අහස මෙන්ම පොළොව ද දැවෙන්නා සේය. දාහය දරාගත හැකි නොවේ. අප මේ අත්විඳින්නේ මොහොතින් මොහොත විචලනය වන කාලගුණ රටාවක සංකීර්ණ ස්වරූපය ය.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉකුත් දා නිකුත් කළ නිවේදනය අනුව ලංකාවේ උතුරු, උතුරු මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය සාමාන්‍ය මට්ටමට වඩා තරමක් ඉහළය. එනම්, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින්නේ යැයි ඔවුන් අපේක්ෂා කරන්නේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කරුණු කිහිපයක් අවධාරණය කළේ අධික උෂ්ණත්වය හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඬු පෙරළීම, අධික මහන්සිය ද අධික උෂ්ණත්වයට නිරාවරණය වන ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපණ වී ආඝාත තත්ත්වය ඇතිවිය හැකි බවය.
අප රටේ දේශගුණික රටාව අනුව මේ වකවානුවේ ඇතිවන උෂ්ණාධික තත්ත්වය ස්වභාවිකය. වියවුල නම් ඒ උෂ්ණාධික තත්ත්ව වෙනදාට වඩා වැඩියෙන් සිරුරට දැනෙමින් තිබීමය. පරිසර සංතුලනයේ රිද්මය විකල් වී ගිය ආකාරය විටෙක අප තිගස්වන තරම් බිහිසුණුය. සිදුවෙමින් ඇත්තේ කුමක්ද? මේ තත්ත්වයට අප සියලු දෙනා මුහුණ දිය යුත්තේ කෙසේද යන ප්‍රායෝගික ජීවිත දැනුම විද්වත් පාර්ශ්ව හා සංවාදයකින් බෙදා ගැනීමට මුලින්ම අප හා සංවාදයට එක් වූයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ය. ඔහු සංවාදයට එක් වන්නේ ලෝක කාලගුණ තත්ත්ව සම්බන්ධයෙන් ද අදහසක් සහිතවය.
“දේශගුණික විපර්යාස සිදු වීමට ප්‍රධානම හේතුව පරිසර උෂ්ණත්ව ඉහළ යෑමයි. මේ තත්ත්වය ලංකාවට පමණක් නොව පරිසර උෂ්ණත්වය ඉහළ යෑම ගෝලීය වශයෙන් ගත් විටත් මේ වන විට බහුලව සිදුවන සංසිද්ධියක්. පසුගිය අවුරුදු පනහට පෙර තිබුණු වායුගෝලීය උෂ්ණත්වය දැන් අංශක 1.5කින් පමණ ඉහළ යෑමක් සිදු වී තිබෙනවා. මෙම ඉහළ යෑමේ බලපෑම හේතුකොට ගෙන තමයි දේශගුණ විපර්යාසය කියන සංසිද්ධිය ඇති වී තිබෙන්නේ.
විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වය වැඩි වීමට ප්‍රධානම හේතුව හරිතාගාර වායු වායුගෝලය තුළ වැඩි වැඩියෙන් තිබීම. මේ තත්ත්වය යටතේ අයිස් මිදී තිබෙන ප්‍රදේශවල හිම දියවීම සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් ආකාරයෙන් සිදු වෙනවා. ඒ වගේම සාගර ජල කලාපවල ඇති හිම දියවීමත් සමඟ සාගර ජල මට්ටම ඉහළ යනවා.
එයට අමතරව උෂ්ණත්වය ඉහළ යෑමේදී සාගර ජලයේ තිබෙන හැම දෙයක්ම ප්‍රසාරණය වෙනවා. එම ප්‍රසාරණය වීම හේතු කොටගෙන ජල මට්ටමින් ඉහළ යාමක් සිදුවන නිසා පහත් දූපත් රටවල් ජලයෙන් යටවන තර්ජනවලට පත්ව තිබෙනවා. කෙසේ නමුත් මෙම දේශගුණ විපර්යාසය වර්ෂාපතනයටත් බලපෑම් කරනවා. දැනට වර්ෂාපතන රටාව ද වෙනස්. වැසි කාලවල අවශ්‍ය රටාවට වර්ෂාව ලැබෙන්නේ නෑ. අනපේක්ෂිත ලෙස කඩින් කඩ වැසි ලැබෙන්න පුළුවන්.
