බිත්ති ඔරලෝසුව දෙස තත්පර කිහිපයක් ඇසිපිය නොහෙළා බලා සිටි සුනන්දාට අද වෙලාව යන්නේ ඉතා සෙමෙනැයි සිතිණි. ඇය පයිරෙක්ස් වීදුරු භාජන දෙක සෝදා පැන්ට්‍රියේ පාවිච්චියට තිබූ සුදු පාට තුවායෙන් පිස දමා මේසය මත තැබුවා ය. රයිස් කුකරය සෝදා පිස දමා මඳ වේලාවක් කල්පනා කළ ඇය කිරිබත් ඉවීමට තවම වේලාසන වැඩියැයි තීරණය කළාය.
ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ පාන්දර එකයි හතළිස්හයටය. ළිප ගිනි දැල්වීම හා ආහාර පිසීම යෙදී ඇත්තේ රාත්‍රී දොළහයි විසිහතටය. සුනන්දා සිතුවේ මධ්‍යම රාත්‍රිය පසු වූ විගසම හාල් හෝදා කිරිබත ළිපේ තැබීමටය. පෙරේදා සිංහල කඩෙන් ගෙනා කැකුළු හාල් කිලෝවේ පැකට්ටුව හා මැගී පොල්කිරි පිටි පැකැට්ටුව කුළු බඩු රාක්කයෙන් එළියට ගත් ඇය පැකට් දෙකම විවෘත කර මේසයේ තැබුවේ මීට පැයකට පමණ පෙරය.
ඇයගේ සිතට වද දුන්නේ පුංචි පුතා අවදි කරවා ගැනීම ගැනය. පාසල් ගොස් පැමිණි වේලේ සිට කුඩා ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩුවක් අතින් ගෙන විවිධ හඬ නඟන ලෙස ඇඟිලිවලින් ඔබමින් සිටි රවිඳු ඇඟ සෝදාගැනීමට පොලඹවා ගත්තේ බොහෝ වේලාවක් කන්නලව් කිරීමෙන් පසුවය. රාත්‍රී දහයත් පසු වී ඇති මේ වෙලාවේ රවිඳු තද නින්දේය. ආහාර අනුභවය සඳහා රාත්‍රී එක හමාරටවත් රවිඳු අවදි කරවාගත යුතුය.
අම්මා ලංකාවේ සිට තැපැල් කර එවූ පංචාඞ්ග ලිතේ සඳහන් වූයේ කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දෙස බලා ආහාර අනුභවය කරන ලෙසය. ලංකාවෙන් ගෙනා කහපාට සායක් කලින්දා රාත්‍රියේ සොයාගත් සුනන්දා බෙහෙවින් සතුටට පත් වූවාය. කහපාට කමිසයක් ඇත්දැයි ඇසූ විට මනෝජ් බක බක ගා සිනාසෙන්න වූයේ “ඔයාට පිස්සුද?” යි සුනන්දාගෙන් අසමිනි.
“ඔය අවුරුදු චාරිත්‍ර මේ රටවල කරන්න පුළුවන්ද, ලංකාවෙ වගේ?” මනෝජ් උපහාස ස්වරයෙන් කී විට සුනන්දා කතාව නවත්වා කරබාගත්තාය. මනෝජ් ළඟ ඇති කහපාට ඉරි වැටුණු සුදු කමිසය කෙසේ හෝ ඔහුට ඇන්දවිය යුතු යැයි ඇය අදිටන් කර ගත්තාය.
ප්‍රශ්නය වූයේ රවිඳුට කහපාට ඇඳුමක් නැති වීමය. සුනන්දා දසඅතේ කල්පනා කළාය. මේ අවුරුද්දේ අවුරුදු චාරිත්‍රය සඳහා පමණක් කහපාට කමිසයක් හා කලිසමක් මිල දී ගැනීමට සුනන්දාට සිත් නොදයි. මනෝජ්ට තවම හරියාකාර රැකියාවක් නැත. වැඩ පුහුණුව සඳහා සතියකට දවස් දෙකක් යන ගරාජයෙන් ඔහුට ලැබෙන දීමනාවක්ද නැත. ලැබෙන්නේ අනාගත රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය වන ‘ලෝකල් එක්ස්පීරියන්ස්’ පමණි.
