කැවුම් කොකිස් මුං අළුවා
රසට හැදෙනවා…
සුබ නැකතට එකතු වෙලා
කිරි බත් කනවා…
හෙළ සිරිතට කවුරුත්
අවුරුදු සමරනවා…
සඳදි සහංසා
6 ශ්‍රේණිය,
ඒෂියන් ග්‍රැමර් පාසල,
ගොතටුව.
අපේ ගමටත් අවුරුදු
රතුපාටින් එරබදු මල් පිපී වැනෙන්නේ
හොඳට ඉදුණු පලතුරු ගස් පුරාම තියෙන්නේ
පුංචි කොහා අවුරුදු ගී හැම තැනකම ගයන්නේ
බක්මාසය ළඟ එන බව අපට දැනෙන්නේ
කැවුම් කොකිස් මුං අළුවා සුවඳ හමන්නේ
කහ පාටින් කෙසෙල් කැනක් ගෙයි හිනැහෙන්නේ
ඔන්චිලි වාරම් මැද්දේ අවුරුදු කුමරුන් වඩින්නේ
අපේ ගමටම සුබ නැකතින් කිරි ඉතිරෙන්නේ
හිරිඹුරේ ගමගේ ධරනි චේතනා
5 ශ්‍රේණිය, වැයිහේන කනිෂ්ඨ විද්‍යාලය,
බද්දේගම.
පුංචි අපට
එරබඳු ගහ රතු පාටට සිනා වෙවී බලයි
කොහා ඇවිත් ගේ දොරකඩ නාද දී ගයයි
ගම පුරාම නැවුම් කොකිස් සුවඳ දී හමයි
පුංචි අපට අවුරුදු එන දවස් අත ළඟයි
සසඳි දම්දුලා පෙරේරා
4 ශ්‍රේණිය ඒ,
රාජසිංහ ප්‍රාථමික විද්‍යාලය,
බෝපේ, පාදුක්ක.
සැමට සෙත් වේවා!
අවුරුදු සැණකෙළි දසත ඇසෙන්නේ
කොවුල් හඬින් ගී හඬ පැතිරෙන්නේ
ගහකොළ ඇළදොළ ගී මුමුනන්නේ
හෙළ සිරිතට අවුරුදු සමරන්නේ
රබන් කොවුල් නද
ඇසෙන්නේ බක් මහට
අවුරුදු දිනට ආසයි
මුළුතැන් ගෙයි සිටින්නට
ගජරාමෙට කැවුම් කොකිස්
හැදෙනා හැටි බලන්නට
ගමට එන්න අවුරුද්දට
සතුටු වෙන්න සතුටු වෙන්න
ඩී. ජේ. එම්. සිතුමිණි කාවින්ධ්‍යා
10 ශ්‍රේණිය,
බෞද්ධ බාලිකා ජාතික පාසල,
කිරිමැටියාන.
කොහා ගයයි
අලුත් ඇඳුම් ගෙන හැඩ බලමින්නේ
රඹන් සුරල් හඬ දසත ඇසෙන්නේ
මිහිරි හඬින් ගී කොහා ගයන්නේ
අවුරුදු කුමරා ගමට වඩින්නේ
නුවණී සසදුලා පෙරේරා
6 ශ්‍රේණිය,
සාගර පලන්සූරිය මහා විද්‍යාලය,
හඳපාන්ගොඩ.
අවුරුදු ඇවිදින්
අවුරුදු ඇවිදින්
කොහා අඬනවා
එරබදු ගස්වල මල්
රතට පිපෙනවා
ආච්චි අම්මා
කැවුම් හදනවා
ලොකු අම්මා අපෙ
කොකිස් බදිනවා
රබන් සද්දෙ
හඬ පැතිරෙනවා
ඔන්චිලි චිලි චිල්ල මලේයා
ඔන්චිලි වාරම් අපට ඇසෙනවා
හැමදාමත් ඇයි අවුරුදු නැත්තේ?
ආසයි මම අවුරුද්ද එනවට
අහල්යා වික්‍රමසිංහ
4 ශ්‍රේණිය, කාන්තා විදුහල, කොළඹ 7.
පුංචි අපට සතුටුයි
මල් හිනැහෙනවා
අවුරුදු එනවා
කොහා ගයනවා
කැවිලි හදනවා
නැකත් ලබනවා
වැඩිහිටි පා නමදිනවා
තෑගි ලබනවා
සතුට දැනෙනවා
ජේ.ඒ. සෙනුලි තෙහස්නා
4 ශ්‍රේණිය ඒ,
ලුම්බිණි විදුහල,
කොළඹ.