නමුත් දැන් මේ පවතින්නේ එකවර අධික වර්ෂාපතනයක් ඇද හැලී අනෙකුත් දවස්වල වියළි කාලගුණික තත්ත්වයක් ඇති වීමයි. අප මේ මොහොතේදීත් අත්විඳින්නේ එවැනි ව්‍යාකූල තත්ත්වයක්. මෙවැනි දේවල් ඇති වෙන්නේ දේශගුණික විපර්යාස හේතු කොටගෙනයි. ඒවට අපි කියනවා ආන්තික කාලගුණික ලක්ෂණ කියලා. ඒ කියන්නේ වහිද්දි ගං වතුර ගලන්න වහිනවා, පායද්දි නියඟයක් එන්නම පායනවා. මෙවැනි සිදුවීම් ලංකාවේ විතරක් නෙවෙයි. අනෙකුත් රටවලත් බහුලවම සිදුවෙමින් පවතිනවා.
පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන්නේ පළමු අන්තර් මෝසම් කාල පරිච්ඡේදය. මේ කාල පරිච්ඡේදයේදී වෙන්නේ සූර්ය ශක්තිය හොඳින් පොළොවට ළඟා වෙනවා. ජලය වාෂ්පීභවනය වෙනවා. ජලය වායු ගෝලයට එකතු වුණාට වැහි වලාකුළු ඇති වන්නේ නෑ. වායුගෝලය ජල වාෂ්පවලින් සංතෘප්ත වෙලා තිබෙනවා. ඒ නිසා දහදිය ඉක්මනින් වේළෙන්නේ නෑ. පෙබරවාරි මාර්තු අප්‍රේල් මාසවල අධික උණුසුම දැනෙන්න මෙයත් එක හේතුවක්. අනෙක් කාරණය, අප්‍රේල් 5 සිට 15 වැනිදා දක්වා සූර්යයා පිහිටන්නේ ලංකාවට ඉහළින්. එම නිසා මේ කාලය තුළ විශේෂයෙන්ම සූර්ය ශක්තිය ලම්භකවම ලංකාවට පතිත වෙනවා. එයත් උෂ්ණත්වය ඉහළ යෑමට බලපාන තවත් හේතුවක්.
වර්ෂාව අපේක්ෂා කළත් වර්ෂාව ලැබෙන අවස්ථාවේදී උෂ්ණත්වය අඩු වුණත් මේ අධික උණුසුම ක්‍රමයෙන් පහව යන්න නම් සැලකිය යුතු වර්ෂාවක් අපේක්ෂා කරනවා. දැනට අපි අනාවැකි පළ කර තිබෙනවා අප්‍රේල් 04 වැනිදායින් පසු සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේ තිබෙන වර්ෂාවේ වැඩි වීමක් වීමට හැකි බවට. නමුත් මේ වැසි තත්ත්වය දෙස අවධාරණයෙන් සලකා බැලු විට පෙනෙනවා මෙය තාවකාලික වැසි තත්ත්වයක් බව. පැය එක හමාරක් දෙකක් තමයි වහින්නේ. වහින වෙලාවට තදින්ම වහිනවා. අකුණු සැර ඇති වෙන්නත් පුළුවන්. බක්මහ අකුණු කියා අපි එය හඳුන්වනවා. උදේ කාලයේ ඉඳලම වැස්සක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ මැයි මාසයේ විසි ගණන්වල සිට ඇතිවන දිවයිනට බලපාන නිරිත දිග මොසම් කාල පරිච්ඡේදය තුළයි” ඔහු පැවසුවේය.
සොබාදහම විරසක වී නැත. අප සොබා දහම බලහත්කාරයෙන් විරසක කරගෙනය. ඒ හේතුවෙන් උද්ගත වී ඇති ආන්තික ප්‍රකාශනයන් ඉදිරියේ අප අසරණව ඇත. මේ මොහොතේ අප පෙළමින් ඉන්නේ ඒ ආන්තික කාලගුණ ප්‍රවාහයේ එක් පුංචි සංවේදනයකිනි. එහෙත් එය දැනෙමින් ඇත්තේ මහා පීඩාවක් ලෙසය.

විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මේ දැඩි උෂ්ණත්වය දරුවන් විෂයෙහි බලපාන ආකාරය මෙන්ම ඉන් මිදෙන්නට හැකි ආකාරය පිළිබඳ මෙසේ පැහැදිලි කරන්නේ ය.
