බුලත් යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳව වියතුන් විවිධ අදහස් දක්වා අති අතර, “නා ලොවින් භූමියට ලැබුණා” යන අර්ථයෙන් භූ + ලත් = බුලත් වී යැයි පිළිගැනීමය.
“කොලත් මලුත් මිස ගෙඩි නැත මේ කපට
අලුත්, කොළත් මල් එක සරි කෑමට
මේ ලක් භූමියේ පළවුනි අළුපිට
බුලත් නම කියා තිබුණා රජසිට”
එසේම නාගයාගේ පෙනය මෙන් බුලත් කොළය පෙනෙන නිසා බු + ඉලත් = බුලත් වී ඇති බව තවත් මතයකි. ඉලත් යනු දෙමළෙන් කාලය යන අර්ථය යි. බජග නාගයාට නමකි. සංස්කෘතික භාෂාවෙන් බුලත් වලට ‘භුලතා’ යැයි යෙදෙයි.
‘දළු මුර උපත’ සඳහන් ආකාරයට සක් දෙවිඳු විසින් සවකු ලෙසින් උපන් බෝසතුන්ගේ රුව සඳ මඬලේ ඇඳ හමාර වී තෙලිකූර (පින්සලය) ගුවනට හෙළූ විට එය නා ලොවට වැටී මුචලින්ද නා රජුගේ මුවේ රැඳුණු බවත්, නා රජු මිය ගිය බවත් සඳහන් වේ. අනතුරුව සෙසු නාගයෝ රැස්ව මුවලින්ද සිරුර ආදාහනය කරන විට නාග බඳින් බුලත් වැල හටගත් බවත්, පෙනයෙන් බුලත් කොළය ඇති වූ බවත් සඳහන් වේ. බුලතට ‘නාගවල්ලී’ යන නාමය ඇති වූයේ මේ නිසා යැයි පැරැන්නෝ විශ්වාස කරති.
කැලණියේ සිදු වූ චුලෝදර මහෝදර නා රජුන්ගේ මිණි පලඟ සම්බන්ධ යුද්ධයේදී නා ලොවෙන් මිනිස් ලොවට බුලත් ගෙන එන ලදි. එහිදී උමා දේවිය බුලත් වැලක් රෝපණය කොට ඉක්බිතිව බුලත් ලෝකය පුරා ව්‍යාප්ත වී ගියේය. පොළොව මේ භෝගය ලැබූ නිසා බුලත් යන නාමය ඊට තැබූ බවද සඳහන්ය.
ගැමියෝ බුලත් කෑමට පෙර මුල හා අග නැට්ට කඩා ඉවත් කිරීම කරන්නේ නා ලොවින් නාගයන් මුවේ තබාගෙන ආ නිසා එහි විෂ ඇතැයි යන මතය අනුවයි. බුලත් කඩනු ලබන්නේ නිය පොත්තෙන් නිසා එහි විෂ ඇතැයි ද ගැමියෝ කියති. තවත් මතයක් නම්, බුලත් කොළයේ මකුළු දැල් බඳින්නේ නැට්ටේ නිසා එය ඉවත් කළ යුතු බවයි. විද්‍යාත්මක මතය නම්, බුලත් කොළය පහළ කොන එල්ලී ඇති බැවින් එහි විෂබීජ එකතුවන හෙයින් ද නිය පොත්තෙන් බුලත් කඩන බැවින් ද විෂබීජ ඇති නිසා කොන් දෙක කඩා ඉවත් කිරීම සෞඛ්‍යයට හිතකර බවයි.
