– මෑතකදී අත්අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය
– ස්කීපර් ඇතුළු ඇල්ලූ හත්දෙනාම ධීවරයෝ
– තුෂාන් පුතා 6 කුඩු ගේන්න දියඹට යන්නේ බේරුවල ධීවර වරායෙන්
මෙරට වටා පිහිටි මුහුදු තීරයේ ආරක්ෂාව භාරව සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවය. දවසේ පැය 24 පුරාම නාවික හමුදා නිලධාරින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආරක්ෂාව තර කරමින් සිටින්නේ මෙරට මෙන්ම ජාත්‍යන්තරව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරගෙන සිටින හෙයිනි.
‘ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්‘ යන වත්මන් රජයේ දැක්ම යථාර්ථයක් බවට පත්කරගැනීමට ද නාවික හමුදාව සිදුකරන කැප කිරීම ද සුළුපටු නොවේ. මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධි සියලු කටයුතු මැඬ පවත්වා ජාතික ආරක්ෂාව සහ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කැපව සිටී. ඒ සඳහා නාවික හමුදාව දේශීය සහ විදේශීය බුද්ධි සේවාවන් මෙන්ම සමුද්‍රිය ආරක්ෂක පාර්ශ්වකරුවන් සමඟ එක්ව මෙරට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැපව සිටින සියලු ආරක්ෂක අංශවල සහයෝගයෙන් රට වටා පිහිටි මහ මුහුදේ අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් සිටී.
එලෙස නාවික හමුදා විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණේ ඉකුත් අප්‍රේල් මස 5 වැනිදා අලුයම් කාලයේදීය. ඒ නාවික හමුදා බුද්ධි අංශයට ලද විශ්වසනීය තොරතුරක් ඔස්සේය.
එම තොරතුරෙන් හෙළිවී තිබුණේ ඉකුත් මාර්තු මස 26 වැනිදා බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා යැයි පවසා මුහුදු ගිය තුෂාන් පුතා 6 නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙනඒමට සූදානමක් පවතින බවයි.
එම විශ්වසනීය බුද්ධි තොරතුර ඔස්සේ ක්‍රියාත්මක වූ නාවික හමුදා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධරයෝ අදාළ බහුදින යාත්‍රාව මෙරටට ඔබ්බෙන් මුහුදු තීරයේදී ධීවර කටයුතුවල නියැළෙන මුවාවෙන් සැරිසරමින් සිටින ආකාරය අනාවරණය කරගැනීමත් සමඟ ඉකුත් 5 වැනිදා අලුයම් කාලයේ නාවික හමුදා භාරයට ගන්නා ලදි. ඒ, එහි සිටි පුද්ගලයන් 7 දෙනෙකු ද සමඟිනි.
අනතුරුව එම පුද්ගලයන් 7 දෙනා සමඟ බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහාය ද ඇතිව වැඩිදුර පරීක්ෂා කෙරිණි. එලෙස නාවික හමුදා නිලධාරින් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධරයෝ බහුදින ධීවර යාත්‍රාව ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂා කරද්දී ඒ තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් පොහොර උරවල බහා අසුරා තිබෙන ආකාරය දිස්විය.
ඉතා සූක්ෂ්ම ලෙස පොහොර උර 51ක බහා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 178ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 500ක් එහි තිබිණි. එලෙස ඉතා සූක්ෂ්ම ලෙස මෙරට තුළට රැගෙන ඒමට තැත් කළ එම මත්ද්‍රව්‍ය තොගයේ හෙරොයින් කිලෝ 191යි ග්‍රෑම් 752ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 671යි ග්‍රෑම් 452ක් තිබිණි.
එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වීදි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි දහසකට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධරයෝ පවසති.
එම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා ඇතුළු සැකකරුවන් හත්දෙනා වයස අවුරුදු 28ත් 58ත් අතර පසුවේ. ඔවුහු හික්කඩුව, අහුංගල්ල, බේරුවල, ගෝනපීනුවල සහ අළුවල ප්‍රදේශයේ පදිංචිකරුවෝය.