“අපේ රටට හිරු රශ්මිය වැඩි වෙලා තිබෙනවා. පරිසර උෂ්ණත්වය මෙන්ම දැනෙන උෂ්ණත්වයත් වැඩියි. ඒ නිසා දරුවන්ගෙන් ලවණ වර්ග ශරීරයෙන් පිටව යනවා. සෝඩියම් ලවණයත් ශරීරයෙන් පිට වෙනවා ජලයත් සමඟම. ඒ නිසා විජලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විජලන තත්ත්වයක් ඇති වුණාම රෝග ලක්ෂණ විදිහට හිසරදය, වමනය, නිදිමත ගතිය, අයෙකුට නින්ද නොයන ගතියත් ආහාර අරුචිය ඇති වෙනවා. මේ රෝග ලක්ෂණවලට අමතරව මුත්‍රාවල පාට තද පාට නම් ඒ කියන්නේ අපි වතුර බොනවා මදි.
මේ දවස්වල අවුරුදු උත්සව තිබෙනවා. මැරතන් තරග, බයිසිකල් තරග, ක්‍රීඩා උත්සව තිබෙනවා. දරුවන් ජලය පානය නොකර මේ උත්සවවලට එක් වුණොත් විජලන ලක්ෂණ ඇති විය හැකියි. වතුර එක්ක සෝඩියම් ශරීරයෙන් පිටවෙන නිසා වතුර විතරක් බීලා මදි. ස්වාභාවික දියර ආහාර, කැඳ වර්ග, සුප් වර්ග, දෙහිවලට ලුණු ටිකක් දාලා බොන එක හොඳයි. දෙහි, දොඩම්, බැදි හාල් කැඳ… ඒ වගේ දේවල් හොඳයි. වතුර බෝතලයක් බොන කෙනා වතුර බෝතල් දෙකක් බීම වැදගත්.
ඒ වගේම රස්නය නිසා මේ දවස්වල දාඩිය බිබිලි, කුෂ්ඨ ආදී සමේ රෝගත් ඇති වෙන්න පුළුවන්. පොඩි කැස්සක් තිබෙනවා කියලා බය වෙන්න එපා. මේ දවස්වල උදේ හවස දෙකේම නෑවත් කමක් නෑ. විනාඩි 20 බැගින් උදේ හවස දරුවො වතුරෙ තියන්න. සමේ රෝග නැති කරගන්න පුළුවන්. දරුවන්ට වතුරේ ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න.
මේ කාලයේ කෘත්‍රිම බීම වර්ග පානය කිරීම නම් අපි අනුමත කරන්නේ නෑ. ඒවා බිවුවොත් දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග, අධික තරබාරුකම වැඩි වෙන්න පුළුවන්. අපි කියන්නේ පැණි බීම වර්ග ගැන නෙමෙයි. ස්වාභාවික දියර ආහාර. කැඳ සුප් වර්ග ඇතුළු ස්වාභාවික දියර ආහාර. වතුරෙ වැඩිපුර සිටීම ඉතා වැදගත්.” වෛද්‍ය දීපාල් පෙරේරා පැහැදිලි කළේය.
ඊට අමතරව වතුර බොන්නේ නැතිව මැරතන් තරගවලට බයිසිකල් තරගවලට වැනි අධික වෙහෙසක් ඇති කරන ක්‍රීඩාවලට සහභාගි වෙනවා නම් තාප කම්පන තත්ත්ව ඇති විය හැකිය. එය මරණයෙන් පවා කෙළවර විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කරයි.
“මේ දවස්වල ඉන්ෆ්ලුවන්සාව පැතිරෙනවා. දරුවන්ට ඒ පැතිරීමේ අවදානම වැඩියි. පායනකොට මැස්සො වැඩි වෙන්න පුළුවන්. මැස්සෝ වැඩි වෙනකොට පාචන තත්ත්ව ඇති විය හැකියි. එහිදී දියර ආහාර වැඩිපුර ලබා දීමත් වැදගත්.