පාලි භාෂාවෙන් පුවක්වලට ‘පුන’ යැයි කියනු ලැබේ. ‘පුවක්’ යනු ගෙඩියයි. පූග +ප යන්නෙන් පුවක් නාමය හැදී තිබේ. හුනු යන්න පාලියෙන් චුන්න, යන පදයෙන් බිඳී ආවකි. භාවිතයේදී චුණු – හුනු වී ඇතැයි සිතිය හැකිය. පුරාණ සිංහලයන් බුලත්විටකට දුම්කොළ භාවිතා කිරීමක් නැත. ලන්දේසීන් මෙරටට දුම් කොළ ගෙන ඒමෙන් පසුව බුලත් විට දුම් කොළ එකතු වී තිබේ. මෙය 16 වන ශතවර්ෂයේදී පමණ සිදු විය.
පුවක්, කරඳමුංගු, ඉඟුරු පියළි, වැල්මී, හුණු, කස්තුරි යන මේවා එදා ආර්යයෝ බුලත් විට සැපයීමේදී භාවිත කර තිබේ. බුලත් විටට විශේෂ එකතු කිරීමක් නම් කයිප්පු ය. උදේ වරුවේ පුවක් සමඟද මධ්‍යහනේ කයිප්පු සමඟද රාත්‍රී කාලයේදී හුණු සමඟ ද බුලත් විට රසවත් ලෙස කෑමට ගත්තේය. කයිප්පු සාදන්නේ රත්කිරිය අරටු කකාරා ගත් ජලය උණු කිරීමෙන්ය. පසුව ඒවා හිදවනු ලැබේ. බුලත් විට එකතු වූ පස් පළවන නම් සාදික්කා, තකුල්, හීන් එනසාල්, අරළු සහ පුවක්ය. තකුල් යනු කපුකිනිස්සාය. ශ්‍රීමත් වාත්ස්‍යාණාචාර්යන්ගේ කාම සූත්‍රයේ මෙසේ දැක්වෙයි.
“යුවතිය වැලඳ ගැනීම ඉවසා සිටින්නේ නම් පෙම්වතා ඇගේ මුව තුළ බුලත් විටක් තැබිය යුතුය. ඇය එය නොපිළිගනී නම් ඉතා මිහිරි බසින් පිළිගන්නා ලෙස පෙරැත්ත කළ යුතුය. බුලත් කවන අතර, ඉතා ආදරයෙන් මොලොක් ලෙස ඇගේ මුව සිඹගත යුතුය.” සංවාසයෙන් පසුව බුලත් විටත් කෑ යුතු යැයි කියන වාත්ස්‍යානයන් බුලත් විට පෙම්වතුන්ගේ කාමරේ තිබිය යුතු අත්‍යවශ්‍ය දෙයක් බව සඳහන් කරයි.
ලාංකීය සිංහල රජවරුන්ට බුලත් සැපයීමට බුලත් ගම් 500 තිබුණු බව මන්දාරම්පුර පුවතේ සඳහන් වේ. දඹදෙණි අසනේද 300 ක් බුලත්ගම් තිබුණු බව කියවේ. රජුට බුලත් සැපයීම නිසා “බුලත් සිංහල” ග්‍රාම නාමය සෑදී තිබේ.
බුලත් කෑමට ඇබ්බැහි වූ සිංහලයින් ඒ සඳහා වෙනම උපකරණ නිපදවා තිබේ. බුලත් හේප්පුව, හුනු කිල්ලෝටය, ගිරය, පඩික්කම මේ අතර වේ. ගෙදරක තිබෙන බුලත් හෙප්පුව ලීයෙන් සෑදූ පෙට්ටියකි. පිත්තලයෙන් සෑදුව ඉලත් තට්ටුවද දැකිය හැකිය. පඩික්කමක් නිර්මාණය වූයේද මේ බුලත් විට කෑම නිසාය.
