අසරණ, අහිංසක පුද්ගලයන් විවිධ කරුණු කාරණා මත මුළාවේ දමා ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණන් වටිනා මිල මුදල් දේපළ ඉඩකඩම් යාන වාහන මෙන්ම සතා සීපාවා පවා වංචනිකව ලබා ගන්නා කල්ලි කණ්ඩායම් විරල නැත. මේ අයට රැවටෙන අයගේ සංඛ්‍යාවද නිමක් නැති බව පෙනෙන්නට ඇත්තේ දිනපතාම පාහේ වාර්තා වන එවැනි පුවත් නිසාය.
විශේෂයෙන් නිදන් වස්තු සහ පෞරාණික බඩු භාණ්ඩ, මුතු මැණික්, රන් කාසි, පසු පස හඹා යන පුද්ගලයන් ද මේ ගොන්නට අයිති වන ප්‍රධාන පිරිසයි. යුරෝපය ඇතුළු විදේශ රටවල රැකියා ලබා ගැනීමේ මුවාවෙන් හොර තක්කඩියන්ට තමන්ගේ අතේ මිටේ ඇති අන්තිම සතය පවා ලබාදී අන්තිමේදී ඇඳිවත පවා නැති කර ගන්නා කණ්ඩායම දෙවැනි පිරිසයි.
විශේෂයෙන් උතුරු පළාතේ පදිංචි සැලකිය යුතු පිරිසක් ‘මේ පන්නයේ’ තක්කඩියන්ට හසු වී අතේ මිටේ ඇති මිල මුදල් පවා අහිමිකරගෙන ඇත්තේ යුරෝපය ඇතුළු රටවල රැකියා බලාපොරොත්තුවෙන් මේ තක්කඩියන්ට හසුවීම නිසාය. උතුරු පළාතට අයත් වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි, යාපනය යන දිස්ත්‍රික්කවල වව්නියාව, මන්නාරම, යාපනය, කන්කසන්තුරේ, කිලිනොච්චි, මුලතිව් පොලිස් කොට්ඨාසවලට අයත් පොලිස් ස්ථානවලට විදෙස් රැකියා වංචනිකයන්ට හසු වු පුද්ගලයන් ගණනාවකගෙන් පසුගිය කාලයේ පැමිණිලි ලැබී තිබුණ අතර එම පුද්ගලයන් විසින් වංචාකර තිබුණ මුදල රුපියල් කෝටි ගණනකි.
මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයද උතුරු පළාතේ පොලීසිවලට ලැබී තිබුණ පැමිණිවල සඳහන් මුදලට ආසන්න මුදලක් විදෙස් රැකියා වංචනිකයන් විසින් වංචා කරනු ලැබීමේ සිදුවීම් ගණනාවක් පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබුණි.
විදේශ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටි යාපනයේ තරුණයකු පැහැරගෙන ගොස් ඔහු සතු රුපියල් ලක්ෂ 84ක මුදලක් අන්තර්ජාල යෙදවුම් මඟින් වෙනත් ගිණුමකට මාරුකර ඩුබායි බලා පලා යාමට සුදානම් වු තක්කඩියෙකු පොලිස් නිලධාරීන් විසින් කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අල්ලා ගනු ලැබුවේ පසුගියදාය.
මේ සිද්ධියට මුහුණ පා තිබුණේ යාපනය පේදුරුතුඩුව තුම්පොළ පාරේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු නිතර අන්තර්ජාලය පරිශීලනය කරන්නෙකි. අන්තර්ජාලය මඟින්ම හඳුනාගත් යාපනයේ පදිංචි පුද්ගලයකු සමඟ පේදුරුතුඩුවේ තරුණයා අදහස් හුවමාරු කරගෙන තිබුණේ කලක සිටය. ඒ වන විට පේදුරුතුඩුවේ තරුණයා යුරෝපා රටක රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටියේය.
එලෙස හඳුනාගත් පුද්ගලයා පේදුරුතුඩුවේ පදිංචි තරුණයාට පවසා ඇත්තේ අදාළ රැකියාව ලබා ගැනීමට නම් බැංකු පොතේ ගිණුමේ රුපියල් ලක්ෂ 80කට වඩා මුදලක් තැන්පත්ව තිබිය යුතු බවය. එම මුදල අදාළ තානාපති කාර්යාලයට බැංකු පොත මඟින් පෙන්විය යුතු බවද ඔහු පවසා තිබිණි.