අවුරුදු සමයේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන යන එක හොඳයි. කෑම සංස්කෘතිය ගැන වගේම අපි දරුවන් ක්‍රීඩාවලට යොමු කිරීමටත් උනන්දු විය යුතුයි. නැත්නම් නැවත එහි ප්‍රතිඵලය විය හැක්කේ බෝ නොවන රෝගයි. කැවුම් කොකිස් ඇතුළු පැණි රස කෑම වගේම පැණි රස පිරුණ ලංකාවෙ පලතුරුත් තිබෙනවා කියලා අපි අමතක කරන්න හොඳ නෑ… මේ කජු වාරෙ. කජු පුහුලං තිබෙනවා. අඹ තිබෙනවා. මොනතරම් අපේ දේශීය පළතුරු තියනව ද? මේ හැම දෙයක් එක්කම අපි අපේ ආහාර රටාව තුලිත කරගන්න හිතන්නත් අවශ්‍ය වෙනවා…”
දැන් මේ පවතින දාහය සම්බන්ධව අපට ලබා ගත හැක්කේ පසුබිම් දැනුමක් පමණි. අප හමුවේ ඇත්තේ මේ පරිසර තත්ත්වයන්ට ප්‍රායෝගිකව මුහුණ දී ඒ හා සමඟ ජීවත් වීමේ අභියෝගය ය. දවසේ වැඩි කාලයක් එළිමහනේ රැකියාවල නිරත වී සිටින විශාල පිරිසක් අප අතර සිටී. මහමඟ පිරිසුදු කරන්නන්, පොලිස් රථවාහන හසුරුවන නිලධාරීන් මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වී සිටින විශාල පිරිසක් මේ දිනවල අධික උණුසුම නිසා ගැටලු රැසකට මුහුණ දී සිටියද දෛනික කටයුතුවලින් බැහැර වී සිටීමට ඔවුන්ට හැකියාව නැත. එසේ නම් අධික උණුසුම නිසා ඇතිවන අවදානමට මුහුණ දෙමින් සිය දෛනික චර්යා පවත්වා ගෙන යන්නේ කෙසේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මෙසේ පැහැදිලි කරන්නේය.
“අධික උෂ්ණත්වයට නිරාවරණය වන්නේ නම් මූලිකව කළ යුත්තේ සිරුර විජලනය නොවී තබා ගැනීමයි. අධික උණුසුම හේතුවෙන් සිරුරට දැනෙන අපහසුතා අතර ආතතිය, නිදිමත ගතිය, අප්‍රාණිකත්වය, මස්පිඬු පෙරළීම, සිහි කල්පනාව මඳකම හෝ නොමැති වීම වැඩිහිටියන්ට සේම කුඩා දරුවන්ටද දහඩිය බිබිළි, කුෂ්ඨ ආදිය ඇති වීම මෙන්ම හෘදය රෝග හා පෙණහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීම වැනි බරපතළ තත්ත්ව පවා ඇතිවිය හැකි අතර ඒ හේතුවෙන් මරණය පවා සිදු වීමේ අවදානමක් ඇති බවටද විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් වැඩිදුරටත් පැහැදිලි කළේය.
“අධික උණුසුම නිසා ඇතිවිය හැකි බරපතළම තත්ත්වයක් වන්නේ හීට් ස්ට්‍රොක් තත්ත්වයයි. ඒ කියන්නේ අධික උෂ්ණත්වය දරාගත නොහැකිව සිහි කල්පනාව අඩු වීමක් හෝ නැතිවෙලා සිහිසුන් වෙන්න පුළුවන්. අපේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්නේ මොළයේ තිබෙන හයිපොතැලමස කියන සංවේදී කොටසින්. සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 හෝ 40 වැනි ඉහළ අගයකට පත්වුණොත් හයිපොතැලමසයේ ක්‍රියාකාරීත්වය ඇන හිටිනවා. ඒ නිසා හීට් ස්ට්‍රෝක් තත්ත්වය ඇතිවිය හැකියි. එම නිසා මේ තත්ත්වයට පත්වීමෙන් වැළකීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
අධික උණුසුම හේතුවෙන් තමා සිහිසුන් තත්ත්වයකට පත්වේගෙන එන බවක් දැනුණු පළමු අවස්ථාවේදීම කරමින් සිටි ක්‍රියාව නවත්වා ඉතා ඉක්මනින් සිරුර සිසිල් කළ යුතුයි. එවැනි තත්ත්වයකට ලක්වූ අයකුගේ සිරුරට වතුර වත්කිරීමත් කළ යුතුයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ එම පුද්ගලයා විජලන තත්ත්වයෙන් ඉක්මනින්ම මුදා ගැනීමයි. ඒ අවස්ථාවේදී සිසිල් වතුර පානය කිරීම නොකරන තරමට හොඳයි. ඒකට හේතුව උෂ්ණත්වය වැඩි අන්තයක සිට එකපාරටම එහි අනෙක් අන්තයට යෑම සුදුසු නැති නිසා. ඒ නිසා හීට් ස්ට්‍රොක් එකකදී අයිස් වතුර දානවට වැඩිය කාමර උෂ්ණත්වයේ තිබෙන ජලය වත්කර ඉතා ඉක්මනින් ශරීරය සිසිල් කිරීම ඉතා වැදගත්.”