සිරිත් විරිත්
‘සිරිත් විරිත්’ හැඳින්වීම සඳහා ‘චාරිත්‍ර වාරිත්‍ර’ යන්න ද යෙදේ. ‘ සිරිත්’ නම් චාරිත්‍ර යන පදයෙන් බිඳී ආ අතර ‘වාරිත්‍ර’ යන්න ‘විරිත්’ යන්නෙන් බිඳී ආවකි. චරිතවත්ව සිටීම සඳහා කළ යුතු හැසිරීම් චාරිත්‍ර වන අතර, වැළකිය යුතු නොකළ යුතු දෑ වාරිත්‍ර වේ. උපන්දා සිට මරණය දක්වා අපට සිරිත් විරිත් රාශියක් උරුමව තිබේ. රන් කිරි කට ගෑම, බත් කැවීම, කෙස් කැපීම, ගැහැනු දරුවකුගේ කන් විඳීම, නැකතට අකුරු කියවීම, දියණියකගේ කොටහළු මංගල්‍යය, නමදීම, විවාහ මංගල්‍යය, අවමංගල්‍ය සිරිත් විරිත්, අවුරුදු සිරිත් විරිත් ආදිය, ආගමික සිරිත් විරිත්, ගොවිතැන් කටයුතු සිරිත් විරිත්, දෙවි දේවතාවුන් සඳහා සිරිත් විරිත් සහ වැඩිහිටියන් සඳහා සිරිත් විරිත් ආදී වශයෙන් සිරිත් විරිත් බොහෝය.
ජ්‍යොතිෂයට අනුව සුබ අසුබ වේලාවල් බලා වැඩ කටයුතු සිදු කිරීමට හුරු පුරුදු වී ඇත. ජීවිතයේ සියලු කටයුතු චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව නැකැත් වෙලාවට ඉටු කිරීමට හුරු පුරුදුව සිටිති.
වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම, ගුරු දෙගුරුන්ට ආචාර කිරීම, බුලත් දී සමාව ඉල්ලීම, සමාව දීම ආදී බොහෝ චාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගනී. මෙම කටයුතුවලදී බුලත අති ප්‍රබල තැනක් ගනියි. දුම්කොළයක් සමඟ බුලත් දෙවිස්සක් දී ගුරු දෙගුරුන් නැමදීම, සමාව ගැනීම, ඈත අතීතයේ පටන්ම පැවතුණි. පින්කමකදී ස්වාමීන් වහන්සේලාට ආරාධනා කිරීම, මඟුල් තුලාවලට, ගෙට ගෙවදීමට, ආරාධනා කිරීමට උපයෝගී කරන්නේ බුලත් හෙප්පුව හා බුලත් අතයි.
මල්, බුලත්, නාගවල්ලි, ගැට තවාලු හීන් තවාලු, දලු බුලත්, කොරිකං ආදී නම්වලින් ගැමියන් බුලත් හඳුන්වයි. ‘ප්‍රීති දානක මණ්ඩප’ යනුවෙන් නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපියක බුලත් ගැන සඳහන්ව තිබේ. බුලත්වල ගුණ ජේම්ස් ද අල්විස් පඬිතුමා මෙසේ දක්වා ඇත.
“බුලත මිහිර තිත් වේ කාර කාසා කුළුත් වේ
පණු දුගඳ කොසුත්වා සෙම් නසාවත් සරාලයි
මළහැර මන යෝතා ගින්න දල්වයි බුලත් ගී
ගුණ කෙලෙසක මින් වේ දෙව්ලොවේ වත් සුදල් බෝ”
බුලතේ ගුණ දහතුනක් ඇති බව සඳහන් වේ. මංගල පුවරුවේදී හාල්, පොල්, බුලත් තැබීමෙන් අදහස් කරන්නේ මනුෂ්‍යත්වය වගා වීම නොහොත් වර්ධනය වීම යන්නයි. බුලත් මනුෂ්‍ය වර්ගය ඇති කිරීම හෙවත් බෝ කිරීම මහඟු දායාදයක් ලෙස සිංහල සමාජය සලකන ලදී.
මනාල යුවළ සේ ඥාතීන්ට බුලත් හුරුලු පිළිගැන්වීම චාරිත්‍රයකි. මෙමඟින් ඥාති සබඳතා ආරක්ෂා කිරීම අදහස් කරන අතර ඇතැම් නිවෙස්වල මනාලයාට මනාලිය පෙන්වන්නේ බුලත් හෙප්පුවක් පිළිගැන්වීමෙනි.