මෑත කාලයේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය එයයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර කිරීමත් සමඟ සැකකරුවන් හත්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධරයන් ඒ පිළිබඳ දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් සිටී.
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ විමර්ශන අනුව සැක කරන්නේ එම මත්ද්‍රව්‍ය දකුණු පළාතේ ප්‍රබල අපරාධකාරයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වන කොස්ගොඩ සුජී විසින් මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්ද්‍රව්‍ය තොගයක් බවටය. ඇෆ්ගනිස්තානයේ සිට අන්තර්ජාතික මුහුදු තීරය ඔස්සේ ඉරාන නෞකාවලින් රැගෙන ඒමෙන් පසු මෙකී බහුදින ධීවර යාත්‍රාව ලබාගෙන ඇති එම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුර ඔස්සේ නාවික හමුදා විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගැනීම සිදු විය.
දික්ඕවිට වරායට ගෙන එන ලද බහුදින යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධරයන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ ද පැමිණ සිටි අතර එහිදී අදහස් දැක්වූ නාවික හමුදාපතිවරයා මෙසේ පැවැසීය.
“ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවන සියලු පාර්ශ්වයන්ගේ සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය තුළින්, ජාතික ආරක්ෂාව සහ සමාජ සුරක්ෂිතතාවට හානි ගෙන දෙන මත්ද්‍රව්‍ය ඇතුළු කිසිදු නීති විරෝධී ද්‍රව්‍යයක් මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට කිසිම ඉඩක් නැහැ. ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැක දීම වෙනුවෙන් අවශ්‍ය සෑම සහයෝගයක් සහ සහනයක් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන්ම අවධානයෙන් කටයුතු කරනවා. එහෙත් ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන සහ ඒ සඳහා අනුබල දෙන හෝ ඒ වෙනුවෙන් දරන කිසිම ප්‍රයත්නයක් සාර්ථක වීමට ඉඩ නොතබන බවත්, එවැනි ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයන් හඳුනා ගනිමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබන බවත්“ නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
මේ ආකාරයෙන් නාවික හමුදාව ගිය වසර තුළ පමණක් මහ මුහුදේ සහ වෙරළාශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී රටට වින කරන මත්ද්‍රව්‍ය, මත්පෙති, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීති විරෝධි කටයුතු සිදුකළ දේශීය සහ විදේශීය පුද්ගලයන් 407ක් සමඟ රුපියල් මිලියන 28158කට අධික දළ වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ මත්පෙති අත්අඩංගුවට ගැනීමට සමත් විය.
එසේම ගිය වසරේදී නාවික හමුදාව අවට රටවල නාවික සහ වෙරළාරක්ෂක බළකායන් සමඟ මනා සහයෝගයෙන් කටයුතු කරමින් මුහුදු මාර්ගය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි කටයුතු මැඬලීමට ද ඉමහත් කාර්යභාරයක් සිදු කරන ලදි. ඒ අනුව නාවික හමුදාව, ඉන්දිය නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළාරක්ෂක බළකාය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 15554කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 622කට අධික තොගයක්ද, රුපියල් මිලියන 11508කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1211කට අධික තොගයක් ද අත්අඩංගුවට ගැනිණි.
ඊට අමතරව රුපියල් මිලියන 700කට අධිකව වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 1752ක තොගයක්ද රුපියල් මිලියන 23කට අධික වටිනා ගංජා කිලෝග්‍රෑම් 119ක් සහ රුපියල් මිලියන 373ක් පමණ වටිනා මත්පෙති 1,179,746ක්ද ගිය වසර තුළ නාවික හමුදාව සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනි වැටලීම්වලින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා සිදුකරන විශිෂ්ට වූ කාර්යභාරයයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ඇතුළු නිලධරයන් විසින් මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කළ අයුරු

අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව

අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායේදී නාවික හමුදා නිලධාරින්ගේ පරීක්ෂාවට ලක් වූ අයුරු