මේ පුද්ගලයාගේ කතාව විශ්වාස කළ පේදුරුතුඩුවේ තරුණයා තමා දන්නා කියන අයගෙන් මුදල් ණයට ඉල්ලාගෙන එම මුදල් සිය ගිණුමේ තැන්පත් කරගෙන ඇත්තේ තානාපති කාර්යාලයට පෙන්වීම සඳහාය. පසුව මුදල සම්පූර්ණ කරගත් තරුණයා ඒ බව රැකියාව සොයා දෙන පුද්ගලයාට පවසා ඇත. දින කිපයකට පසු එම පුද්ගලයා පේදුරුතුඩුවේ පදිංචි තරුණයාට පවසා ඇත්තේ වීසා අත්සන් කිරීම සඳහා කොළඹ යෑමට සූදානම් වන ලෙසය. එම පුද්ගලයාගේ දැනුම් දීමට අනුව පේදුරුතුඩුවේ පදිංචි තරුණයා යාපනයේ අරියකුලම් හන්දියට පැමිණ ඇත්තේ කොළඹ බලා යාම සඳහාය.
යුරෝපා රැකියාව ලබා දෙන බව කියු පුද්ගලයා ඇතුළු තිදෙනෙක් වාහනයකින් එහි පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය. පේදුරුතුඩුවේ තරුණයාද එහි නංවාගත් ඔවුන් කොළඹ යන අතරේ පාළු ස්ථානයක වාහනය නවත්වා පේදුරුතුඩුවේ තරුණයාගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර ඔහු සතුව තිබුණ රුපියල් 28,000ක මුදල් කොල්ලකා ඔහුට අයත් බැංකු ගිණුමේ තිබුණ රුපියල් අසුහතර ලක්ෂයක මුදල් අන්තර්ජාලය බැංකු ගිණුමක් ලෙස ඔවුන් පැවැසු බැංකුවක ගිණුමකට බලෙන් හුවමාරු කරගෙන තිබුණි.
මුදල් කොල්ලයෙන් පසු පේදුරුතුඩුවේ තරුණයා අච්චුවේලි ප්‍රදේශයට රැගෙන ගිය පුද්ගලයෝ තිදෙනා ඔහු එහි අතහැර දමා පලාගොස් ඇත. පේදුරුතුඩුවේ තරුණයා මේ ගැන අච්චුවේලි පොලිසියට පැමිණිලි කළ අතර අච්චුවේලි පොලිස් නිලධරයෝ ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය පොලීසීයට යොමු කළහ.
මේ ගැන විමර්ශන ආරම්භ කළ යාපනය පොලීසියේ නිලධාරීන් සීසිටීවී කැමරා දර්ශනද උපයෝගී කරගෙන කළ වෝහාරික පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ පේදුරුතුඩුවේ තරුණයා පැහැරගෙන ගිය කල්ලිය ඊට භාවිත කළ වාහනයේ සම්පූර්ණ විස්තරයකි.
අදාළ වාහනයේ අයිතිකරු ඒ අනුව සොයාගෙන ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් හෙළිකරගෙන තිබුණේ එම වාහනය කුලී පදනම මත ලබා දුන් එකක් බවය. අදාළ කාරය ජීපීඑස් උපකරණ සවිකර තිබුණ නිසා ඒ ඔස්සේ කළ විමර්ශනයේදී සැකකරුවන් හඳුනාගැනීමට පොලිසියට හැකි විය.
ඒ අනුව සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මෙහි ප්‍රධාන පුද්ගලයා ඩුබායි බලා යාම සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට එන්නේ පසුගියදාය. එහිදී ඔහු සී.අයි.ඩී. නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහුද යාපනය ප්‍රදේශයේ පදිංචි අයකු බවයි. ඔහුගේ වයස අවුරුදු 27 කි. සැකකාර පුද්ගලයා යාපනය පොලිසියට භාර කෙරුණේ වැඩිදුර විමර්ශන සඳහාය.