මංගල අවමංගල අවස්ථාවලදී බුලත් ජන ජිවිතය තුළ කිඳා බැඳී ඇත. අවමඟුලේදී බුලත් පිළිගන්වන්නේ යටි පස උඩුකුරු කොටය. එමඟින් කනගාටුවේ හා සංවේගයේ සංකේතය කියාපාන්නකි. ළමයාට අකුරු කියවීමේදී පටන් ගුරුවරයා හෝ ස්වාමීන් වහන්සේ ළඟට යාමේදී බුලත් හුරුල්ලක් පෙරටු කරගෙන ගුරු භක්තිය පිළිබිඹු කිරීමට බුලත් හුරුල්ල පිළිගන්වයි.
ගණදෙවි හෑල්ල අපට විස්තර කරන්නේ මෙසේය.
තනා පස් රස මියු රූ – කුසුම් හැම ඇඟ තැවරූ
දෙවා බුලතුත් කපු රූ – තමා ඉටු දෙවියන් දැරෑ
වෙදුන් හමුවී බෙහෙත් ගැනීමේ දී ගම්මුන් බුලත් හුරුල්ල පිළිගන්වා අවශ්‍ය ප්‍රතිකර්ම ලබා ගත්තේය. බෞද්ධයා බුදුරදුන්ට පුද පූජා කිරීමේදී බුලත් දැහැත් මෙන් ගෞරවාන්විත වචනයෙන් පූජාවට තබයි. මහා සංඝරත්නයට කරනු ලබන සියලු ආරාධනා දැහැත් වට්ටියක් පිළිගන්නවා සිදු කිරීම වාරිත්‍ර යයි. තොවිල් පවිල්වලදී මල් බුලත් තට්ටුවක් තැබීම යකදුරා සිදු කරයි. ආගමික වතාවත් මෙන්ම සියලු සිරිත් විරිත් අනුවද බුලතට විශේෂ ස්ථානයක් හිමිවන බව මින් පෙනී යයි.
භූත්වා සත පදං ගන්ත්වා – තාම්බූලේ තදනන්තරේ
වාම හත්ථෙ න සයනං – වෛභ්‍යාන කිම් ප්‍රයෝජනං
කෑමෙන් පසු අඩි 100 ගමන් කිරීම, ඒ අතර බුලත් හා පුවක් දෙවර්ගය පමණක් කෑමට ගැනීමද දකුණු ඇලයෙන් කෙටි නින්දක් ගැනීමෙන් ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් තිබෙන ඵලය කුමක්ද? යනුවෙන් සඳහන් කරයි. පුද්ගල ජීවිතයේ නීරෝගිකමට ද බුලත් වැදගත් වන බව ද මින් පැහැදිලි වේ.
බුලත් කවි
සිංහලයා හා බුලතේ සැබැඳියාව පුරාණයේ සිට නොසිඳී එන්නකි. බුලත් හුරුලු දීම, බුලත් කෑම සිංහල ප්‍රවේණියකි. සභ්‍යත්වයට නෑකම් කීමකි. මංගල උත්සවය දැනුම් දීම තවමත් බුලත් පිළිගැන්වීමෙන් කරයි.
බුලත් විට කෑම සිංහලකම පෙන්වීමේ ලක්ෂණයක් වශයෙන් ගම්බද පෙදෙස්වල තවමත් පවතී. ගෙදරකට නෑදෑ හිතවතුන් පැමිණි පසු කරන පළමු සැලකීම තමා බුලත් වට්ටිය (බුලත් ඉලත්තට්ටුව) පිළිගන්නා කරන ආදර සංග්‍රහය අනෙක් සියලු සත්කාර ඊට පසුව සිදු වේ.
