එදා සහ අද
කුමරිය වැහැරිලාද
එරබදු මල් කොහේද
දඬුවැල්ලෑ තිත්තද
ලිස්සන උන් දැක්කද
එළුවන් කෑව ළමෝ
කොහේද සින්දු කොහෝ
මල් මල් ටිකිරි නගෝ
ඔංචිලි කවිත් නැතෝ
කඹ ඇද පැති බෙදිලා
ගමටත් හති වැටිලා
ටෙලි අවුරුදු මවලා
මොනරුන් වැහි වැහැලා
වරකා ඉදුණු ගහට
හෙණ හත වැදුණු කලට
කිරි උතුරනා පැලට
අලුතෙන් ලිතක් කුමට
මහගම සීලානන්ද හිමි
මිහිරියි එදා
ඉපල් වී වේළී නිදා සිටි රුක් ගොමුව යළි ඇහැරිලා
සිහිල් උණුසුම් සුළං රැල්ලෙන් අලුත් දලු කොළ ලියලලා
නොසෙල්වී පොළොවේ ගිලී සිටි ඩේලියා අල පැළවෙලා
විසල් සිතිවිලි අතේ අරගෙන වසන්තය මල්වර වෙලා
පිපුණ එරබදු මලක පාටින් සිත් සතන් එළිවිය සදා
දකින අවුරුදු කුමරු සිහි කර මුහුණු පෙළ සතුටින් බදා
පහන ළඟ මහගෙදර සාලේ මා පියන් දැක මල් පුදා
මුහුණ හරවා සුසුම් සඟවමි අවුරුද්ද මිහිරියි එදා
ශ්‍යාම කුමාර මුණසිංහ
අවුරුදු ආසිරි!
දිනකර දෙවි මේස රැසට ගෙවදී ලෙස ලෝ නියා
තුරුවැල්වල පවා සතුට උතුරයි මල් පල තියා
රස බෙදනා ගෙයින් ගෙයට බෙදුණා දැන් ඇති කියා
නව අවුරුදු එළඹෙයි හෙට නව යුගයට ගී ගයා
කෙළි නළු ගී රඟ මගුලකි කූජන නද වය වයා
හෙළ දමිළ ය විරසක නැති එකම දැයක පා දයා
හැම පියසෙම බත ඉදේද නැකතට බලමුකො සොයා
නව සළුපිළි හැඳ පේවෙමු පෙර වැරහැලි හැර පියා
පාලිත අරවින්ද වීරක්කොඩි
කොවුල් හඬට බැඳී…
ගිමන් හරින උල්පත් දිය
දිය කඳුරක රැඳී
රිදී කඳක් සේ ගලාවි
බෑවුම්වල වැදී
බක් සුළඟට
පෙමින් බැඳී
පෙති ගිලිහුණු
රතු එරබඳු හාදු දේවි
ගං දෑලේ රැඳී
පෙමින් වෙළුණු ඉවුරු දෑල
වසන්තයම තුරුළු කරන්
පිපුණු පියුම් හිඳී
මිහිරි හඬින් ගයන්න නම්
කොවුල් හඬට බැඳී
ඇමුණු නැවුම් පද පොකුරක්
අරන් එන්න නදී
බන්දුසිරි ජයලත් රූපසිංහ
අලුත් වෙමු
අමාවක නැවතිලා අඳුර මූසල රුතී
පුරාහඳ නොඑන්නම ගිහිල්ලාදැයි සිතී
පලාගොස් සිත සතුට පාලුවක් ආ එතී
විදාලන තුරු හිඳිමු නව වසක මල් පෙතී
කුර ගගා ඉරු යද්දි රාශියේ සිට මීන
වැළකිලා අනතුරක් මුණගැහෙන තුරු මේෂ
පලඳලා තුරු මුදුන් මත නේක පැහැ සේල
සරසලා ගමුනේද මකා හැම සිත ශෝක
පෙඟී හැම හදවතම හිරුගෙ කිරණින් රිදී
නිවී මුළු තුන් ලොවම නපුරු ගිනි දැල් සිඳී
ගෙවී ගොස් සැම අපල සතුට පමණක් රැඳී