කලකිරුණු සිතින් ගෙදර එන අතරේ සුනන්දාට ගණ දෙවි නුවණ පහළ විය. රවිඳු අඟහරුවාදා පාසල් ක්‍රීඩා දිනයට අඳින්නේ කහපාට ටීෂර්ට් එකකි. ගිය අඟහරුවාදා ඇන්ද පසු එය සෝදන්න අමතක වූ බවද සුනන්දාට මතක් විය. සාමාන්‍යයෙන් හැම අඟහරුවාදාම පාසල් ගොස් පැමිණි පසු හෝ බදාදා උදය වරුවේ රවිඳුගේ ක්‍රීඩා ඇඳුම හෝදා වේළා නවා තැබීමට සුනන්දා අමතක නොකළාය. මේ සතිය පුරා ඇදහැළුණු මහා වැස්ස නිසාදෝ ඒ ඇඳුම සේදීමට සුනන්දා උනන්දු වූයේ නැත. එහි පාඩුව ඇයට තේරෙන්නේ දැන්ය.
වෙලාව මධ්‍යම රාත්‍රියටත් ආසන්නය. තව පැය එක හමාරකින් පමණ ඔවුන් දෙදෙනා කෙසේ හෝ අවදි කරවාගත යුතු නිසා දැන්ම ඇහැරවීම මහා අපරාධයකැයි සුනන්දා සිතුවාය. ළිප ගිනි දල්වා ආහාර පිසීමට මනෝජ් නැතත් තමාට තනිවම හෝ කළ හැකිය. එහෙත් ආහාර අනුභවය සඳහා නැකත යෙදී ඇති වෙලාවට විනාඩි පහළොවකටවත් කලින් තාත්තත් පුතාත් දෙදෙනාම අවදි කරවාගත යුතුය. එම තීරණය සනාථ කරන්නාක් මෙන් බිත්ති ඔරලෝසුවේ කුරුල්ලා දොර පළුව ඇර එළියට විත් ‘කුක්කුකූ’ හඬ නැඟුවේ මධ්‍යම රාත්‍රිය එළඹ ඇති බව කියන්නය. ළිප ගිනි දැල්වීමට තව ඇත්තේ විනාඩි විසි හතකි. ඊට පෙර සහල් සෝදා සූදානම් කර තැබිය යුතුය.
සුනන්දාට ගෙදර සිහි විය. දැන් අම්මා, තාත්තා, නංගිලා දෙන්නා සමඟ එකතු වී අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට සූදානම් වනු ඇතැයි ඇය සිතුවාය. ලංකාවේ වෙලාව දැන් පෙර දින රාත්‍රී හතහමාර විය යුතුය. මෙරට හා ලංකාව අතර කාල වෙනස අනුව ලංකාව පැය හතරහමාරක් පසුපසිනි. ලංකාවට සාපේක්ෂව නැඟෙනහිරින් පිහිටි ඔස්ට්‍රේලියාවට කලින් ඉර පායයි. සුනන්දා ඔරලෝසුව දෙස යළිත් වරක් බලා හැට්ට අතින් දෑසම පිසදා ගත්තාය.
හරියට නැකත් වෙලාවට ළිප ගිනි මොළවා කිරිබත් ඉවීමට භාජනය ළිප මත තැබූ විට සුනන්දාට සිතට ශෝකයක් හා පාළුවක් දැනිණි. ශෝකයක් දැනුණේ තනිවම මේ සුබ මොහොතට මුහුණ දෙන්න වීම නිසාය. ලංකාවේදී නම් රතිඤ්ඤා හඬ මැද්දේ අම්මා ළිප ගිනි මොළවන මොහොතේදී ගෙදර හැමෝම අම්මා වට කරගෙනය. මනෝජ්ට හොඳ රැකියාවක් ලැබුණු විට ලබන අවුරුද්දේ අගදී වත් ලංකාවට ගොස් අම්මා තාත්තා හා නංගිලා බලා ඒමට පුළුවන.