වර්තමානයේ තරුණියෝ තොල් රතු කිරීම කෘත්‍රිම ලෙස කරති. එකල මෙම ආලේපන නොතිබුණි. එදා ගැහැනු තොල් රතු කළේ බුලත් විට කෑමෙනි. ඒ බව මෙසේ දැක්වේ.
කපුරු බුලතින් රත් – ලවනත වතල පැහැපත්
පියුම්ම්රාමිණි වත් – දසන් අග මඳහසින් සිත් ගත්
(කාව්‍යශේඛරය)
බුලත් විට සැපීමෙන් දෙතොල රතු කිරීම මුහුණේ සිරියාව කිහිප ගුණයකින් වැඩි වීම පුෂ්පල වතින් යුතු බුලත් විට මුඛ වාසය සඳහා උපයෝගී කර ගත් බව ඔප්පු කිරීමට වෙහෙසීම අනවශ්‍යය.
ආහාරයෙන් අනතුරුව බුලත් විටක් කෑම ඊට ගරුකරන අය දැනුවත් සිටිති. රසවත් ආහාරපාන කොතෙක් අනුභව කළත් බුලත් විට නොලැබේ නම් විශාල අඩුවකි. “බතින් සාදා සාදා විද සිටිය වුන්ට බුලත් දෙවා සාදය නිමවන්නා සේ” (සද්ධර්මරත්නාවලිය).
බුලත් අහුරු නිගරු ලෙස අතන මෙතන පිල්කඩ ගානේ තබා විකිණීම දඬුවම ලැබීමේ වරදක් බව “බුලත් පුවත් මණ්ඩපයේ තබා විකුණනු කොට් ඉසා නොතැන ” (බදුලු සෙල්ලිපිය) තෙවැනි උදය රජුගේ කීම බුලතට අපේ මුතුන් මිත්තන් කෙසේ සැලකී දැයි සිතාමතා ගැන්මට හොඳ නිදසුනකි. දිනපතාම ජීවිතයට බුලත් නැතිවම බැරි දෙයක් බව එදා සිංහලයන්ගේ මේ කීම්වලින් ඉර හඳ සේ පෙනේ. මේ සමාජ සිරිත (බුලත් සැපයීම) සිංහල සංස්කෘතිය කෙරෙහි කොතරම් බලපෑවේ ද යන්න මින් පෙන්වා දෙයි.
“සිංහලයා කැවුම්වලටත් වඩා බුලත් විට ප්‍රිය කරයි. ඔවුන් නිදි පැදුරෙන් නැඟිට්ට වහාම බුලත් සැපීම නොවරදවාම කරති”. ‘රොබට් නොක්ස්ගේ ලංකාව ” ඊට සාධකයකි. දුකේදී සැපේදී, පූජාවේදී, වැඳුම් පිදුම් කිරීමේදී, දානයේදී මඟුලේදී වැරැද්ද නිවැරදි කිරීමේදී උසස් වීමේදී ආදී බොහෝ කටයුතු වලදී බුලත නැතිවම බැරි විය.
මේ ගමේ සිරිත අකුරටම පිළිපදින්නා මැහැල්ලකට කෑම්බීම්වලින් කළ සංග්‍රහයේදී ඌණතාවය වූයේ බුලත්විට නොලැබීමයි. ඇගේ හිමියා බිරිඳට ඒ බව සමච්චලයක නියාවෙන් පැවසූ අන්දම මේ ජන කවියේ දැක්වේ.