අධික උණුසුම හේතුවෙන් වැඩිපුර පීඩාවට පත්වන තවත් පාර්ශ්වයක් වන්නේ වියපත් ජනතාවයි. තමන්ගේ ගෙදර වියපත් වැඩිහිටියෙක් සිටිනවා නම් ඔහු හෝ ඇය නිතර ප්‍රමාණවත් තරම් ජලය පානය කරනවාද යන්න පිළිබඳ විමසිලිමත් වීමත් වැදගත්. ඒ වගේම හෘද රෝග ආදී නිදන්ගත රෝගවලින් පෙළෙන අය සිටිනවා නම් ඔවුන් ඒ රෝගවලට පාවිච්චි කරන ඖෂධ නිසි පරිදි ගන්නවාද යන්න ගැන අවධානයෙන් සිටීමද ඉතා වැදගත්”
එමෙන්ම අධික උෂ්ණත්වය දරාගත නොහැකිව යම් පුද්ගලයකු අවදානම් තත්ත්වයකට පත්වෙමින් සිටින බව හැඟුණහොත් වහාම එම පුද්ගලයාට ප්‍රථමාධාර ලබා දීමේ වැදගත්කම ද වෛද්‍යවරයා අවධාරණය කරන්නේය.
“පළමුව ඔහු සිටින ස්ථානයෙන් සිසිල් ස්ථානයකට ගෙන යෑම, ඇඳුම් බුරුල් කිරීම, සිහිය තිබේ නම් වතුර පානය කිරීමට දීම සහ සිහිසුන් හෝ සිහිමඳ තත්ත්වයෙන් සිටීනම් වතුර දමා සිරුර සිසිල් කිරීම සහ තත්ත්වය බරපතළ බවක් හැඟෙන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.”
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ උෂ්ණත්වය ඉහළ යෑම වැනි දේශගුණික විපර්යාස සඳහා හානිකර මිනිස් ක්‍රියාකාරකම් ද ඉහවල් වී ඇති බවය. එවැනි දේශගුණ විපර්යා හේතුවෙන් අධික උෂ්ණත්වය, මන්දපෝෂණය, වායු දූෂණය සහ පාචන තත්ත්වයන් නිසා පමණක් වසර 2030 – 2050 අතර කාලයේදී වසරකට ලොව පුරා 250,000ක් දෙනා මියයෑමේ අවදානමක් පවතින බවත් හෙළි වී ඇත. එවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී ද ශ්‍රී ලංකාව ද මෙවැනි අධික උණුසුම සහිත කාලවලටත් ස්වාභාවික අනතුරුවලටත් මුහුණ දීමේ ප්‍රවණතාව වැඩි වීමේ අවදානමක් ඇත.
එබැවින් අනවශ්‍ය විදුලිය පාවිච්චියෙන් වැළකීම, බලශක්තිය නාස්තිය සහ භාවිතය අවම කිරීම, කැළිකසළ පිලිස්සීමෙන් කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීම ආදී හානිකර ක්‍රියා සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සැලකිලිමත් විය යුතුය.
සමස්තයක් ලෙස එක්ව මානව සමාජයක් පරිසරයට කළ හානිය යථාවත් කරගැනීම සඳහා මානව සමාජය ලෙසම යළි එක් විය යුතුව තිබේ. එවැනි ආකල්ප පරිවර්තනයක් දැනට නම් පේන තෙක් මානයක නැත. දැනට අප සිටින්නේ සමූහයක් ලෙස විනාශ වීමට නියමිතව ඇති අවදානම් කලාපයකය. දැන් අප කැප විය යුත්තේ ඒ කලාපය තුළ ජීවත්වීම සඳහා අවශ්‍ය දැනුම සහ විනය සපයා ගැනීමටය.