වෙලාව රාත්‍රී එක බව සුනන්දාට සිහිපත් කළේ යළිත් වරක් කුඩා දොර පළුවෙන් එළියට විත් ‘කුක්කුකූ’ හඬ නැඟූ බිත්ති ඔරලෝසුවේ කුරුල්ලාය. පොලිතීන් බෑගයක් අතට දමාගෙන කිරිබත් පිඟානක් වඩමින් සිටි සුනන්දා පිඟානේ ගැට්ටේ විසිරී තිබුණු බත් ඇට ඉවත් කර, පිඟානේ රවුම් හැඩයට කිරිබත සකස් කළාය. මීට දෙපැයකට පමණ පෙර දැනුණු නිදිමත කොහේ ගියාදැයි ඇයට නිච්චියක් නැත. නිදිමත පලවා හැර ලොකු සතුටක් ඇයගේ ගත වෙළාගෙන ඇත. පිටරටකට ඇවිත් වුවත් අවුරුදු සිරිත් ලංකාවේ සිටියදීම වාගේ සිදු කරන්නට ලැබීම ඇයට ලොකු සතුටකි.
බිත්ති ඔරලෝසුවේ රාත්‍රී එක පසු වී විනාඩි විස්ස වන තෙක් වරින් වර ඒ දෑස් යොමු කරමින් සිටි සුනන්දා හෙමින් සීරුවේ නිදඳන කාමරයට ගොස් විදුලි පහන දල්වූවාය. උඩුබැලි අතට නිදා සිටි මනෝජ් දිග සුසුමක් හෙළා පොරෝණයෙන් හිස වසා ගනිමින් අනෙක් ඇලයට හැරුණේය. ඇඳේ අනික් කෙළවරේ වම් ඇලයට හැරී මුහුණ වසාගෙන නිදන රවිඳුට විදුලි පහන දැල්වීම නින්දට කිසි බාධාවක් නොවුණා සේය. සද්ද නොවන සේ ඇඳ ළඟට ගිය සුනන්දා මනොජ්ගේ දෙපතුල අතගෑවාය.
“මනෝජ් නැඟිටින්න. දැන් වෙලාව හරි.”
මනොජ් ගෙන් කිසි ප්‍රතිචාරයක් නොලද සුනන්දා මෙවර ඔහුගේ හිස අතගෑවාය.
“මනෝජ් නැඟිටින්න. නැඟිටින්න. තව විනාඩි පහළොවකින් ආහාර අනුභවය.”
මනෝජ් මෙවරද දිගු සුසුමක් හෙළා, පොරෝනයෙන් ඔළුව හොඳින් වසාගත්තේය.
සුනන්දාට දැඩි බියක් හා ශෝකයක් ඇති විය. ආහාර අනුභව නැකතට මනෝජුත් රවිඳුත් අවදි කරවාගත හැකි වේද?
“මනෝජ් අනේ ඉක්මනට නැඟිටින්න… නැඟිටින්න… පුතත් නැඟිට්ටවන්න.”
මනෝජ් ආඩපාලි කියමින් නැඟිට්ටේ විනාඩි කිහිපයකට පසුවය. ඔහු දෑස පිස දමමින් ඇඳ මත හිඳගත්තේය.
“ඔයාට නම් පිස්සු! ලොකු ඔළුවෙ අමාරුවක් තියෙනවා. දැන් වෙලාව කීයද?”
“අනේ එහෙම කියන්න එපා මනෝජ්. ලංකාවේ හිටිය වගේ නැකත් වෙලාවට අවුරුදු චාරිත්‍ර කළේ නැත් නම් මගේ හිතට හොඳ නැහැ.”
“ඔයා දැන් ලංකාවෙද ඉන්නෙ? මේ රටවල මොන අවුරුදු චාරිත්‍රද? මේ රෑදෙගොඩහරියේ. ගිහින් නිඳාගන්න, හෙට උදේට කිරිබත් කමු.”
“අනේ මනෝජ්. මම කිරිබත් උයලත් ඉවරයි. රවිඳුත් ඉක්මනට ඇහැරවන්න. තව විනාඩි පහළොවකට වඩා නැහැ…”
“මට බෑ. මට නිදිමතයි.”