කන්නට අපට බත් දුන්නා – බොන්න වතුර ගෙන දුන්නා
කන්න බලන් තැන ගෙන්නා – යන්න ගමට සිහි වෙන්නා
(බුලත් වැලේ ප්‍රහේලිකාව)
කදේ නිමල් කදේ නිමල් කදේනි – ගින්නේ නෙළා කෑ කදටයි තිරේනි
යනෙනා ගමන තද සයුරේ බලේනි -යන්නේ තුනයි තෝරාපන් බෑණනි
උත්තරය
පෙරත් නාග ලොව සිටමද ගෙන ආවේ –
දලුත් කඩා දැමීමයි පැළ වුණා වේ
දියත් ඇදලා ම ඒ වැල වැවීමේ –
බුලත් වැලට කිව පන්නේද මාමේ
බුලත් විට ගැන ප්‍රහේලිකාව
පයනු පාපිල්ල සකි නුඹ දන්නවද – දබ යනු පාපිල්ල සකි නුඹ දන්නව ද
හයනු පාපිල්ල සකි නුඹ දන්නවද – දයනු පාපිල්ල සකි නුඹ දන්නව ද
පිළිතුර
පයනු පා පිල්ල ගස මුදුණේ තිබේලූ
බයනු පාපිල්ල කඳ මැද වැනේලු
හයනු පාපිල්ල බෙල්ලන්තොට යාලු
ද යනු පාපිල්ල මගේ අත නැත යාලු
සතර දිගේ තෙද අණසක පවතින්ට
වතුර වගේ සැම සම්පත් ලැබ ගන්ට
සතර වරම් දෙවියෝ ආසිරි දෙන්ට
සතර වගෙම ලැබුණා මට විට කන්ට
බුලත් විට ගැන තේරවිල්ලක්
ගහෙන් වැටිලා හතරට පැළිලා ඔහේ එක මිනිහෙක් ගෙයි
නාග ලොවින් ආ කළු වැදි සාමි බොටුව කඩාගෙන ගෙයි
ගින්නෙන් දා – ළා වැස්සට තෙමි – ලා තව එක මිනිහෙක් ගෙයි
මෙකී මෙ තුන්දෙන සමගි කරන්නට මැරිව්ව මිනිහා කොයි
තේරුම
රබ්බඩ පුවකේ දෙකට පලා – ළා සතරට ඉරුකර තෙයි
තෙතෙයි – සතරට ඉරු කර තෙයි
වෙත්තිල නැට්ට කඩා – ළා සුනම්බු ගා තෙයි
තෙතෙයි තෙයි සුනම්බු ගා තෙයි
දි කොට නැන්දට මස්සක් දී – ළා දුම්කොළ ඉල්ලා –
තෙයි තෙතෙයි තෙයි – දුම්කොල ඉල්ලා තෙයි
පිත්තල පොත්තක් දත මුල ගහ ගෙන පාතට දත තිය තෙයි
තෙතෙයි තෙයි – පාතට දත තිය තෙයි
බුලත් අත
චූලෝදර මහෝදර නා රජුන් අතර ඇති වූ ආරවුල සමථයකට පත්කිරීමේ අවස්ථාව මීට හේතු වී ඇත. බුදුරජුන් වැඩම කොට නාගදීපයේදී මෙම රජවරු චූලෝදර සමඟ දස දෙනෙක් මහෝදර සමඟ දස දෙනෙක්ද බුලත් කොළ දෙක බැගින් බුදුරජාණන් වහන්සේට පිළිගන්වා සමාව අයැද සිටියේය. බුලත් කොළ විස්සක් දෙපාර්ශ්වයටම ලැබුණි. එය එකට එකතු කොට පෙන්නා මෙසේ ඔබලාද සමගි සම්පන්නව කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය. මෙසේ බුලත් අතේ ආරම්භය සිද්ධ විය.
වර්තමානයේදී ද මෙවැනි සිදුවීම් සඳහා බුලත් අත යොදා ගැනේ. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දේ ගුරු දෙගුරුන් දෙමාපියන් බැහැදක බුලත් අතක් පිළිගන්නවා ගරු බුහුමන් කිරීමේ චාරිත්‍රයක් වේ. වරදක් සිදුවූවා නම් සමාව ගැනීමද බුලත් අතින් සිදුවන බව දැක ගත හැකිය. සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂ ස්ථානයක් බුලත්වලට හිමිවන බව සඳහන් කළ යුතුය.
ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල මංගල නාහිමි