පිපී මුව දිලේවා සිනා නිති දුක් බිඳී
මනෝරි ගමගේ
අටු කොටු පිරිලා
බිඟු නද පැතිරේ වෙල් ඉපනැල්ලේ
එරබඳු මල් පිපිලා නැළවෙයි ගහ මුදුනේ
කොවුල් නදට ගම් බිම් ඇහැරෙන්නේ
අටු කොටු පිරිලා ගම සරු වෙන්නේ
වක්කඩ පැන දිය රබන් වයන්නේ
රතිඤ්ඤා සද්දෙට නැකැත් හැදෙන්නේ
කැවුම් කොකිස් මුං කිරිබත් හිනැහෙයි
ගමේම නෑයෝ නෑගම් යන්නට සැරසෙයි
ලෙච්චමී සෙල්ලයියා රංමැණිකා
එකම නැකතකට වැඩපළ අල්ලන්නේ
පංච, දාදු කැට ගේ මිදුලට එන්නේ
පුදුමෙකි මේ පින් බිම සිරිත් රකින්නේ
මංජුල සෙනෙවිරත්න
කිරි ඉතිරෙනවා
සිසිලස වැස්සේ විරසකකම් සේදෙනවා
ඉඳිකඩ උඩින් පැනගෙන හොඳ හිත එනවා
අවුරුදු පැතුම් පතමින් සිත් හිනැහෙනවා
ගම්මානයට අවුරුදු කිරි ඉතිරෙනවා
ගාමිණි ලිවේරා
දුකට කියන කවි
රතු එරබදු මල් පිරිච්ච ගස් හොය හොය වල්මත්වී
කොහා ඉන්නෙ කණාටු වුණ ඇහැළ ගහක් මත හිරවී
ඉස්සර කී ගී සින්දු ගිහින් වගෙයි අමතකවී
‘කොහෝ’ ‘කොහෝ’ හඬ අතරින් දුක් ගීයක් ඉස්මතුවී
රබන් සුරල් පද නොඇසෙයි පෙරදා මෙන් ගම්මානේ
දෙදරුම් දෙයි සංගීතය තැන තැන කඩපිල් ගානේ
ඔන්චිල්ලාවක් බඳින්න ලණු දෙපොටක් නැතුවානේ
ඔන්චිලිවාරම් නැතිවම කජු ගස් සෙලවෙනවානේ
කැවුම් සුවඳ නැත දොර දොර තෙල් තාච්චි හිස්ව ගිහින්
කඩෙන් ගත්ත අච්චු කැවුම් මේසය මත උපහාසෙන්
පංච දැමූ සොඳුරු ළඳුන් සිනා කවට බස් දොඩමින්
සිදාදියෙන් සුළඟක් විත් ඒරොප්පෙට අරං ගිහින්
ශිරෝමි රමලා පෙරේරා
කුමරිය ගමට වඩින්නේ
පදින ඔංචිලි ළඳුන්
ගයනා ගීතයෙන්
ගම හැඩ කෙරෙන්නේ
පිපෙන එරබදු මලින් තුරුහිස
අමුතු සිරියකි මතු කෙරෙන්නේ
ඇසෙන තාලෙට රබානේ හඬ
අලුත් හැඟුමන් පුබුදු වන්නේ
පිරෙන කාලෙට තමයි අටු කොටු
කුමරි අවුරුදු ගමට එන්නේ
අම්බලන්ගොඩ සමරනායක
සොබා අවුරුද්ද
රන් හිරු දිලෙන්නේ
රිදියෙන් වැසි වසින්නේ
පොළොව සැනැහෙන්නේ
අලුත් නිල්ලෙන් හිනා වෙන්නේ
.
දලු මල් පිරි තුරු වදුලේ
කෝකිල කූජන ඇසුණේ
අඹමල් රොන් පිරුනේ
ඒ වට බිඟු ගුම් නැඟුණේ
සොබා මවගෙ ළෙහි කරුණා
මිනිස් වගට සෙත ගෙනෙනා
ඈ හා සෙනෙහෙන් වසනා
හැම කල් මනු වග රැකෙනා
රන්වන් හිරු රැස් ලද්දේ
ඉන් රන් කෙත් අස්වැද්දේ
සරු අස්වනු ලත් සද්දේ
සැම හට සෙත් අවුරුද්දේ ..!
කුමුදිනී වේලාරත්න