“අනේ මනෝජ්…”
රාත්‍රී එකයි හතළිහට තේ මේසය වටා මනෝජ් හා රවිඳු වාඩි වී සිටියහ. සුනන්දා කහපාට සායක් ඇඳගෙන කඩිමුඩියේ මනොජ්ගේ කහ ඉරි සහිත කමිසය රැගෙන ආවාය. මනෝජ් අකැමැත්තෙන් වුවද කමිසය ඇඳගත්තේ සුනන්දාගේ සිත පෑරේවියි සිතුණු බැවිනි. තේ මේසයට හිස ගසාගෙන නිදිමත බේරෙන රවිඳු දෙස බැලූ මනෝජ්ට ඇති වූයේ කුඩා දරුවා කෙරෙහි දුකක් හා තම බිරිය කෙරෙහි කෝපයකි. එහෙත් මේ කෝපය පෙන්වීමට වෙලාව නොවේ. මීට මොහොතකට පෙර රවිඳුට කහපාට කමිසය ඇන්දවීමට සුනන්දාට කරන්ට සිදු වූයේ ලේසි-පාසු හරඹයක් නොවේ. නිදිමත බේරෙන දරුවාගේ දෑත් ඔසවා කිලිටි ක්‍රීඩා කමිසය ඔහුට අන්දවා ඇත්තේ කණපිටටය. කමිසය අන්දවා ඔහු වඩාගෙන තේ මේසය මතට ගෙන ආ විගස රවිඳු මේසය මත හිස ගසාගෙන යළිත් නිදන්න පටන් ගත්තේය.
“පුතා, දැන් නිදාගන්න එපා. හොඳ රත්තරන් පුතා නේ… පොඩ්ඩක් ඇහැරිලා මේ කිරිබත් කෑල්ලක් කන්න…” සුනන්දා කීවේ වෙව්ලන හඬිනි.
“මගේ පුතා කිරිබත් කෑල්ලක් කන්න. අද සිංහල අවුරුද්දට ලංකාවෙදි වගේ මෙහෙදිත් කිරිබත් කන්න ඕනැ නේ…”
මනෝජ්ට සිතුණේ තේ මේසයේ පුටුවත් පෙරළාගෙන නැඟිටින්නටය.
“ඔය මේ මොන පිස්සුවක්ද නටන්නේ? හෙට උදේට කිරිබත් කෑල්ලක් කවන්න ඔච්චර ඕෑ නම්. මේ මහ රෑ ජාමේ මොන අවුරුදු චාරිත්‍ර ද?”
“අනේ මනෝජ් ඔහොම කියන්න එපා. අම්මලා දැනගත්තොත් අපි මේ රටේදී මේ සිරිත් කරන්නේ නැහැ කියල මොනවා හිතයිද?”
“ඔයාගේ විකාර!”
“අවුරුද්ද දවසේවත් මට හිතේ සැනසීමක් නෑ!” සුනන්දා කිවේ හඬන්නාක් මෙනි.
මාරුවෙන් කිරිබත් පිඬක් රවිඳුගේ කටේ ඇතිල්ලූ සුනන්දා රවිඳු වඩාගෙන ගොස් ඇඳේ තබා ඇතිරිල්ල පෙරවූවාය. මනෝජ් ආඩපාලි කියමින් ගොස් විදුලි පහන නිවා ඇඳේ වැතුරුණේය. දෑසට නැඟෙන කඳුළු පිසදැමීමට තැත් නොකළ සුනන්දා කිරිබත් කෑල්ලක් හා කෙසෙල් ගෙඩියක් කා සිතින් පන්සිල් ගත්තාය. මේ රටට ඇවිත් පළමු සිංහල අවුරුද්ද මේ අන්දමින් ගෙවී යනු ඇතැයි ඇය කිසිවිටක සිතුවේ නැත.
මනෝජ් අසලින් ඇඳේ වැතිරුණත් නින්ද ඇය කරා ආවේ නැත. මනෝජ් ගොරවන හඬට කන් දී සිටි ඇය සිතින් ගියේ ලංකාවේ ගමේ ගෙදරටය. “අනේ ලංකාවේ හිටිය නම්…” යැයි කඳුළු අතුරින් ඇයට සිතිණි. ඇයට නින්ද ගියේ ඇයටත් නොදැනුවත්මය.
උදේ හතටත් පෙර එක්වරම නැඟිටගත් සුනන්දා කිසිවක් මතක් වූවා සේ සාලයේ ලියන මේසය කරා ගොස් රවිඳුගේ පොත් බෑගය ඇර, එහි වූ කඩදාසියක් එළියට ගත්තාය. ඇයගේ හදවත ගැහෙන්නට විය. දෑස කඳුළින් තෙමී ගියේය. රවිඳු යවන්නට සිතා සිටි ටියුෂන් පන්තියේ පළමු දිනය අද සෙනසුරාදාය. පන්තිය පටන් ගන්නේ උදේ අටහමාරටය. පන්තිය ඇති බර්වුඩ් උප නගරයට යෑම සඳහා පැය බාගයක් වත් ගත වේ. හරියට උදේ අටට රවිඳුත් සුනන්දාත් කැටුව යෑමට වාහනයෙන් එන බව විජිතා කියූ බව සුනන්දාට මතක් වන්නේ දැන්ය.
“අනේ දෙයියනේ? පළමුවැනි දවසේම ටියුෂන් පන්තිය මඟඅරින්නේ කොහොමද?”
හතහමාරට රවිඳු ඇහැරවන්න තැත් කළ සුනන්දාට මනෝජ් බැණ වැදුණේය.
“ළමය ඊයේ මහ රෑ නැඟිට්ටවල, දැන් ආයිත් ඇහැරවන්නද හදන්නේ? ඔයාගේ ඔළුව හොඳටම නරක් වෙලා. ඒ ළමයට නිඳාගන්න දෙන්න!”
“එහෙම කොහොමද මනෝජ්? ටියුෂන් පන්තියේ අද මුල්ම දවස…”
“මොකද අදම ටියුෂන් දමාගත්තේ? මහ රෑ ජාමේ නැඟිට්ටපු ළමයෙක් ආයිත් මේ පාන්දර නැඟිට්ටවන්න පුළුවන්ද? ඔයා මගේත් නින්ද කැඩුවා!”
“අනේ මනෝජ්… කොහොම හරි මෙයා ඇහැරවලා දෙන්න. අද පළමුවෙනි දවස. යන්නම ඕනෑ…”
සුනන්දාගේ කටහඬ පැටලෙයි. ඇය අඬන්න ආසන්නය.
“රැවුලයි කැඳයි දෙකම බෑ. එක්කෝ මහා රෑ අවුරුදු චාරිත්‍ර, නැත්නම් පාන්දර ටියුෂන් පන්ති!”
මනෝජ් දෑස තදින්ම පියා පොරෝනයෙන් තම හිස වසා ගත්තේය.
“අනේ මගේ පුතා නැඟිටින්න. නැඟිටලා මූණ හෝදගෙන ඇඳගන්න. විජිත ඇන්ටි දැන් එනවා ඇති ඔයාව එක්ක යන්න ටියුෂන් පන්තියට.”
හදිසියේ අවදි කරවීම නිසා නොසන්සුන් වූ රවිඳු අඬන්න විය.
“මොන කරදරයක්ද මේ? ළමයට නින්දකුත් නෑ. මට නින්දකුත් නෑ… මොකක්ද මේ ඔයාට හැදිලා තියෙන ඔල්මාදේ?”
“අනේ අර විජිතා ඔච්චර දුර ඉඳල මගේ කීමට අද එන්නේ මෙයා ඉස්සෙල්ලාම ටියුෂන් පන්තියට එක්ක යන්න.”
“ඕන නාඩගමක් නටාගන්ඩ. මාව ඇහැරවන්න එපා!”
“අනේ මනෝජ්…”
ගේ ඉදිරිපිට නැවැත්වූ වාහනයක නළා හඬ ඇසිණ.
“අන්න විජිතා ඇවිල්ලා, පුතා ඉක්මනට නැඟිටින්න” යි කියමින් සුනන්දා දොර ඇරීමට දිව්වාය.
ආචාර්ය පාලිත ගනේවත්ත